කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

සිංහල කවියට අමුත්තක් ගෙන එන අමුත්තා

[කපිල එම්. ගමගේ]

සිංහල කවිය, නිරන්තරයෙන් පෙරදිග හා අපරදිග කාව්‍ය සාහිත්‍යයෙන් පෝෂණය ලැබීම පිළිබඳ ඉතිහාසයකට උරුමකම් කියන අතර ස්වාධීන ලක්ෂණ සහිතව එය වැඩෙන ආකාරයද දැකිය හැකිය. විශේෂයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය ප්‍රමුඛ කොටගත් බටහිර කවියට අවධානය යොමු වීමත් සමඟ සිංහල සාහිත්‍යයේ ආකෘතික මුහුණුවර හා අන්තර්ගතයද වෙනස් වෙන්නට පටන් ගැනුණි. නිදහස් කවිය හෙවත් Free Verse ආකෘතිය සිංහල කවිය තුළ වඩා නිදහස් ආකාරයකින් භාෂාව හැසිරවීමේ පහසුවක් සැපයුවා පමණක් නොව කාව්‍යානුභූතීන්වලද තීරණාත්මක වෙනසක් ඇති කළේය. එම නිසා නූතන කාව්‍යමය ස්වරූපය වෙන කවදාටත් වඩා නම්‍යශීලී වී තිබේ. බොහෝ නූතන කවියෝ පළපුරුදු සුවිශේෂ කාව්‍ය ව්‍යුහයන් හෝ ආකෘතීන් අත්හැර දමා 'නිදහස් පද්‍ය' ආකෘතිය භාවිතයෙන් සිය නිර්මාණ ඉදිරිපත් කරති. ඒවා අතර විවිධ භාෂාමය ප්‍රයෝගයන් අත්හදා බලන අවස්ථාද හමුවේ.

සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවක කිවිඳියක වන ගයනි ගිසන්තිකා ගේ 'අමුත්තා' කාව්‍ය සංග්‍රහය බටහිර කවියේත් නිදහස් පද්‍ය රචනයේත් මුසුවක් ලෙස ගැනීම වඩාත් යුක්ති සහගත වේ. ගයනි දීර්ඝකාලීන අත්දැකීම් ඇති රූපණවේදනියක වන බැවින් ඇයගේ කවියේ දකින්නට ලැබෙන්නේ රූපණයේ දි දකින්නට ලැබෙන වර්ණ හැඩතල හා ඉරියව් අතර යටින් දිවෙන එකමුතුවකි. විටෙක ඇගේ කවියක් කොලාජ් චිත්‍රයක් වැනිය. තවත් විටෙක එන විවිධ වර්ණයන්ගෙන් සැදුම් ලත් පින්සල් පහර කිහිපයකි. බැලූ බැල්මට එකිනෙක අතර සම්බන්ධතාවක් නොපෙනුණද දෙවැනි තලයට නැඹුරු වන විට ඒ එකිනෙක අතර ගොඩ නැගෙන සම්බන්දතාව තුන්වන අරුතක් මතුකරන ආකාරය සියුම්ව දැකිය හැකිය.

 

යකඩ ගොඩක්

හූ හඬක්

කෙළවරක් නැති

ජීවිතයක්

රේලි පීලි අතර

උඩට නැමුණ කහ මලක්

කීව කතාවක්

ඇසුවොත් නුඹත්

පටන් ගනී

ජීවිතයක්

(ජීවිතයක් - පිටුව 11)

ඇය මෙහිදී කිසියම් දර්ශනයක් ගැන පැවසුවද ඒ යටින් තිබෙන්නේ ජීවිතයේ කටුක ස්වභාවයම ජීවිතය බව කියන සනාතන සත්‍යයයි. මෙහි එන 'සරං' නිර්මාණය ගැහැනිය පමණක් ප්‍රේමය වෙනුවෙන් කැපවීමේ නිරර්ථක බව කියාපාන්නකි. ගයනි එය කියන්නට පාවිච්චි කරන්නේ අපේ මතකයේ ඇති ප්‍රේමනීය කාන්තා චරිත දෙකකි. ඒ ගොළු හදවතේ දම්මි හා ගම්පෙරළියේ නන්දාය. නමුත් ඇය පවසන්නේ ගැහැනිය පමණක් ප්‍රේමය මිට මොළවා ගෙන සිටීම අරුත් විරහිත බවයි.

දම්මි එතැන

නන්දා එතැන

මෙතැන උස දුම්වැටි

මධුවිතක මත

අපට කම් නැහැ

නන්දලා එතැන

ප්‍රේමය මුළාවක්

මිල හරි අඩුයි

මෙසේ කියාගෙන එන ඇය නිර්මාණය අවසන් කරන්නේ ගැහැනියක ගේ සියුමැළි බව තවදුරටත් නූතන සමාජය තුල වලංගු නොවන බව කියමිනි.

නන්දලා දන්නෙ නෑ

දම්මිලා දන්නේ නෑ

ගවුම් වලට හෙණ ගහනවා

ඒකයි ඇන්දෙ සරං

(සරං - පිටුව 16)

ගයනි ගේ නිර්මාණ වල බැලූ බැල්මට දකින්න ලැබෙන්නේ සරල බවකි. ඇයගේ භාෂාව සරලය. දුෂ්කර ආකෘතිමය භාවිතාවන් නැත. නමුත් කවිය කියවා එයට මදක් නැඹුරුව බලන විට එහි වෙන මානයක් විද්‍යමාන වේ. මෙහි එන 'ස්තුතිය' නිර්මාණය මතුපිටින් කියවන විට මරණයක අවස්ථා මවා පෙන්වයි. නමුත් එයට වඩාත් නැඹුරුව බලන විට දක්නනට ලැබෙන්නේ ජීවිතයේ ශූන්‍යතාවයයි.

දුම් රොටු

කෙස් කලඹ

මත රඳවා

කඳුළුවල

පාට හැඩකර

මළගමට

අත වැනූ ඔබට

ස්තුතියි

(ස්තුතියි - පිටුව 30)

'වැස්ස බර වැඩියි', 'ඇස්', 'බිඳුණු තැන්', 'මම', 'අම්මා', 'අපි අදත්', 'වෙනස', 'අමුත්තා', 'මහ ගෙදර' වැනි නිර්මාණ තුල මෙම යටිතලය හඳුනාගත හැකිය.

බිඳුණු බිත්තිවල

ගෑව පාට

දැන් පේන්නේ නෑ.

පේන්නෙ පාට

බිත්තිය දන්නවා

තව තවත් උඩින්

ගෑව පාට

දිලිසෙනවා

 

බිත්තිය දන්නවා

ගහනවා ඇණ

එල්ලනවා පින්තූර

දැන් පේන්නේ නැහැ

ඒත්

බිත්තිය දන්නවා

බිඳුණු තැන්

(බිඳුණු තැන් - පිටුව 34)

මතුපිටින් මොනතරම් හැඩ වැඩ කළද, දකින්නාට සැබෑව සැඟවුවද ජීවිතයේ රිදුණු තැන්, බිඳුණු තැන්, තුවාල කැළල හඳුනන්නේ ජීවිතය අයිති පුද්ගලයා පමණි.

භාෂා අලංකරණයන්, ආකෘති සැරසිලි, ප්‍රෙහේළිකා බන්ධන නැති ගයනි ගේ කවිය අපූරු පරිකල්පනීය චිත්‍රයන් අපට මවාගන්න සිත්තරෙකු විසින් ගැසූ පින්සල් පහරවල් වැනිය. ඒ හැඩ තළ හා වර්ණ අතරින් පතුලේ ඇය රඳවන්නේ අපේම ජීවිතයයි. එහි සැබෑ අරුතයි. මෙහි එන ″මහ ගෙදර″ නිර්මාණයද උපභෝග පරිභෝග වස්තූන්ට ලොබ බඳින ඒ උදෙසාම සිය මුලු ජීවිතයම කැපකරන වර්තමාන මිනිසා පිළිබඳ අපූරු කියවිමකි. මෙහි එන තරුණිය නගරයේ සිට මහ ගෙදර බලා යන්නේ උස අඩි සපත්තු, අව් කන්නාඩි පැළඳ නව පන්නයේ මෝටර් රථයකිනි. මහ ගෙදර අඹ ගහයට කාරය නැවතූ සැණින් මතකයට එන්නේ එහි බැඳ තිබූ ඔන්චිල්ලාවයි.

ඔන්චිල්ලාව නැතත්

වැනෙනවා සිත

උඩහට පහළට

අතීත ජීවිතයෙන් තවම මුල් ඉදිරී නොගිය ඇය තමන් රැගෙන ආ 'අයිසිං කේක්' එක කනප්පුව මත තබයි. මෙහි අයිසිං කේක් එක යනු මේ තරුණියගේ වර්තමාන ජීවිතය සංකේතවත් කරන්නකි.

ඇඳි පුටුවට බර වුණා මම

සිතුණා මට

අයිසිං මොකටද

කේක් වලට′

(මහ ගෙදර - පිටුව 66)

ගයනිගිසන්තිකා ගේ 'අමුත්තා' කාව්‍ය එකතුව බැලූ බැල්මට සරළ රචනා එකතුවක් ලෙස කෙනෙකුට දැනෙන්නට පුළුවන. නමුත් එහි පද පේළි අතරින් එබී නිරීක්ෂණය කළ සැණින් ගැඹුරු තලයක් හසු කරගත හැකි වේ. විදග්ධ කවිය මෙන්ම මෙවැනි අමුතු ආරේ කවිද සිංහල කවියේ චිර පැවැත්මට වෙනස් ආකාරයකින් සේවය කරන බව ගයනිගේ කෘතිය රස විඳින විට හැඟේ.

කෙසේ ඇය කාව්‍ය නිර්මාණකරණයේ අඛණ්ඩව නියැලුනොත්, ඒ පිළිබඳ හැදෑරීම් කළහොත් අනාගතයේදී වෙනස් අමුතු කවි ආරක් සිංහල කවියට රැගෙන ඒමට ඇයට හැකි වෙතැයිද අපට සිතේ.

 

-----------------------------------------------------------------------------------------------------------------

ටියුලිප්

 

දරා තද වැසි

නැමී ඉඩ දී

වැහි දියට වැගිරෙන්න

නැවතත් සෘජුව

ටියුලිප් මල

ඇමරිකානු කවියකු වන Richard Nathaniel Wright විසින් රචනා කරන ලද හයිකුවකි.

පරිවර්තනය [අනුත්තරා කොඩිකාර ]

------------------------------------------------------------------------------------------------------------------

 

ඒ බස

කතා කළ හැකි නම් මට ඒ බස

ඔවුන් කතා බහ කරන, සිනාසෙන

 

කොතරම් සුන්දරද ඒ වචන

නොතේරෙන මුත් මට

සිනා සෙන හැටි ඔවුන්

රැවු දෙමින්, රැවු දෙමින්

ගඟක් මෙන්

 

විටක මුමුනමින්...

දිලිසේ ඔවුන්ගේ ඇස්

සැඳෑ අඳුරේ ගිලුණු තරු මෙන්

 

කොතරම් සුන්දරද ඒ වචන

ස්පර්ශ නොකරම ස්පර්ශ කරන

උණුසුම් මිතුරු වැළඳ ගැනීම්

හදවතෙන් කොටසක්

සුළං රැල්ලක දවටා එවන

ඈතින් ඉඳන් කන්පෙති සිඹින

පෙම්වතුන්ද මිතුරන්ද

මවුපියන් ද සොයුරන්ද

එකම හඬකින් බැඳෙන

කොතරම් සුන්දරද ඒ බස

ඔවුන් කතා බහ කරන, සිනාසෙන

 

කතා කළ හැකි නම් මට ඔබලාගේ බස

අඳුර මෙතරම් අඳුරු නොවනු ඇත

 

[තරින්ද්‍ර ගලහේන]

----------------------------------------------------------------------------------------------------------------

හමුව

මිතුරියක වෙන්ව යයි

සුබ උපන්දිනයක් පතා

කොහොම සිර කර සිටින්න ද

කඳුළු වැල් පොදි ගැට ගසා

 

සියඹලා මල් පිරුණු හවසක

මතක ඇත පොකුරට එතී

ඉදුණු හිනහා මිටක් අතගෙන

ආයෙ හමුවෙමු හිතවතී

 

විසිර ගිය ඇස් නැවතුමක් අස

මැවි මැවී පෙනෙයි ඔබෙ වත

ඈතකට පාව ගොස් වනා අත

සමුගනිති ඒ සියුම් හදවත

 

[පසන් සංජය සමරතුංග]

 

 

-----------------------------------------------------------------------------------------------------------------

 

 

නිවී ගිය තරුවක්

 

හද හොරෙන් අඬනකොට

රිද්දගෙන පපුව මැද

වලාකුළු ඔච්චමට

හිනාවෙන්නත් ඇතී

තරු රෑනෙ කෙළවරම

උන්නු තනි තරුවකට

හද කඳුළු සලන එක

උහුලන්න බැරුව ඇති

 

හද දන්නෙ නැතුව ඇති

තරුව පෙම් කළ හැටී

 

ඒ තරුව තනියෙන්ම

හදට පෙම් කවි ලිව්වේ

ඒ නිසා වෙන්න ඇති

 

[ශනිෂ් ශ්‍රීමාල්]

 

 

-----------------------------------------------------------------------------------------------------------------

 

 

රාත්‍රී සක්මන

 

ඇවිද යමි මහ රැයේ දූවිළි අතර

පවුරු සෙවණැළි සිටිත් බිම මත වැතිර

දකිමි නහවනා යුරු තුරු ලතා අතු පතර

ගඟ දිය ද, මාවත ද මතින් එන සඳ වතුර

 

වැල් සැකිලි සිනාසෙයි

ශ්‍රැති පිනූ මියැසි සර

කෙඳිරිලයි සුසර වන විට

කපුටු සුසරයන්ගෙන්

 

මඳ නළ ද, හිම කැටිද, උණුසුමද

හඬ නගයි මගේ පා

 

(ප්‍රකට මලයාලම් කවියකු වන මහාචාර්ය කේ. සචිදානන්දන් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

 

මහාචාර්ය කේ. සචිදානන්දන්

කේ. සචිදානන්දන් යනු ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තරව ද කීර්තියට පත් මලයාලම් කවියෙකි. කේරලයේ ක්‍රිස්තු විද්‍යාලයේ සහ කැලිකට් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙසද, ඉන්දියානු සාහිත්‍ය ඇකඩමිය (සාහිත්‍යය පිළිබඳ ජාතික ඇකඩමිය) විසින් පළ කරනු ලබන "ඉන්ඩියන් ලිටරෙචර්" :ෂබාස්බ ඛසඑැර්එමරු* සඟරාවේ සංස්කාරකවරයා ලෙස මෙන්ම පසු කලෙක එහි ප්‍රධාන විධායකවරයා ලෙසද ඔහු කටයුතු කර ඇත. මලයාලම් බසින් කාව්‍ය සංග්‍රහයන් 21ක්, විදෙස් කාව්‍ය නිර්මාණ පරිවර්තන සංග්‍රහයන් 16ක්, විචාර රචනා සහ සම්මුඛ සාකච්ඡා ඇතුළත් කෘතීන් 23ක්, ඉංග්‍රීසි බසින් රචනා කළ විචාර සංග්‍රහයන් තුනක් මෙන්ම මලයාලම්, ඉංග්‍රීසි සහ හින්දි බසින් රචනා කරන ලද නිර්මාණ සංග්‍රහයන් ගණනාවක්ද ඔහු විසින් පළ කරනු ලැබ තිබේ. ප්‍රඥාව දල්වන උසස් නිර්මාණාත්මක බවක්, ගැඹුරක් සහ මානවීය ගුණයක් පළ කරන ඔහුගේ නිර්මාණ දෙස් විදෙස් කාව්‍ය රසික සහ විචාරක පිරිස්වල සම්භාවනාවට පාත්‍ර වී ඇත. කවිය පිළිබඳ විශේෂ සාහිත්‍ය සැසි කිහිපයකට සහභාගි වීම සඳහා මෑතකදී ඔහු ශ්‍රී ලංකාවටද පැමිණියේය.

[අජිත් නිශාන්ත]

---------------------------------------------------------------------------------------------------------------------

සිහිනයක ඇහැරෙමි

 

පුණ්‍යවන්තිය,

සෑම රැයකම

මැදියමේ මැදකදී අවදිව

සයනයේ යාබද අවකාශයට

ඇස යොමා බලන්න...

 

ඔහු ඔබ අසලමද

සැක හැර දැනගන්න...

 

මෑත දවසක පටන්

රාත්‍රියේ තද නිල්පාට හෝරාවන්වල,

 

දියරැළි දිවි නසාගන්නා

තැන්වල,

කඩුපුල් පුපුරන උයන්වල,

හීතලට ගල් ගැහුණ

මාවත්වල,

අප මුණගැහෙන බව

ඔබෙන් සැඟවීම පිළිබඳ

මගේ බලවත්

කණගාටුව පිළිගන්න...

 

එහෙත්,

තවත් දවසක් වෙනුවෙන්

ඇහැරෙන්න හේතුවක්

හිමි වීම සම්බන්ධයෙන්,

 

හැකිනම්,

ඔබේ සතුට මට දෙන්න...!

[රසිකා ප්‍රනාන්දු]

 

------------------------------------------------------------------------------------------------------------------

එයා දැන් ඩොක්ටර් මම ලෙඩා

 

මගේ හදවත සිඳ සැතකින්

සුසුම් වැස්සක්

වචනයක්

හාදුවක්

හදවතේ ගැඹුරු තැන

සීරුවෙන් තැන්පත් කර

 

මුකුත් නොවුණා ලෙස

නෑසුණ කන් ඇතිව

නොදුටුව ඇස් ඇතිව‍

එයා ඉන්නවා දැන්

මගේ හදවත තුළ

එයා දැන් ඩොක්ටර්

මම හැමදාම ක්ලිනික් යන ලෙඩා ය.

 

එයා

කන්න බොන්නට හැකි ද?

වැඩපළ හොදින් කරනව ද?

අසීරුවක් එහෙම දැනෙනව ද?

අසන්නී

 

මම -

කෑම තියෙනව ඩොක්ටර් ඒත් කන්නට හිතෙන්නෑ

බීම නම් තිස්සෙම ලෙඩ වෙයිද දන්නෙ නෑ

වැඩපළක් කොහෙ කරනව ද? හදවත මගේ පණ නැහැ

ඇත්තෙන්ම ඩොක්ටර් ඔබ මට මොනව කෙරුවද දන්නෙ නෑ

[ගුරුගොඩ සිරිවිමල]

 

-----------------------------------------------------------------------------------------------------------------

අඩුව

මට තාම මතකයි

ඇය ඇඳපු චිත්‍රය

 

ඉර ගිලෙන කොට

සැඳෑ අහසේ ඈත

 

අන්න අර ඉන්නේ අපි

අතින් අත ගෙන

 

දෙපැත්තට ඇදෙන

කළු කුරුලු ජෝඩුවක්

මන් ඇහුවේ නෑ ඉතින්

ඇයි උන් දෙපැත්තක

 

විටින් විට ඇඳ මකන

ලස්සනම චිත්‍රයක්

 

තවම නෑ මන් ඇන්දේ

උන්ට හොඳ කූඩුවක් ..

 

[ඉසුරු උදාර]

 

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]

 

v

 

 

මාතෘකා