වැරැදි පුරුදු නිසා සමට වන හානි

 ඡායාරූපය:

වැරැදි පුරුදු නිසා සමට වන හානි

උපදෙස් [ හසිනි සිල්වා( ආයුර්වේද විශේෂඥ - සැලුන් වීනස් )

NVQ level-4 , International Hair Beauty Bangkok, Thailand]

තමන්ට උපතින් ලැබී තිබෙන ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන යෑම තරමක අභියෝගයකි. වර්තමානයේ විවිධ ක්‍රම මගින් සම පැහැපත් කරගන්නා තරුණියන් බොහෝමයක් සිටී. එසේ වුවත් ඒ සියලු ක්‍රම තාවකාලික වේ. වඩාත් වැදගත් වන්නේ තමන්ගේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කරගැනීමයි. ඒ සඳහා ඇතැම් විට අප සිදුකරන වැරදි පුරුදු අත්හැරීම වැදගත් වේ.

යුවතියක, කාන්තාවක ලෙස හිසේ සිට පාදාන්තය දක්වා අවධානය යොමුකිරීම වැදගත් වේ. ඒ අතර වරලස සහ සම විශේෂයෙන් වැදගත් වේ. සම යනුවෙන් හඳුන්වන්නේ කෙනෙක් අප දෙස බැලූ විට මූලික ලෙසින් පෙනෙන දෙයටයි. සමෙහි පැහැපත් බව රඳා පවත්වා ගැනීම සඳහා සමෙහි තෙතමනය ඉතා වැදගත්ය. එමෙන්ම සමෙහි ඇදෙනසුලුබවද ඉතා වැදගත් වනවා. දිගුකාලීන නිරෝගී සමක් උරුම කර ගැනීම සඳහා ශරීර අභ්‍යන්තරයේ පැවැත්මට අවශ්‍ය ජලය නිසි පරිදි පානය කිරීමද කළ යුතු වනවා.

ඊට අමතරව පෝෂ්‍යදායී ආහාරපාන ලබාගැනීම, හොඳ නින්දක් ලබාගැනීම, විවේකය, මානසික ඒකාග්‍රතාව නිසි පරිදි පවත්වා ගැනීම ආදිය හේතුවෙන් නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීමට පුළුවන. මේ කාරණා නිසි පරිදි නොපිළිපැදීමෙන් සමට ඇතිවන හානිදායක දෑ වැඩිවේ. එම නිසා පළමුව ස්වභාවික ආකාරයට තමන්ගේ සම සහ කොණ්ඩය රැක ගැනීමට උත්සාහ ගත යුතුය.

බොහෝ තරුණියන් තමන්ගේ මුහුණේ ඇති වන කුරුලෑ නියපොතුවලින් කැඩීම සිදුකළත් එය නොකළ යුත්තක්. එසේ කුරුලෑ කැඩීමෙන් ඇතිවන කැළැල ස්වභාවිකව මැකෙන්න අවම වශයෙන් මාස 07ක් පමණ ගතවනවා. ඒ වගේම සියයට 100ක්ම කැළැල මැකෙන්න යන කාල සීමාව එක් අයකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වනවා. කුරුලෑවක් මතුවූ තැනක ඇතිවන කුඩා සලකුණක් වුවත් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට කල්ගතවන අතර ඒ සඳහා ක්ෂණික ප්‍රතිකාර නැත.

නොසිතන අවස්ථාවලදී ආහාර අසාත්මිකතාවන් නිසා සමෙහි ඇලර්ජි තත්ත්වයන් ඇතිවීමට පුළුවන. කිසි විටකවත් නිසි දැනුවත්වීමකින් තොරව හිතුමනාපයට අත් බෙහෙත් පරිහරණය කිරීමට යෑමෙන් භයානක තත්ත්වයක් ඇතිවීමට පුළුවන. විවිධ අසාත්මිකතාවන් නිසා සම මත ඇති වන දද, කුෂ්ට සහ වණ ආදිය සඳහාද ක්ෂණික ප්‍රතිකාර නොමැත.

බොහෝ කාන්තාවන් සිරුර සේදීමෙන් පසු සම ඇදෙනසුලු අයුරින් තුවායෙන් පිසදැමීම සිදු කරනු ලබනවා. තුවායෙන් තම සම පිසදැමීමේදී ඉතාමත් සංයමයෙන් යුක්තව එය සිදු කිරීමට වගබලා ගත යුතු වනවා. උණු වතුර භාවිතය හැකිතාක් දුරට අවම කරගත යුතුයි. හැකිතාක් තමන්ගේ ශරීරය අව්වට නිරාවරණය වීම වළක්වා ගත යුතු වනවා. දැඩි රස්නයෙන් යුක්තව, සම මතට උණු ජලය වැටීමෙන් මෙන්ම දැඩි අව් රශ්මියට සම නිරාවරණය වීමෙන් සම දුර්වර්ණ වීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තරමක කාලයක් ගතවීම සිදුවන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

සටහන [මදාරා මුදලිගේ]

මාතෘකා