මහ රැජිණත් වෙනස් වුණා, හැබැයි අපි එහෙම නැහැ

 ඡායාරූපය:

මහ රැජිණත් වෙනස් වුණා, හැබැයි අපි එහෙම නැහැ

එංගලන්තයේ දෙවෙනි එලිසබෙත් මහ රැජිණ කියන්නේ ලෝකේ වැඩියෙන්ම ගෞරවයට පාත්‍ර වුණ වැඩිම කාලයක් කිරුළ දරපු රාජකීයයා. ඔවුන් හැදෙන්නේ අපි වගේ නෙමෙයිනේ. වැසිකිළි යන්නත් මාලිගාවේ ගයිඩ් ලයින්. නිදහසේ වැඩ කරන්න බැහැ. මුළු රටක් බලාන ඉන්නේ ඔවුන් දිහා, වංශෙ දිහා.   

එතුමිය, ඔටුන්න හිමි චාල්ස් කුමාරයා සාමාන්‍ය පවුලක කැමිලා විවාහ කර ගන්නවට අකමැති වුණා. එතනින් ඔවුගේ ජීවිතේ පසු කාලෙක වෙච්චි අසර්ථකකම් දැකල රැජිණ වෙනස් වුණා. ඇය තමන් කළ වරදින් පාඩමක් ඉගෙන ගෙන චාල්ස් කුමාරයට පස්සේ හරි කැමති ගැහැණිය විවාහ කරගන්න ඉඩදුන්නා, ඔටුන්නට වෙන කැළල නොතකා. (ඔහුට රජකම දුන්නේ නැතිකම වෙනම දෙයක්.) පස්සේ ඔටුන්නේ පළමු හිමිකම තිබෙන මුණුබුරා විලියම් කුමාරයා සාමන්‍ය පවුලක තරුණියක් එක්ක යාළු වුණාම ඇය ඔවුනට විවාහ වෙන්න අවසර දුන්නා. ඇයට ඕනවෙන්න නැතුව ඇති චාර්ල්ස්ට වෙච්ච දේ විලියම්ටත්. ඊළඟ මුණුබුරා හැරී කුමාරයා දෙවරක් දික්කසාද වුණ, කළු අප්‍රිකානු සම්භවයක් ඇති මේගන් මේකල් සමග යාළු වී තිබෙනවා. රැජින කාලෙට අනුව වෙනස් වෙලා ඒ විවාහය කරගෙන ඇය වින්ඩ්සර් මාලිගාවට කැන්දන් එන්නත් අවසර දුන්නා. ඒ අනුව මේගන් රජ පවුලට සම්බන්ධවෙන පළවෙනි කළු ජාතික රුධිරය වෙනවා.   

මම මේ පල් හෑලි ඔක්කොම ලිවුවේ ඇයි දන්නවද? මහ රැජින වයස්ගතම රාජකීයයා වෙලා. එහෙම වෙනස් වුණත් අපි වෙනස් වෙන්නේ නැහැ. අපේ දෙමාපියෝ කොච්චර සාමාන්‍ය දුප්පත් පවුලක වුණත් කලින් විවාහ වුණ කෙනෙක් එක්ක විවාහ වෙන්න කවදාවත් දෙන්නේ නැහැ. උඹ ඕක අතහැරියේ නැත්නම් අපි නැහැ කියල හිතාගනින් කියල තර්ජනය කරනවා. Emotional Blackmail කිරීම අපේ දෙමාපියන්ට හරි ලේසියි. අපි ඉහේ මූණ ගහගෙනනේ දරුවෝ හදන්නේ.   

දෙමාපියෝ විතරක් නෙවේ බාහිර සමාජේ වුණත් කලින් විවාහ වුණ කෙනෙක් සලකන්නේ බිඳුණ බඩුවක් වගේ. අපේ රටවල පුද්ගල වටිනාකමට වඩා එහෙම නැත්නම් intrinsic value එකට වඩා බාහිර වටිනාකම extrinsic value එක ගැන අපි ගොඩක් වෙහෙසෙනවා. විවාහයේ ආදරේ ගුරු අරුතින් මිදිලා එය නිකන් රියැලිටි ෂෝ එකක් බවට අපි පත්කරගෙන ඉන්නවා. එතකොට තමන් හදන දරුවා කියන භාණ්ඩේ විවාහයේදී ඉහළින්ම ස්කෝර් කරන්න ඕනේ. අරයා බැන්ඳේ අහවල් පැත්තෙන්, අහවල් රස්සාව කරන්නේ, මෙච්චර් දේපොළ තිබ්බා කියල කතා කරන ලෝකෙක වරක් විවාහ වුණ කෙනෙක් එක්ක විවාහ වීම නිකං මදිකමක්. මනුස්සයා කියන වටිනාකම අපිට හරි අඩුයි.   

සුද්දන්ගේ හොඳ ගතියක් තමා, වරදින් පාඩම් ඉගෙන ගෙන සමාජේ යන පැත්තට ඉක්මණින් වෙනස් වෙන එක. ඩාර්වින් කිවුවා වගේ වෙනස් නොවෙන ජීවී විශේෂ ඉක්මණින් වඳ වෙනවා. අපි දූපතක කොටුවෙලා ඉන්න නිසා වෙන්න ඇති කාලය එක්ක වෙනස් වෙනවා හරිම අඩුයි. මෙහෙම මේ ගමන යන්න බැහැ. අපි හැමෝම කාලෙත් එක්ක වෙනස් වෙමු. අදහස් අලුත් කර ගමු.

[රෙෂිකා දිසානායක ගොඩකන්ද]

මාතෘකා