දෙපා ලස්සනට තියාගන්න හැටි

 ඡායාරූපය:

දෙපා ලස්සනට තියාගන්න හැටි

ලස්සන වෙන්න කැමති හුඟක් කාන්තාවන්ට මුහුණ පිළිබඳ දක්වන අවදානය සහ උනන්දුව තමන්ගෙ දෙපා වෙනුවෙන් දක්වන්න අමතක වෙනවා. බොහෝ විට කොට ඇඳුමක් අඳින වෙලාවට තමයි තමන්ගෙ දෙපා සම්බන්ධයෙන් බොහෝ යුවතියන් අවධානය යොමු කරන්නේ. නමුත් බොහෝ විට තාවකාලිකව ආලේප කරගන්නා ක්‍රීම් වර්ගයකින් දෙපාවල අවලස්සන දුරුකරගැනීම අපහසුයි. දීර්ඝ කාලයක් තිස්සේ දෙපාවලට අවධානය යොමු නොකරන විට සිදුවන්නේ සම වියළීම, කොරල මතුවීම, නියපොතු අවලස්සන වීම, අනවශ්‍ය අයුරින් රෝමකූප වර්ධනය වීම, නිරන්තරව දූවිලි සහ කුණු තැවරීම නිසා ඒවා නිසි පරිදි ඉවත් නොවීමෙන් සම අවපැහැයට ලක්වීම වැනි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවීමයි. මේ නිසා සිරුරේ අනෙක් ඉන්ද්‍රීයන්ට මෙන්ම ඔබේ දෙපාවලටත් ආදරය කරන්න. හොඳින් රැකබලාගන්න. ඒ වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න. ඒ වෙනුවෙන් මේ උපදෙස් ඔබට වැදගත් වේවි.

· දිනපතා දෙපා හොඳින් පිරිසුදු කරන්න

දවසේ නිමාවේදී සිරුර පිරිසුදු කරගෙන නින්දට යන්නට හුරුව සිටියත් දෙපාවලට මෙතෙක් විශේෂ අවධානය යොමු කරන්නට ඔබට මඟහැරෙන්නට ඇති. දවස පුරා වැඩියෙන්ම දුහුවිල්ලට නිරාවරණය වන්නේ ඔබේ දෙපතුල්. පාවහන් පැළඳ සිටියත් දෙපාවලට දුහුවිලි ඇතුළු වෙනවා වැඩියි. මේ නිසා ‍‍සබන් හෝ බොඩිවොෂ් හෝ පාවහන් සඳහාම විශේෂයෙන් සකස් කළ සේදීම් කාරකයක් යොදාගෙන දෙපා පිරිසිදු කරන්න.

මඳ උණුසුම් ජලයෙහි මිනිත්තු 20ක් පමණ දිනපතා දෙපා රඳවාගෙන සිටින්න. බුරුසුවක ආධාරයෙන් නියපොතු හොඳින් පිරිසුදු කරන්න. යටි පතුල් අතුල්ලා කුණු ඉවත් කරගන්න. දෙපා පැලී ඇත්නම් ඒ දාර අතර ඇති කුණු දුහුවිලි රැඳෙන නිමා උණුවතුරේ දෙපා රැඳවීමෙන් ඒවා බොහෝදුරට ඉවත් කරගත හැකිය.

· නිය ආලේපන භාවිතය සැලකිල්ලෙන් සිදුකරන්න

නියපොතු මත ගල්වන නිය ආලේපන කල් ඉකුත් වන තුරු නොසිට ඉවත් කරගන්න. ඒ වගේම නිය ආලේපන භාවිතයේදී ප්‍රමිතියෙන් අඩු ආලේපන වර්ග භාවිතය සුදුසු වන්නේ නැහැ.

· ස්ක්‍රබ් භාවිතයෙන් දෙපාවල සම අලුත් කරගන්න

පාද සඳහා වන ස්ක්‍රබ් වර්ගයක් භාවිතයෙන් දෙපාවල මැරුණු සම ඉවත් කරගන්න. ඒ සඳහා නිවසේදීම හදාගැනීමට පහසු ස්ක්‍රබ් එකක් තමයි කෝපි ස්ක්‍රබ්. කෝපි කුඩු ස්වල්පයක්, කුඩා කැට තියෙන සීනි ස්වල්පයක් සහ ඔලිව් තෙල් ස්වල්පයක් එකට මිශ්‍ර ස්ක්‍රබ් එකක් සාදාගන්න. ඇඟිලි තුඩුවලින් ඉතා සෙමින් ස්ක්‍රබ් කිරීම සිදුකර, ඉන්පසු පිරිසිදු සිසිල් වතුරෙන් සෝදා හැර හොඳින් තෙත මාත්තු කර මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

· අනවශ්‍ය රෝම නිවැරදිව ඉවත් කරගන්න

දෙපාවල හැදෙන අනවශ්‍ය රෝම කැලැල් නොසිටින අයුරින් ඉවත් කරගන්න. කකුල්වල යටිපතුල් පැලෙන අයට කෝමාරිකා යුෂ හෝ ඔලිව් තෙල් කදිම සත්කාරයක්. දෙපාවලට මෙතෙක් කුඩම්මාගේ සැලකිලි ලබාදුන් අයටත්, තමන්ගේ දෙපා අලංකාර ලෙස පවත්වා ගන්නට උනන්දුව ඇති තවමත් ඒ සඳහා යොමු නොවුණු අයටත් මේ උපදෙස් වැදගත් වන බව නිසැකයි.

Smartlady වෙබ්අඩවිය ඇසුරිනි.

[යශෝදා ඉන්දීවරී]

මාතෘකා