හැඩැති පෙනුමකට උපදෙස්

 ඡායාරූපය:

හැඩැති පෙනුමකට උපදෙස්

සෑම කාන්තාවක්ම ආකර්ෂණීයව තමන්ගේ ශරීර ස්වභාවය පවත්වා ගැනීමට උත්සහ කරයි. කොතරම් ස්ථුලතාවයෙන් යුක්ත කාන්තාවක් වුව ද උත්සාහ කරන්නේ සිහින් සිරුරක් හිමිකර ගැනීමටය. ඒ සඳහා ඔවුන් නොකරන දේවල් නොමැති තරම්ය. එහෙත් එතරම් වෙහෙසක් නොදරා පහසුවෙන් ශරීරයේ හැඩය පවත්වාගෙන යෑම පිළිබඳ බොහෝ කාන්තාවන්ට දැනුමක් නැත. මේ, ඒ සඳහා වැදගත් වන කරුණු කිහිපයකි.

තන්තුමය අාහාර වැඩිපුර ගන්න

තන්තුමය ආහාර වැඩිපුර ගැනීමෙන් ශරීර‍ය මහත්වීම පාලනය කළ හැකිය. දිනකට පුද්ගලයෙකු තන්තු ග්‍රෑම් 30ක් පමණ ගත යුතු බව බටහිර වෛද්‍යවරු තම පරීක්ෂණවලින් ‍අනාවරණය කර ඇත. දිගු කාලීන වශයෙන් සෞඛ්‍යවත් ජීවිතයක් ගතකිරීම සඳහා තන්තුමය ආහාර, ආහාර වේල් සඳහා අඩංගු කර ගත යුතුය. තන්තුමය ආහාර වර්ග දිගින් දිගටම ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වා ගත හැකිය. ඕට්ස්, කුරක්කන්, ඉරිඟු , කඩල, කව්පි, යනාදී ධාන්‍ය වර්ගත්, කෙසෙල්, ඇපල්, දොඩම්, රාස්බෙරි වැනි පළතුරු වර්ග යනාදිය ආහාරයට ගැනීම සුදුසු ය.

පිෂ්ටය අඩංගු ආහාර අඩු කරන්න

පිෂ්ටය යනු කා‍බෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වර්ග වේ. ශරීරය ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයකුට පිෂ්ටය අඩංගු පාන්, බනිස් , අල, බතල, මඤ්ඤොක්කා වැනි ආහාර වර්ග අඩු ප්‍රමාණයෙන් හෝ ආහාරයට නොගෙන සිටීම වඩාත් වැදගත් වේ. අධික ලෙස පිෂ්ටය අඩංගු ආහාර ගැනීමට පුරුදු වී සිටීමෙන් පසුකාලීනව බෝ නොවන රෝගවලට ගොදුරු වීමට සිදුවේ. එපමණක් නොව ශරීරය අධික ලෙස මහත් වීම අඩුකර ගැනීමට හැකියාව නොලැබේ.

ආහාර ප්‍රමාණය අඩු කරන්න.

ක්ෂණික ආහාර ගැනීම හැකිතාක් දුරට අඩු කළ යුතු ය. එළවළු, සහ පලතුරුවලින් සකස් කර ගත් සලාද, යුෂ වර්ග දෛනික ආහාර වේලට එක්කර ගත යුතුය. අධික ලෙස තෙල් සහ සීනි අඩංගු ආහාර ගැනීමෙන් වැළකීම මඟින් ශරීරයේ ස්ථුලතාව මඟහරවා ගත හැකිය. අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාර ගැනී‍මට පුරුදු වීම වඩාත් යහපත් වේ. නිවසේ පිසූ ආහාර ගැනීමට පුරුදු වී හැකි තාක් අවන්හල්වලින් ආහාර ගැනීම කෑම අඩු කරන්න. ඒවායේ පිසින ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමට පුරුදු වීමෙන් ලෙඩ රෝග බොහොමයක් ඇතිවීමට පුළුවන. ඒ කෙසේ වුවත් වේල් තුනේදීම ගනු ලබන ආහාර ‍ප්‍රමාණය අඩුවෙන් ගැනීමෙන් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමට පුළුවන.

වැඩියෙන් ජලය පානය කරන්න

ජලය වැඩි වශයෙන් පානය කිරීම නිරෝගී සෞඛ්‍යවත් ජීවන රටාවකට වඩාත් ප්‍රයෝජනවත් වේ. වැඩි වශයෙන් ජලය පානය කිරීම බොහෝ රෝග පාලනය වීම සඳහා ඉවහල් වේ. විශේෂයෙන් අධික ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයින් වැඩිපුර ජලය පානය කිරීමට පුරුදු විය යුතුය. නිරෝගී සමක් හිමි කර ගැනීම සඳහාද වැඩි ජලය ප්‍රමාණයක් පානය කිරීම වැදගත් ය.

[මදාරා මුදලිගේ] Stylecraze ඇසුරිනි

මාතෘකා