රටට අභිමානයක්- ඔබට ආදර්ශයක් වන ඇගේ කතාව

 ඡායාරූපය:

රටට අභිමානයක්- ඔබට ආදර්ශයක් වන ඇගේ කතාව

බොහෝ විට ගැහැනිය උපමා කරන්නේ මලකටය. එනමුදු ජීවිතය මලක් සේ සුමුදු නොවූ විට මහ පොළොව සේ සියලු බර දරමින් ඇයට ජීවිතය ජීවත් කරවන්නට සිදුවේ. දහසක් දුක් දොම්නස් අතරින් ජීවිතය ජයගන්නට වෙහෙසෙන දිරිය ලියක් වන ඇගේ කතාව අප මෙවර 'ලිය' පිටුවට එක්කරන්නේ ඇගේ විසල් ආත්ම ශක්තියට උපහාර පුදන්නටත් සුවහසක් ලියන්ට ආදර්ශයක් වනුත් සඳහාත්ය.

ගිරිඋල්ලේ උපන් අයි.එල්.එස්. ජයසූරිය මහත්මිය උසස් අධ්‍යාපනය නිමාකිරීමෙන් පසු ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ කෘත්‍රිම මල් නිෂ්පාදනය පිළිබඳ සිව් වසරක පුහුණුවක් ලබා වෘත්තිය ජීවිතය අරඹන්නේ ජාතික තරුණ සේවා සභාවේ උපදේශිකාවක ලෙසිනි. එහි වසර දෙකක සේවා කාලයකින් පසු ජාතික ශිල්ප සභාවට සම්බන්ධ වන ඇය එහිද දස වසරක් උපදේශිකාවක ලෙස කටයුතු කළාය.

ඉන්පසු පෞද්ගලික ආයතනයක තත්ත්ව පාලිකාවක් ලෙස තවත් වසර කිහිපයක් සේවය කරන ඇය පසුව එයින් ඉවත්වී තමාගේම කෘත්‍රිම මල් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්නේ තවත් 42දෙනෙකුටද ඒ තුළ රැකියා අවස්ථා හිමිකර දෙමිනි.

ගමේ සමාජ සේවා කටයුතුවලට මෙන්ම පොදු කටයුතුවලටද නොමසුරුව දායක වෙමින් සැපවත් ජීවිතයක් ගත කළ ඇය තමාගේ ව්‍යාපාරය තුළින් ඉඩමක් මිලදී ගෙන නිවසක්ද සාදා තවත් විශාල නිවසක් බදු පදනම මත මිලදී ගෙන එහි තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියාය. ඒ වන විට සාර්ථක ව්‍යාපාරික කාන්තාවක ලෙස දියුණුවේ හිණි පෙත්තේ සිටි ඇයගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ නොසිතූ අයුරිනි.

ඇය ව්‍යාපාරික ස්ථානයේ නොසිටි මොහොතක එම ස්ථානයට පැමිණි පිරිසක් මල් නිෂ්පාදන කටයුතු සඳහා ගෙනැවිත් තිබූ ලක්ෂ 7කට ආසන්න අමුද්‍රව්‍ය සොරාගෙන ගොස් තිබිණ. අවිවාහක තම එකම දියණියට සිදුවූ එම අනපේක්ෂිත විපතින් දැඩි සිත් වේදනාවට පත් ඇගේ පියා එම සිදුවීමෙන් මාස තුනක් ගතවීමට මත්තෙන් ජීවිතයෙන් සමුගන්නේ ඇයව තවත් අසරණ කරමිනි.

ඉන්පසු ජයසූරිය මහත්මියගේ මවද හදිසියේ අසනීප වන අතර අනපේක්ෂිත කරදර රැසකට මුහුණ දීමට සිදුවීම නිසා ඇය දැඩි ආර්ථික පරිහානියකට පත් වූවාය. පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඇයගේ එකම සොයුරාගේ බිරියද මේ කාලයේදී වියෝවන්නේ තම දරුවන් තිදෙනාගේ වගකීමද ඇය පිට තබමිනි.

ව්‍යාපාරය සඳහා ගත් ණය බේරාගත නොහැකිව ණයකාරියක් බවටද පත්ව දහසක් සිත් තැවුල් විඳිමින් ජීවත්වන ඇය සිත නිවාගන්නේ බුදු ගුණ මෙනෙහි කරමිනි. 'උතුම් බුදු ගුණ සත්‍යයි' නම් කෘතිය ඇය රචනා කරන්නේ එවැනි පසුබිමක් තුළදීය. ඒ තුළින් චිත්ත ධෛර්යය උපදවාගත් ඇය වසර 7ක් නවතා දමා තිබූ තම කෘත්‍රිම මල් සැකසීමේ ව්‍යාපාරය යළි ආරම්භ කරන්නේ අසල්වැසියන්ගේ උපකාරයෙන් මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදලක් මාර්ගයෙනි. එහෙත් විදේශ රටකට යවන්නට සූදානම් කර තිබූ කෘත්‍රිම මල් තොගයක අලවා තිබූ කම්බි මල කෑම නිසා එම ඇනවුම් අවලංගුවීමත් සමග ඇය යළිත් අසීරුතාවට පත්වූවාය.

ණය බර වැඩිවීම නිසා කබලෙන් ළිපට වැටුණා වැනි තත්ත්වයකට පත්වී සිටින ඇය සතුව මේ වන විට ලක්ෂ 5කට අධික වටිනාකමින් යුතු අමුද්‍රව්‍ය තිබුණද මල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සෙසු අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වත්කමක් නොමැතිව ව්‍යාපාර කටයුතු ඇණ හිට තිබේ. කෙසේ හෝ නැවත ව්‍යාපාර කටයුතු පටන් ගතහොත් එයින් තවත් කිහිපදෙනෙකුට ජීවනෝපාය මාර්ගයක් සලසා දීම ඇගේ අරමුණයි.

" මේ තරම් කරදර, බාධා, දුක් කම්කටොලුවලට මුහුණ දුන්නත් මගේ හිත ශක්තිමත්. අනන්ත වූ බුදුගුණ බලයෙන් මම ඒ හැමදේටම මුහුණ දෙනවා. සමහරු හිතුවා වෙච්ච කරදර නිසා මම ජීවිතේ නැතිකර ගනීවි කියලා. ඒත් ඒ වගේ සිතිවිල්ලක් ඇතිකරගෙන මම ඉදිරි ආත්මයකටවත් පාපී සිතිවිලි එකතු කරගන්නේ නැහැ. පෙර කළ අකුසලයක් අනුව මට මම කලින් ගතකළ සැපවත් ජීවිතය අහිමි වෙන්න ඇති.

ඒත් පෙර කුසල් අනුව මට හොඳ බුද්ධියක්, පිරිසිදු මනසක් සහ දෑතේ කලා කුසලතාවයක් ලැබී තිබෙනවා. එයින් මට නැවත නැඟී සිටින්න පුළුවන් කියන ආත්ම විශ්වාසය මා තුළ තිබෙනවා. ස්වාභාවික ඕනෑම මලක් කෘත්‍රිම ලෙස එලෙසින්ම නිමා කිරීමේ හැකියාව ඇති මම විශ්වකර්ම සම්මාන, කුසලතා සහතික ලබා තිබෙනවා. ඒ වගේම දහස් ගණනකට මගේ දැනුම ලබාදී තිබෙනවා.

ඒත් අද මම මූල්‍ය පහසුකම් අතින් හුඟක් අසරණ වෙලා සිටිනවා. මගේ ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට මූල්‍ය ශක්තියක් ලබාදීමට කිසියම් ආයතනයක් හෝ කෙනෙක් ඉදිරිපත් වනවා නම් එය විශාල උපකාරයක්. ව්‍යාපාරය කරගෙන යද්දි මට ඒ මුදල් නැවත පියවන්න පුළුවන්. ඒ වගේම මා විසින් ලියා තිබෙන 'උත්තම බුද්ධ වන්දනා බෝධි පූජා සහ සෙත් පිරිත්' පොත මුද්‍රණය කරගැනීමට සහ කලින් ප්‍රකාශයට පත්කළ 'උතුම් බුදුගුණ සත්‍යයයි' පොත නැවත මුද්‍රණය කිරීමටත් මට ආර්ථික ශක්තියක් නැහැ. කවුරුන් හෝ ඒ සඳහාත් මට මූල්‍යමය උපකාරයක් ලබාදෙනවා නම් එය විශාල පුන්‍යකර්මයක්."

මේ වන විට 58 වැනි වියේ පසුවන ඇය සතු ආත්ම ශක්තිය සුළු ප්‍රශ්න හමුවේ පවා ජීවිතයෙන් පලායන්නට තැත් දරන කාන්තාවන්ට සැබෑ ආදර්ශයකි. මලක් සතු ස්වාභාවික සුන්දරත්වය සහ මෘදු බව ඇය අතින් නිමවූ කෘත්‍රිම මලකද එලෙසින්ම දක්නට තිබේ. දුක, සැප හමුවේ දෝලනය වන ජීවිතය ඇය කලින් ගතකළ සැපවත් දිවිය ඇයට අහිමි කළද ඇය බලාපොරොත්තුව සහ ආත්ම විශ්වාසය අතහැර නැත. ඇගේ ජීවිතයෙන් අප කාටත් උකහා ගත හැකි සොඳුරු පාඩම එයයි.

ඒ සමග ඇයට නැවත නැඟී සිටින්නට, ව්‍යාපාරය නැවත අරඹන්නට මූල්‍ය ශක්තියක් වන්නට කෙනෙකුට හැකිනම් එය මිනිසත්කම වෙනුවෙන් කරන උපහාරයක්ම වනු ඇත. ඒ සඳහා කැමති ආයතනයක් හෝ පුද්ගලයකු වේ නම් 077-4921260 දුරකතන අංකය ඔස්සේ ජයසූරිය මහත්මිය හෝ 'රැස' අප අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මාතෘකා