සතුට හොයාගන්න

 ඡායාරූපය:

සතුට හොයාගන්න

සතුටින් ඉන්න අපි හැම කෙනෙක්ම කැමතියි. ඒත් එදිනෙදා ජීවිතේ මුහුණ දෙන්න වෙන බාධක ගැටලු සමඟ සතුට සොයාගැනීම තරමක අභියෝගයක් බවට පත්වී තිබෙනවා. නමුත් ස්නායු විද්‍යාව සම්බන්ධ ප්‍රවීණයන් විසින් තහවුරු කර තිබෙන පහත සඳහන් කරුණු අනුගමනය කිරීමෙන් ඔබට සතුට සොයාගෙන ජීවිතය යහපත් ආකාරයෙන් ගතකළ හැකියි.

වරකට එක ගැටලුවක් විසඳන්න

කාංසාව සහ තරහ ඇතිවීමට සහ මානසික ආතතිය ඇතිවීමට ප්‍රධානම හේතුවක් වන්නේ අප මනසේ ප්‍රශ්න ගොඩගහගෙන ජීවත් වීමයි. අන්තිමට සිදුවන්නේ "දොඩම් ගොඩ බදා ගත්තා වගේ" එකක්වත් විසඳා ගැනීමට නොහැකිව ජීවිතය අවුල්කර ගැනීමයි. තම සිත තුළ තිබෙන කෝපය නිසා තවකෙකු අපහසුවට පත්වන අවස්ථාද බොහෝය. එවැනි තත්ත්වයක් වළක්වාගෙන හිතේ සැහැල්ලුව ඇතිකර ගැනීම සඳහා ඔබට ඇති ගැටලු අනුපිළිවෙළින් පෙළගස්වා වරකට එකකට බැගින් විසඳුම් සොයන්න.

කිසිවක් සිතේ සඟවා නොගන්න

හිතට දුකක්, ප්‍රශ්නයක් ආවම ඒ ගැනම තැවෙමින් කල්පනා කරමින් සිටීම වෙනුවට ඔබේ හිතට වද දෙන දේවල් සමීපතමයකුට පවසන්න. ඔබට කිසිවකු පිළිබඳ කෝපයක් තිබෙනවා නම් එම කෝපය පහව යනතුරු සිතේ තිබෙන දේවල් කොළයක ලියන්න. එසේ කිරීමෙන් මොළයේ ස්නායු ලිහිල් වී ඔබේ ගැටලුවට හරියටම ගැළපෙන විසඳුම ඔබේ සිතට පැමිණිය හැකිය. දිනපොතක් ලිවීමේ පුරුද්දත් මානසික ආතතිය දුරුකර ගත හැකි කදිම ක්‍රියාවක් බවත් මතක තබාගන්න.

සමීපතමයන් සමඟ බෙදාගන්න

බොහෝ අය හිතට කරදරයක් ප්‍රශ්නයක් පැමිණි විට කිසිවකු සමඟ කතා නොකර පසෙකට වී ඒ ගැනම සිතමින් සිටිනු දැකිය හැකිය. නමුත් ඔබට හොඳින්ම විශ්වාසවන්ත කෙනෙක් සමඟ හිතේ තිබෙන ගැටලුව ගැන කතා කරන්න පුළුවන් නම්, හිතේ තියන දුක පහවන තුරු හඬන්නට පුළුවන් නම් එයින් ඔබේ හිතට දැනෙන පාළුව, කාන්සිය සහ වේදනාව නැතිවීමේ ඉඩකඩ වැඩිය.

අලුත් දෙයක් අත්හදා බලන්න

සතුට සොයාගත හැකි තවත් ක්‍රමයක් වන්නේ අලුත් දෙයක් ඉගෙන ගැනීමයි. ජීවිතයේ එක්තරා කාලයකදී ඔබ අතහැර දැමූ විනෝදාංශයක් වුවත් ඒ වෙනුවට ඔබට යළි තෝරාගත හැකිය. ඒ වගේම මෙතෙක් ඔබ නොකළ දෙයක් වුවත් අත්හදා බැලිය හැකිය. එය ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගනිද්දී ඔබේ සිතේ දුක උපදින සිතිවිලිද ක්‍රමක්‍රමයෙන් දුරුවී යනු ඔබට දැනේවි. එය ඔබට සතුටින් සිටීමට උපකාරී වනවා මෙන්ම අලුත් යමක් ජීවිතයට එක්කර ගැනීමේ සතුටද අත්විඳින්නට අවකාශ සලසාවි.

ස්තූති කරන්න

තමන්ට උදවු කරන අයට ස්තුතිය පුදකිරීමට බොහෝ දෙනකුට අමතක වනවා. එහෙත් චීන හා ජපන් ජාතිකයන් මෙන්ම බොහෝ බටහිර ජාතිකයන් පවා කුඩා උපකාරයක් කළ අයකුට වුවත් ස්තූතිය පුද කිරීමට පසුබට වන්නේ නැහැ. ස්නායු විද්‍යාව අනුව තහවුරු වී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ අපි කෙනෙක්ට ස්තූති කරන විට ඒ වෙනුවෙන් අපේ සිරුරේ නිපදවෙන එන්සයිමයක් නිසා අප තුළ ඇතිවන ධනාත්මක හැඟීම් නිසා සිත තුළ වන දුක්බර බව පහවී යන බවයි.

 

[චලනි අයේෂා] අන්තර්ජාලය ඇසුරිනි

මාතෘකා