ලොව උණුසුම් කරන ලෝක පාපන්දු ඉතිහාසයේ කතාන්තරය

 ඡායාරූපය:

ලොව උණුසුම් කරන ලෝක පාපන්දු ඉතිහාසයේ කතාන්තරය

ලෝක පාපන්දු වසන්තයට තවත් ඇත්තේ මාස දෙකක කාලයකි. ඒ සඳහා දින ළංවන්න ළංවන්න පාපන්දු උණුසුමද වැඩි වෙමින් පවතී. මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ විසි එක්වැනි ලෝක පාපන්දු ශූරතා තරගාවලියයි. ඒ අප කවුරුත් දැනටමත් දන්නා ආකාරයට රුසියාවේදීය. මෙවර පාපන්දු ලෝක ශූරතාව රුසියාවේ පැවැත්වීම ගැන සාකච්ඡා වනවාත් සමගම  වැඩි කතා බහකට ලක්ව ඇත්තේ දේශපාලනික කාරණා මත පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක ශූරතාව වර්ජනය කිරීම පිළිබඳවය. විශේෂයෙන්ම රුසියාව සමග යුරෝපයේ රටවල් විසින් මේ මොහොතේ ඇතිකරගෙන තිබෙන රාජතාන්ත්‍රික ආරවුල් ඊට අවකාශය නිර්මාණය කර ඇත. මේ හේතුවෙන් මෙවර පාපන්දු ලෝක ශූරතාවට යුරෝපා රටවල් හයක් සහභාගි නොවීමේ තීරණයක් ගැන ලොව පුරා කතිකාවක් නිර්මාණය වෙමින් ඇත.

එම රාජතාන්ත්‍රික ආරවුල් පසෙක තබා මෙතෙක් ලෝක ශූරතා පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දක්වා ඇති රටවල්, කලාප වශයෙන් තරගාවලියට සහභාගීවන රටවල් සහ එහි ශූරතා දිනූ රටවල් මෙන්ම සත්කාරකත්වය දැක්වූ රටවල් තරගාවලියේ දැක්වූ දස්කම් පිළිබඳව අපි මෙම ලිපියෙන් තවත් පියවරක් වශයෙන් අවධානය යොමු කරමු.

පළමු පාපන්දු ලෝක ශූරතා තරගාවලිය පවත්වන ලද්දේ දකුණු අමරිකාවේ උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වයෙනි. 1930 දීය. එහිදී සත්කාරකත්වය සඳහා යුරෝපා රටවල් කිහිපයක්ද ඉදිරිපත්වූ නමුත් අවසානයේදී ඒ සියලුම රටවල් සත්කාරකත්වය සඳහාවූ තම ඉල්ලීම් ඉවත්කරගත් අතර නිතරගයෙන්ම උරුගුවේ රාජ්‍යය පළමුවැනි පාපන්දු ලෝක ශූරතාවයේ සත්කාරකත්වයට පත්විය. එහදී රටවල් 13ක් ශූරතාව සඳහා එක්විය. එකල නාවික ගමනානගමනයේ තිබූ අපහසුව නිසා තරගාවලිය සඳහා සහභාගී වූයේ යුරෝපා රටවල් හතරක් පමණි. ඒ ප්‍රංශය, බෙල්ජියම, රුමේනියාව සහ යුගොස්ලාවියාවයි. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය හැරුණුවිට ඉතිරි රටවල් අටම දකුණු ඇමරිකානු රටවල් විය. අවසානයේදී එම පළමු පාපන්දු ලෝක ශූරතාවයේ ජයග්‍රහණයද උරුගුවේ රාජ්‍ය සතුවිණි.

1934 පැවති දෙවැනි පාපන්දු ලොක් ශූරතා කුසලානය පැවතියේ ඉතාලියේදීය. ඒ සඳහා රටවල් 16 ක් එක් විය. නමුත් උරුගුවේහි පැවති පළමුවැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලියට බහුතරයක් යුරෝපීය රටවල් සහභාගී නොවූ නිසා මෙවර ඉතාලියේ පැවති තරගාවලිය සඳහා උරුවේ රාජ්‍යය සහභාගී නොවීය. පළමු ලෝක ශූරතා පාපන්දු තරගාවලියට දකුණු ඇමරිකානු රටවල් 8ක් සහභාගී වුවද මෙවර සහභාගී වූයේ ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය පමණි. ඇමරිකා එක්සත් ජනපදය සහ ඊජිප්තුවද ඉතාලියේ පැවති තරගාවලියට එක්වූ අතර ඒ සඳහා සහභාගී වූ යුරෝපා රටවල් සංඛ්‍යාව 12කි. අවසානයේදී තරගාවලියේ මූලික වටයෙන්ම කලාපයෙන් පිටත රටවල් ඉවතට විසිවූ අතර අර්ධ අවසන් වටයට සුදුදුකම් ලැබුවේ යුරෝපීය රටවල් 8කි. තරගාවලියේ ශූරතාව පසුගියවර මෙන් මෙවරද සත්කාරකයින්ට හිමිවිය. ඒ අනුව 1934 ශූරයින් වූයේ සත්කාරක ඉතාලියයි.

1938 පැවති තෙවැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලිය පැවතියේද යුරෝපයේදීමය. ඒ ප්‍රංශයේදීය. එවරද පළමු ලෝක ශූරයින්වූ උරුගුවේ තරගාවලිය සඳහා ඉදිරිපත් නොවීය. එසේම මෙවර ආර්ජන්ටිනාවද තරගාවලියට සහභාගීවූයේ නැත. දකුණු ඇමරිකාවෙන් සහභාගීවූයේ බ්‍රසීලය සහ කියුබාව පමණි. ඊට අමතරව එකළ ඩච් ඊස්ට් ඉන්ඩීස් ලෙස හැඳන්වූ ඉන්දුනීසියාවද තරගාවලියට එක්විය. ඉතිරි රටවල් 12ම යුරෝපීය රටවල් විය. තරගාවලිය සඳහා රටවල් 15ක් එක් විය. මෙවර තරගාවලියෙදෟ සත්කාරක ප්‍රංශය අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉතාලිය හමුවේ පරාජයවීම නිසා තරගාවලියෙන් ඉවතට යාමට සිදුවිය. දකුණු ඇමරිකානු රටක්වූ බ්‍රසීලය තරගාවලියේ තුන්වැනි ස්ථානය ලබාගත් අතර හංගේරියාව පරාජය කළ ඉතාලිය පිට පිට දෙවැනි වරටත් ශූරයින් විය.

1942දී සහ 1946දී දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් පාපන්දු ලෝක ශූරතාව නොපැවැති අතර 1950දී සිව්වෙනි පාපන්දු ලෝක ශූරතාවය පැවතියේ බ්‍රසීලයේදීය. ඒ සඳහා රටවල් 16ක් සහභාගී වූ අතර යුරෝපා රටවල් 6ක් සහ දක්‍රණු ඇමරිකානු රටවල් 6කි. පළමුවරට පාපන්දු ක්‍රීඩකරන ප්‍රධාන කළාප දෙකින් සමබර නියෝජනයක් පැවතියේ මෙම තරගාවලියේදීය. ආසියාවෙන් අප අසල්වැසි ඉන්දියාවද ඒ සඳහා සහභාගී වීමට නියමිත වුවද අවසානයෙදී සහභාගී නොවුණි. ඇමරිකා එක්සත් ජනපදය සහ තුර්කියද තරගාවලියට එක්විය. මෙවර තරගාවලිය සඳහා යුරෝපයේ තරගාවලි දෙකටම එක් නොවූ උරුගුවේ රාජ්‍යය සහභාගීවීම විශේෂත්වයක් විය. අවසානයේදී සත්කාරක බ්‍රසීලය සහ උරැගුවේ අවසාන තරගයට සහභාගීවිය. උරුගුවේ හමුවේ පරාජයට පත්වූ බ්‍රසීලය පාපන්දු ඉතිහාසයට එක්වූයේ අවසාන තරගයේදී පරාජයට පත්වූ පළමු සත්කාරක රට හැටියටය. ඒ අනුව දෙවැනි වතාවටත් පාපන්දු ලෝක ශූරතාවය ජය ගැනීමට උරුගුවේ සමත්විය.

පස්වැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන ලද්දේ යුරෝපයේ ක්‍රීඩා පිටිය ලෙස හඳුන්වනු ලබන ස්විට්සර්ලන්තය විසිනි. 1954 පැවති මෙම තරගාවලිය සඳහා සහභාගීවූ කණ්ඩායම් 16න් 11ක්ම යුරෝපයෙනි. ආසියාවෙන් දකුණු කොරියාව සුදුසුකම් ලැබූ අතර තුර්කියද තරගාවලියට එක්විය. දකුණු ඇමරිකාන් කලාපයෙන් තරගාවලියට එක්ව සිටියේ රටවල් තුනකි. ප්‍රථම වතාවට තම කලාපයෙන් පිට පැවැත්වෙන ලෝක ශූරතා පාපන්දු තරගාවලියක් සඳහා උරුගුවේ එක්වීම විශේෂත්වයකි. ඔවුන්ට අමතරව බ්‍රසීලය සහ මෙක්සිකෝව තරගාවලියට එක්වූ අනෙක් දකුණු ඇමරිකානු රටවල් දෙකය. තරගාවලියේ සත්කාරකයාවූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයෙන් ඕස්ට්‍රියාව හමුවේ පරාජය ලබා තරගාවලියෙන් ඉවත්විය. අවසන් තරගයෙන් යුරෝපා රටක්වූ එවකට බටහිර ජර්මනිය විසින් හංගේරියාව පරාජයට පත්කරමින් පස්වැනි පාපන්දු ලෝක ශූරතාව ජයගැනීමට සමත් විය.

හයවැනි පාපන්දු ලෝක ශූරතාව පැවතුෙණ්ද යුරෝපයේමය එවර ස්වීඩනයේදීය. 1958 පැවති මෙම තරගාවලිය සඳහාද සුදුසුකම් ලැබූ රටවල් සංඛ්‍යාව 16කි. ඉන් රටවල් 12ක්ම යුරෝපයෙනි. දකුණු ඇමරිකාවෙන් ආර්ජන්ටිනා, බ්‍රසීලය, පැරගුවේ සහ මෙක්සිකෝව යන රටවල් හතර සහභාගීවිය. ඉන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවේ යුරෝපා රටවල් 7ට අමතරව බ්‍රසීලය පමණි. අවසන් තරගය දක්වා පැමිණි ඔවුන් සත්කාරක ස්වීඩනය සමග අවසන්තරගයට මුහුණ දුන්නේය. 1950 තරගාවලියේදී බ්‍රසීලයට සිදුවූවාක් මෙන් මෙවර ස්වීඩනය බ්‍රසීලය හමුවේ අවසාන මහා තරගයේදී පරාජයටපත් විය. සත්කාරක රටක් අවසන්මහා තරගයේදී පරාජයටපත් වූ දෙවැනි අවස්ථාව එයයි. එසේම තම කලාපයෙන් පිටතදී ලෝක ශූරතාව ජයග්‍රණය කළ පළමු රටවූයේද ඒ අනුව බ්‍රසීලයයි.

1962දී පැවති හත්වැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන ලද්දේ දකුණු ඇමරිකානු රාජ්‍යක්වන චිලී රටයි. යුරොපයෙන් රටවල් 10ක් සහ සත්කාරක දකුණු ඇමරිකානු කලාපයෙන් රටවල් 6ක් ලෙස තරගාවලියට එක්වූ කණ්ඩායම් 16 සමන්විත විය. සත්කාරක චිලී කණ්ඩායම අවසන් පූර්ව තරගය දක්වා ඉදිරියට පැමිණි අතර අවසන් පූර්ව තරගයේදී බ්‍රසීලයට පරාජය විය. නමුත් අවසානයේදී තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ඔවුන් සමත්වූයේ යුගොස්ලාවියාව පරාජය කරමිනි. අවසන්තරගයේදී චෙකොස්ලොවැකියාව පරාජය කළ බ්‍රසීලය දෙවැනි වරටත් පාපන්දු ලෝක ශූරයන් බවට පත්විය.

(පිට පිට දෙවරක් තරගාවලියට සුදුසුකම් නොලබා සත්කාරකත්වය මත තරගාවලියට සහභාගීවී ශූරතාවය ජයගත් අවස්ථාවන් ලබන සතියේ .....)

[ඩබ්.ආර්. කුමාර]

මාතෘකා