අලුත් අවුරුද්දෙදි ලස්සන ගැන අලුතින් හිතමුද?

 ඡායාරූපය:

අලුත් අවුරුද්දෙදි ලස්සන ගැන අලුතින් හිතමුද?

ප්‍රවීණ වෘත්තිය පුහුණු උපදේශිකා [ගංගා නානායක්කාර]

කෙනෙකුගේ පෞරුෂත්වයට බාහිර පෙනුම කොයිතරම් වැදගත් වෙනවද කියලා ඔබ දන්නවා. ඇඳුම් පැලඳුම් කියන්නේ බාහිර පෙනුම රැකදෙන මූලික සාධකයක්. නමුත් ලස්සන ඇඳුමක් ඇඳලා මුහුණ ලස්සන කරගෙන හිටිය පමණින්ම පෞරුෂත්වය රැකෙනවා යැයි සිතිය නොහැකිය. කෙනෙක් සම්පූර්ණයෙන් ලස්සන වෙන්න නම් බාහිර සුන්දරත්වය හිසේ සිට දෙපතුල දක්වාම විය යුතුය. අලුත් අවුරුද්දේ තමන්ගේ පෙනුම, පෞරුෂත්වය ගැන විශේෂ උනන්දුවක් දක්වන යුවතියන්ට, කාන්තාවන්ට බාහිර පෙනුම සුන්දරව පවත්වාගෙන යෑමට ඉවහල් වන විශේෂ කරුණු කිහිපයක් ගැනයි මේ දැනුවත් කිරීම.

පිරිසුදුකම

ඝර්ම කලාපීය රටක ජීවත් වන අපට දහදිය දැමීමේ ප්‍රවණතාව වැඩියි. එම නිසා උදෑසන මුහුණ සේදීම පමණක් ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් දහදිය දුගඳ පෞරුෂත්වයට බරපතළ ලෙස හානිකරන කරුණක් වන නිසා තමන්ගේ සිරුරේ දහදිය දුඟද පිටස්තර පුද්ගලයින්ට දැනීම වළක්වා ගැනීමට නිතරම සැලකිලිමත් විය යුතුය. කාන්තා සහ පිරිමි දෙපර්ශ්වයටම භාවිත කළ හැකි ඩියෝඩරන්ට් වර්ග වත්මන් වෙළෙඳපොළේ ඕනෑතරම් ඇති බැවින් එවැනි යමක් භාවිත කිරීමෙන් දහදිය දුගඳ වළක්වා ගත හැකිය. ඔබ කාන්තාවක නම් නිතරම අත් රහිත විලාසිතාවලින් සැරසෙනවා නම්, කිහිලි යට ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අනවශ්‍ය රෝම අත් යට දහදිය දුගඳ වර්ධනය කරනවා මෙන්ම අවලස්සන පෙනුමක්ද ගෙනදෙනවා. ඒ වගේම සිරුරේ උෂ්ණාධික බව වැඩිවන ප්‍රමාණයට වැඩිපුර වතුර පානය කිරීමද කළ යුතුය. දිනකට සිරුරට අවශ්‍ය වතුර ප්‍රමාණය පානය කිරීමෙන් සිරුර වියළීම පාලනය වනවා. සම වියළණු විට සම ඉරිතැළීම, කොරල මතුවීම වැනි දේ සිදුවන අතර එයින් ඔබේ බාහිර පෙනුමේ සුන්දරත්වයට හානි සිදුවනවා. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් සිරුරේ උෂ්ණත්වය තවත් වැඩිවන බැවින් එය ඇතැම් විට දහදිය දුගඳ වැඩිවීමටද හේතුවක් විය හැකියි. එම නිසා සාමාන්‍යයෙන් සිරුරේ උෂ්ණත්වය වැඩි අය නිතරම සිරුර සිසිල් කරන ආහාරපාන ගත යුතුය. අභ්‍යන්තර වශයෙන් සම සුරැකෙන ආහාරපාන ගන්නා අතරම සම වියළීම වැළැක්වීමට බාහිර ආලේපනයක් ලෙස සුදුසු මොයිස්චරයිසර් වර්ගයක් සම මත ආලේප කළ හැකිය. එමෙන්ම කපු රෙද්දෙන් නිම කළ ඇඳුම් ඇඳීමද වඩා උචිතය. ඊට අමතරව නිතරම පිරිසුදු යට ඇඳුම් භාවිත කරන්න. සිරුරේ ප්‍රසන්න බව රැකගැනීම සඳහා මෘදු විලවුන් වර්ගයක් භාවිත කිරීමද පුරුද්දක් කරගන්න.

හිසකෙස්

‘‘ඔළුව අවුල් වෙලා නම් හිතත් අවුල්වෙලා ඇති’’ හිසකෙස් අවුල් වුණ අයෙක් දුටු පමණින් කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. අවුල් වූ හිසකෙස් සහිත අයකු දුටු විට ඔහු පිළිබඳ ප්‍රියමනාප හැඟීමක් ඇතිවන ඉඩ අඩුයි. එම නිසා ප්‍රියමනාප පෙනුමකට කැමති ඔබ තමන්ගේ හිසකෙස් විලාසිතාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ඔබ හිසකෙස් සඳහා කෘත්‍රිම ආකාරයෙන් කිසියම් විලාසිතාවක් කර තිබේ නම්, එම විලාසිතාව නිසි ලෙස පවත්වාගෙන යාමට සැලකිලිමත් විය යුතුය. එමෙන්ම හිසකෙස් විලාසිතා සඳහා භාවිත කරන පනා, කොණ්ඩ පටි සහ කටු ඇතුළු හිසකෙස් පලඳනාද පිරිසුදුව තමාට පමණක් වෙන්ම තබාගැනීම සුදුසුයි.

දත්

ලස්සන සිනහවකට බොහෝ දේ කළ හැකිය. එහෙත් සිනහව සුන්දර වීමට නම් නිරෝගී දත් දෙපළක් තිබිය යුතුය. ඒ සඳහා මුඛ සෞඛ්‍යය ඉහළ මට්ටමක පවත්වාගත යුතුය. ඒ සඳහා නිවැරදිව දත් මැදීම කළ යුතුය. දිනකට දෙවරක් සාමාන්‍යයෙන් දත් මැදිය යුතු අතර අඩුමතරමේ විනාඩි 2-3ක්වත් ඒ සඳහා වැයකළ යුතුය. මුඛ දුර්ගන්ධයද පෞරුෂත්වයට අනිසි ලෙස බලපෑම් කරයි. නරක් වූ, කැඩුණු හා පණුවන් කෑ දත් තිබීම සහ වීදුරුමස් දියවීම වැනි රෝග තිබීම නිසා මුඛ දුර්ගන්ධය ඇතිවිය හැකිය. එම නිසා එවැනි දේවල් සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොපමාව ලබාගත යුතුය. දත් මැදීමේදී දත් පමණක් නොව දිව ද මැදිය යුතුය. ඔබ කාර්යාලයක සේවය කරනවා නම්, නිතර මහජනයා සමඟ ගැවසෙන, රැස්වීම් ආදිය සඳහා සහභාගී වන අයකු නම් මුඛ සෞඛ්‍යය ඉතා උසස් අන්දමින් පවත්වාගෙන යාමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ඔබේ අත් බෑගයේ මුඛ සෝදන දියරක් (මවුත් වොෂ්) තබාගැනීම මෙන්ම ආහාර ගැනීමෙන් පසු කරාබු නැට්ටක්, එනසාල් කරලක් වැනි යමක් සැපීමෙන් මුඛයේ දුර්ගන්ධය ඇතිවීම පාලනය කරගත හැකිය. මාස 6කට පමණ වරක් සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයකු හමුවී දත් පරීක්ෂා කරගැනීමද ඔබගේ හොඳ සෞඛ්‍ය පුරුදු අතරට එක්කර ගත යුත්තකි.

නිය

බාහිර පෙනුම පිළිබඳ ඔබට නියපොත්තක තරමේ හෝ උනන්දුවක් නැතිනම් පෞරුෂත්වය වර්ධනය කරගැනීම පිළිබඳව සිතීමෙන්ද ඵලක් නැහැ. ඔබ නියපොතු වවනවා නම්, අත්දෙකේම එක සමාන දිගකින් යුතුව වැවිය යුතු අතර නිය ආලේපන ගල්වනවා නම් එයද අත් දෙකේම නියපොතු එකම වර්ණයක් විය යුතුය. එමෙන්ම නිය ආලේපන දුර්වර්ණ වනතෙක් දිගු කලක් තිබීමද අප්‍රසන්නය. එහෙත් නියපොතු කොටට කිසියම් හැඩයකට කැපීම වඩා සුදුසු වන අතර පාදයේ නියපොතු දිගට වැවීම කිසිසේත් සුදුසු නැහැ. ඔබ කාන්තාවක නම් නිය ආලේපන ගැල්විය යුත්තේ සහභාගී වන අවස්ථාව අනුව තෝරාගත් වර්ණයක්ය. කාර්යාලයට නම් ළා වර්ණ මිස සාදයකට මෙන් දිදුලන වර්ණවත් නිය ආලේපන සුදුසු නොවේ.

දෙපා

ඇතැම් අය දෙපා පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කකුල්වල යටි පතුල් පැලී, දෙපාවල සම ඉරිතැළී, කොරල මතුවී තිබේ නම් එයින් ඔබේ බාහිර පෙනුමට අසුන්දරත්වයක් එක් වනවා. විශේෂයෙන් එවැනි කාන්තාවන් කෙටි ඇඳුම් ඇඳීමෙන් පෞරුෂත්වයට හානි සිදුවනවා. එම නිසා එවැනි තත්ත්වයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. එසේම එවැනි අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා කෙටි ඇඳුම් ඇඳීමෙන්ද වළකින්න.


ගැළපෙනම සාරිය තෝරමු

සාරි කියන්නේ කාන්තාවන් සහ යුවතියන් අතර ජනප්‍රිය විලාසිතාවක්. සාරිය කොයිතරම් අලංකාර සහ මිල අධික එකක් වුණත් එහි වටිනාකම කැපී පෙනෙන්නේ එය අඳින කෙනා අනුවයි. ඒ නිසා සාරියක් තෝරාගන්නා විට තමන්ගේ සමේ පැහැය , ශරීරයේ හැඩය, ප්‍රමාණය , උස හා මිටි බව යනාදී කාරණා ගැනත් අවධානය යොමුකළ යුතුයි.

ඒ සඳහා මුලින්ම තමන්ගෙ සිරුරේ හැඩය ගැන දැනගෙන සිටිය යුතුය. ගැහැනු ශරීරය මූලික වශයෙන් පෙයාර්ස් සහ ඇපල් ගෙඩියක ස්වරූපය ගන්නවා. සරලව කියනවා නම් ඔබේ උරහිස්වලට වඩා උකුල පළල නම් ඔබට තියෙන්නේ පෙයාර්ස් හැඩයේ ශරීරයක්. මේ වගේ අයට ජොර්ජෙට් සහ චිෆෝන් රෙදි වලින් කරපු ලා පැහැති සාරි ගොඩක් ගැළපෙනවා. මොකද ඒවා කඩා හැලෙනසුලු බවක් තියෙන නිසා උඩුකය සහ යටිකය සමබර වෙන විදියට ඇඳීම කරන්න පුළුවන්. පොඩි මෝස්‌තර සහ චාම් සාරි සිරුරේ හැඩය ලස්සනට මතු කරනවා.

ඇපල් ගෙඩියක් වගේ ශරීරයක් කියන්නෙ උකුලට වඩා පපුව විශාල සිරුරකට. ඒ අයට ගැළපෙන්නෙ සිල්ක් සාරි. නමුත් පිම්බෙන ගතිය අඩු සාරිත් හොඳයි.නෙට්වලින් කරපු සාරි ඇඳීමේදී තරමක් පිම්බෙන ගතියක් එන නිසා එවැනි සාරිත් සුදුසු නෑ. නමුත් ලස්සන එම්බ්‍රොයිඩර් සාරි මෙවැනි අයට හරියටම ගැළපෙනවා. සාරි ඇඳීමේදී ටිකක් ඉන හරියට වගේ වෙන්න උඩට අරන් පොට ගන්න එකත් මේ හැඩයට ගැළපෙනවා.

ඒ වගේම උරහිසේ සහ පපුවේ අගයට වඩා ඉන අඟල් කීපයක් අඩු නම් එහෙම අයට තියෙන්නෙ හැඩති සිරුරක්. ගොඩක් වෙලාවට ඕනෙම සාරියක් මේ වගේ අයට ගැළපෙනවා. ජොර්ජෙට්, චිෆෝන්, නෙට් මේ ඕනෙම රෙද්දකින් කරපු සාරියකින් එවැනි සිරුරක හැඩය ලස්සනට මතු කර ගන්න පුළුවන්. බොහොම චාම් විදියට වැඩ දමපු සාරි වගේම ලස්සන එම්බ්රෝයිඩර් කරපු සාරිත් එවැනි අයට අපූරුවට ගැළපෙනවා.

උස යුවතියන්ට ළා පැහැ සාරිවලට වඩා ගැළපෙන්නේ තද පාට සාරි. ඒ වගේම ලොකු මෝස්තර තියෙන සාරිවලින් උස අඩුකර පෙන්වන්නත් පුළුවන්. කොට්න් සාරි,රෝ සිල්ක් සාරි,පියෝ සිල්ක් සාරිත් උස අයට ගැළපෙනවා.

මිටි යුවතියන්ට නම් ළා පැහැති කෙටි බෝඩරයක් සහිත සාරි වගේම දිගු අතට කරපු මෝස්තර සහිත සාරි වඩාත් හොදින් ගැළපෙනවා. ලොකු බෝඩර් සහිත සාරිවලින් මිටි ගතිය ඉස්මතු කර පෙන්වන අතර ජොර්ජෙට්, චිෆෝන්,ශිමර් සහ සිල්ක් සාරි මෙවැනි අයට හොඳින්ම ගැළපෙනවා.

තරමක් මහත යුවතියන්ට බර අඩු ජොර්ජෙට්, චිෆෝන් සහ ක්‍රෙප් සාරි සුදුසුයි. ඒ වගේම තද පැහැති පොඩි බෝඩරයක් සහිත සාරි, සියුම් එම්බ්රෝයිඩර් සාරි වගේම පබළුවලින් වැඩ දැමූ සාරිත් මහත යුවතියන්ට ගැළපෙනවා. සිහින් සිරුරක් ඇති යුවතියන්ට ගැළපෙන්නේ බර රෙද්දෙන් කරන ලද සිල්ක්,බ්රෝකෙඩ් සාරි වර්ගයි. හොඳින් වැඩ දැමූ එම්බ්රෝයිඩර් සාරි වගේම මුද්‍රිත (Printed) සාරි වගේම ලෙහංගා සාරි විලාසිතාවත් මෙවැනි අයට හොඳින්ම ගැළපෙනවා.නමුත් ජොර්ජෙට්, චිෆෝන් සහ ක්‍රෙප් සාරි නම් එතරම් ගැළපෙන්නේ නැහැ.

 

[ශ්‍යාමලි නිශාන්ති]


රස ගුණ අඩුවක් නැති සෝයාමීට්

ලොකු කුඩා කවුරුත් කැමති ජනප්‍රිය ආහාරයක් මෙන්ම පෝෂණයෙන් අනූන නිර්මාංස ආහාරයක් වන සෝයා මීට් නිෂ්පාදනය කරන්නේ සෝයා බෝංචිවලිනි. සෝයා අයත් වන්නේ රනිල කුලයටයි. රනිල කුලයේ ආහාරවලට දඹල, බෝංචි, මෑ, කවුපි, මුංඇට, පරිප්පු, කඩල, පිනි බෝංචි යනාදිය අයත් වන අතර මේවායේ ප්‍රෝටීන බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. රනිල කුලයේ ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය අතර, විටමින් A,C,E, ඉතා වැඩි ප්‍රමාණවලින් පවතී. එසේම ලිනමරින් නමැති රසායනික ද්‍රව්‍යද එහි අඩංගු වේ. ශාක ප්‍රෝටීන වැඩිපුර අඩංගු වන බැවින් මාංස ප්‍රෝටීන අනුභව නොකරන අයට මේ ආහාර ඉතා වැදගත්ය.

කිරි අගුණ අයටද සෝයා ප්‍රෝටීන ඉතා වැදගත් ප්‍රෝටීන ප්‍රභවයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, රනිල කුලයේ ආහාර දෙවර්ගයක්වත් දිනකට ආහාර වේලෙහි අඩංගු එළවළු අතරට එක්කර ගන්නා ලෙසය. මේවා කොලෙස්ටරෝල් ඉවත් කිරීමේ ගුණයෙන් යුක්ත බැවින් හෘද රෝගීන්ට ඉතා කදිම ය. මේ කුලයේ බෝගවල ග්ලූකෝස් ඉවත් කිරීමේ ගුණයද පිළිකා සෛල නැති කිරීමේ බලයද ඇත. එබැවින් මේ ආහාර පෝෂණ ගුණය අතින් සිරුරට ඉතා වටිනා ආහාර කාණ්ඩයකි. මේවා සත්ව ප්‍රෝටීනවලට වඩා මිලද අඩුය. එබැවින් ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස වැඩෙන ළමයින්ට, දියවැඩියා හා හෘද රෝගීන්ට, පිළිකා රෝගීන්ට මේ ආහාර අතිශයින්ම ගුණදායකය.

සෝයා බෝංචිවලට විශේෂිත වූ පෝෂණ ගුණය, ආවේණික රස සහ ප්‍රයෝජන රාශියක් ගත හැකි වීම නිසා ප්‍රෝටීන් බහුල සෝයා බෝංචි ආශ්‍රිත නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත වී තිබේ. ඉහළ ප්‍රෝටීන් අගයකින් යුතු සෝයා ග්‍රෑම් 100ක අඩංගු කිලෝ කැලරි ප්‍රමාණය 446කි. එහි කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 30.16ක් ද මේදය ග්‍රෑම් 19.94ක්ද, ප්‍රෝටීන් ග්‍රෑම් 36.49ක්ද විටමින් සහ කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස් ඇතුළු ඛණිජ වර්ග බොහොමයක්ද අඩංගු වේ.

සෝයා බෝංචි ඇමරිකා එක්සත් ජනපදය , බ්‍රසීලය, ආජන්ටිනාව , චීනය සහ ඉන්දියාව වැනි රටවල් ප්‍රධාන වශයෙන් වගා කර නිෂ්පාදනය කරනු ලබයි. සෝයා තෙල්, TVP (Textured Vegetable Protein) සෝයා කිරි, සෝයා සෝස්, සෝයා ටෝෆු, සෝයා යෝගට්, සෝයා සොසේජස්, සෝයා අයිස්ක්‍රීම්, සෝයා රෝල්ස්, ඇතුළු තවත් නිෂ්පාදන ගණනාවක් සෝයා ආශ්‍රයෙන් සිදුකළ හැකිය. එමෙන්ම සෝයා ඔමේගා 3 මේද අම්ල සහ වෙනත් මේද අම්ලවලින්ද පොහොසත් ආහාරයකි.


කෑමක් හින්දා බඩ ලෙඩ වුණොත්?

වෛද්‍ය [සමන්තිකා පෙරේරා]

බඩේ අමාරු කියන්නේ සුලබ ලෙඩක්. බඩේ අමාරුව හැදෙන හේතු අතර අජීර්ණය කියන්නේ බොහෝ දෙනකුට මුහණ දෙන්න වෙන ලෙඩක්. බොහෝ වෙලාවට අජීර්ණයක් ඇතිවීමට මූලික හේතුව වෙන්නේ ඇතැම් ආහාරපානයි. ඒ වගේම කිසියම් විසබීජයකට අමාශය තුළ ඇතිවන ප්‍රතික්‍රියාවක් නිසාත් අජීර්ණයක් ඇතිවෙන්න පුළුවන්.

බඩේ අජීර්ණයකදී සිරුරේ ඉල ඇට ප්‍රදේශයේ සිට නාභිය දක්වා කැක්කුමක් සහ අපහසුතාවක් ඇති වනවා. සමහරකුට ඒ සමග බඩේ හෝ පපුවේ දැවිල්ල ද ඇතිිවිය හැකියි. බොහෝ විට ආහාර ගෙන පැය භාගයකට පමණ පසුව මෙම තත්ත්වය ඇතිවිය හැකිය. මේ වේදනාව ඇතිවන්නේ ආමාශයේ ඇති අම්ලය ගලනාලය දිගේ ඉහළට ඒම නිසයි. ඒ වගේම උදරය තුළ සුළං පිරී ඇතිවාක් මෙන් දැනීම, එහෙමත් නැත්නම් බඩ පිපී ඇති බව දැනීම වගේම ඒ නිසාම ඇතිවන ආහාර අරුචිය අජීර්ණයකදී ඇතිවන පළමු රෝග ලක්ෂණ ලෙස සැලකිය හැකියි.

කෙසේ වෙතත් අජීර්ණ තත්ත්වයක් ඇතිවූ විට එම තත්ත්වය වැඩිවීමට බලපාන හේතු අතර නිතර තේ, කෝපි පානය, දුම්පානය, මත්පැන් භාවිතය, අධික තෙල් මිරිස් සහිත කෑම ගැනීම, ලුණු, චොක්ලට් වැනි ආහාර නිතර ගැනීම, ගර්භණී භාවය, මානසික ආතතිය, තරබාරුකම මෙන්ම නියමිත වෙලාවට ආහාරපාන නොගෙන සිටීම මූලික වනවා.

අජීර්ණය ඇතිවීම වළක්වා ගැනීම ඒතරම් අපහසු කාර්යයක් නොවෙයි. නමුත් ඒ සඳහා නුසුදුසු ආහාරපාන සහ වැරදි ආහාර පුරුදුවලින් ඈත් වී සිටීම කළ යුතුයි.

ඔබ අධික මිරිස් සහ තෙල් සහිත ආහාර ගන්නවා නම්, නිතර නිතර තේ සහ කෝපි පානය කරනවා නම් හැකිතරම් එම ආහාරපාන ගැනීම සීමා කරන්න. ඒ වගේම එළවළු, පලතුරු, පලා වර්ග ආදී තන්තු අධික ආහාර වර්ග වැඩිපුර කෑමවේලට එක් කරගන්න. දිනකට පිරිසුදු වතුර වීදුරු හත අටක් පානය කරන්න. දුම් සහ මත්පැන් පානය සම්පූර්ණයෙන් නතර කරන්න. තද ඇඳුම් වෙනුවට සැහැල්ලු ඇඳුම් අඳින්න. ඒ වගේම මානසික ආතතියෙන් මිදී නිතරම හිත සැහැල්ලුවෙන් මනස විවේකීව තබාගැනීමද හිතකරය.

සාමාන්‍යයෙන් අජීර්ණයක් දිනක්, දෙකක් තුළ ඉබේම සුව වීමට බොහෝ දුරට ඉඩ තිබෙන අතර එසේ නොවන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගැනීම සුදුසුය. එසේම මුලින් කී සාමාන්‍ය අජීර්ණයකදී ඇතිවන මූලික රෝග ලක්ෂණවලට අමතරව, ඔබේ වයස අවුරුදු 40 හෝ ඊට වැඩි නම් සහ මීට පෙර එවැනි අපහසුතා ඇතිනොවිණි නම්, මල තාර වැනි කළු පැහැයක් ගනී නම්, ආහාර ගිලීමේදී අපහසුතාවක් ඇතිවේ නම්, සිරුරේ බර ක්‍රමයෙන් අඩුවේ නම් හෝ සිරුරට අධික තෙහෙට්ටු ගතියක් දැනෙනවා නම් හෝ වයස අවුරුදු 12ට අඩු ළමයකු නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීම සුදුසුය. වෛද්‍යවරයාට ඔබේ රෝගී තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු පැවසීමත් වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමත් තුළින් ඔබට මෙම කරදරකාරී රෝගයෙන් සුවය ලබාගත හැකිය.

මාතෘකා