කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ඔහු සැඟවගොස්

"රජකුමරුනි"
ඇය තවම නුඹ ළඟම,
සදාකාලික නොවූ ලෝකෙක
සදාකාලික වී නුඹේ ළඟ...

ඉසුරුමුණි වෙහෙරේ
ගල්කුළු මත දැනෙන සිසිලස
නුඹේ ප්‍රේමාන්විත හදවතෙත්
ඇගේ කුළුණු මුදු හදවතෙත්
සඳුන් සිසිලෙන් කැටිගැසී ගොස්
මිදුණු ඒ ප්‍රේමයෙන් සිසිල් වූ
ප්‍රේමාන්විත බව

ගල්කුළක් මතට පණ දී
රන් රුවක් ලෙස නිම කළ
කලාකරුවා
සැඟවගොස්
ඒ මහා ගල්කුළු මතම

[ඉරේෂා දුලාන්ජලී කල්දේරා]

--------------

උල ලේනියේ...

ගිරි මා කන්ද පාමුල රළු කනතු මැද
උල ලේනියේ උඹ දරුවා සොයනවද
තන කිරි වෑහෙනා නුඹේ ඔය රළු ළමැද
ගිනි ගන්නවා තව එකකුට පෙනුණාද...

මැදියම් රැයේ නුඹ හඬනා හඬට බයේ
මම ගුළි වුණේ අම්මාගේ පපුතුරයේ
අසරණ වෙලා නිදනා විට පැල් කොටයේ
උඹෙ දරුවා කියා සනසාපන් ඇකයේ..

කිරි සුවඳකටවත් ඉඩ නැති ඉඩෝරයේ
ගිනි පොළවටම විතරයි ඒ වත දිරුවේ
සත්කුළු පව්ව ලෙස විඳි දුක් ලඳු කැලයේ
මවු නැති අඩුව පුරවනවද උල ලේනියේ..

[නෙලුම් ඇලපත්ගම]

-----------

ස්නේහ

ඊයේ ඇවිදින් පිටවෙලා ගිය උළුඅස්ස පැත්තේ
තවත් හොයනවා පාද සටහන් මැකීදෝ ඇත්තේ
බණක්වත් මට අහගන්න යමු පන්සල පැත්තේ
කියා මට කියූ කතා නෑ මා ගාණකට ගත්තේ

හවස් වනතුරු ඉවසලා හිටි ගෙදර යම යුද්දේ
වහල අස්සේ හැඬුවා හූනෙක් බහක්වද කියුවේ
පයක් පස්සට වෙනදා අරගත් නොයා යන දීගේ
උඹව ඉස්සර කරවන්න ඇති මාරයා සසරේ

අතගාපූ රළු පපුව අස්සේ සඟවලා සෙනෙහේ
මතක බණ පද කියන්නට වන වගක් නෑ හිතුවේ
මන්තරේ වගේ මතුරලා දරු සෙනේ හිත අස්සේ
අපට ජාතක එකෙක්වත් නෑ ඇස් ඇරලා බැලුවේ

[දර්ශන රුවන් ජයපත්ම]

-----------

සුබ සහ යස

පළඳවා මා හිසට රන් රිදී කටු ඔටුනු
හිඳුවාන රාජ සිංහාසනේ ඔප වැටුණු
දොරටුපල් වෙස් අරන් සිනාසෙන මුත් නිරිඳු
දරන්නට ඉතින් බැහැ තවත් මට මේ විහිළු....!

භාණ්ඩාගාරයකි අඩුලුහුඬුකම් පිරුණු
ඇමති සේනා පැමිණ කැරැල්ලක තතු කියපු
සියක් වැව් දිය සිඳී සොඳුරු කෙත්වතු මැරුණු
මහමෙරක් හිස තබා කිමද හිනැහෙන කරුණු....?

සිරියහන් ගැබ මතින් නුහුරු අපුලක් දැනෙයි
පැලේ ඉකිලන, දැවෙන බිරිඳගේ රුව මැවෙයි
ලයට තුරුලුව නිදන පැටව් ඇස් යට කැවෙයි
නුඹේ උස් සිනා හඬ, දහඩියෙන් ගත තෙමයි....!

"සුබ" නමුදු සුබ සිහිනයක් රැයක නොම දකිමි
වසන් කළ රහස මතු හෙළිවෙතැයි සිත දැවෙමි
පුරුදු තනතුරට වැද යළිඳු මෙහෙවර කරමි
නුහුරු සිංහාසනේ කිරුළ නුඹටම පුදමි..!

[නිශාන්ත මල්ලවආරච්චි]

හාස්‍ය රසය මවන පුරාවෘත්තයක් හැටියට සම්මත සුබ සහ යස පුවත ප්‍ර‍ස්තුත කරගනිමින් සමකාලීන විඥානය ස්පර්ශ කිරීමක නිරත වන කවියා ජීවන ඛේදාන්තයක් සියුම් අයුරින් ස්පර්ශ කරයි. මිනිස් දිවිය දෙස හෙළන දයාර්ද්‍ර ගුණයද කවියෙහි අත්දැකීමට උචිත වාක්කෝෂයක් හා රිද්මයක් භාවිත කිරීමද කැපී පෙනේ.

---------------


කෙවිලිය

සඳ දෙසට යොමා නෙත්
නෙතට දැනුණා මිහිරක්
කෑරල නාදයත්
දැනුණා ලෙසින් කොවුල් ගීයක්

විඩාවෙන් තැවුල් පත්
සිත් සතන් මත රැඳුණු රසයක්
වී නම් සිතක් තුටු එපද බැඳුමෙන්
වෙර නගයි නොවියැකෙන්නට තුටු පෙම්

ලබා දිවි පබැඳි අතරින්
පදින් බැඳුණා බොහෝ සිත් සමඟින්
හරවා සිතිවිල්ල වචනෙන්
තව තවත් සිතින් බැඳුණා තෙලි තුඩින්

[චිරත් අකන්ස]

--------------
නොසේදෙන සායමක්

සුදු ගවුමෙ රැළි දෙකක් පීලි පැන තිබුණා
ඒ මැදට නිල් පාට සායමක් හැලුණා
හෝදලා මකන්නට බැරුව පසුතැවුණා
මිස්ගෙ ඇස් වහන්නට සර් හොරෙන් එබුණා

ඉඳුල් හැලි වළං ගෙයි මැස්ස උඩ පිරුණා
පතල් හාරන්න ගොස් තාත්තා මැරුණා
හංගගෙන උන් මැණික් දිස්නෙ පිට පෙනුණා
මැණික රැකගන්න මෙන් නාගයෙක් ඇදුණා

එළිය අඳුරටම වී කුස්සි දොර ඇරුණා
ඕක් ගා වේගයෙන් වැස්ස ඇද වැටුණා
කඳුළු ඉටි පොද වෙලා හිත් දෑල දැවුණා
සර් කුඩයක් අරන් එද්දි මං තෙමුණා

වේ හුඹස් මැටි පැලේ පන් පැදුර එලුණා
බඩ යටින් ගින්දරක් ගලා යනු දැනුණා
සර් ආගි අතක් නෑ ඉස්කෝලෙ වැහුණා
පාරෙ රස්සාව මට අත වනනු පෙනුණා

[දුලාජ් මධුශංක දේවපුර]

--------------

සිසිරයෙහි ඇඳි සිතුවම්

සිත්තරකු සිටී
සිසිරයෙහි අග
තානායමක් ළඟ
ගිරි කඳුළු සිඹිමින්
නික්ම යන
සුරත් පැහැ විඳිමින්
ගේහසිත සිතුවමකි
ඔහු අසල
කාමාලිංගන පිරුණු
රාමුවෙහි මල් වැලකි
ඔහු ළයෙහි
රුධිරයෙන් පැන නැඟුණු
නිහඬවම
කෝපි බඳුනක් නිවෙයි
ටීපෝවෙ හිස මත
ගෙවුණු දා
කදුළු සායම් බිඳකි
මහළු තෙලි තුඩ අග

[චින්තක සමන් හේරත්]

--------------

සැඳෑ අග

කවුළු පියනක කළු වීදුරු පත්
බිඳින්නට හඹා එන
වැහි පබළු මතක
තිත්ත කෝපි බඳුනක වෙළී
නුවරු නිදිගත් සැඳෑ අග

ඔරලෝසු නැකතට අවදිව
ගමන්කර ලිපි ගොනු අතර අතරමං වන
දුක් යායකින් නෙළා පදමට රස කර
පියන්ගේ සුරතින් මැවෙන උණු කහටය

උරමඬල සිපගත් කොන්ක්‍රීට් බංකුව
තනිව මුරකරන කැත කපුටෙක්
'කැරැව්' කර ඔච්චමට මෙන් මට
බිල්ඩින් පෙරළමින් අතුරුදන් විය

හිරු නැඟෙති - මල් පිපෙති - පරවෙති
නුවරු යති - වැඩට එති - කති බොති
ලොව නැඟෙති - ගිරි බැඳෙති - ඉපිළෙති
යළි වැටෙති - ඉකිබිඳිති - වැළපෙති

එ'නමුදු සොඳුර,
ඔබ සොයා ගිය මිහිරි නිම්නයේ
තුරු හිස් පැළඳි නෙක මල්
සකුණන් දිය කෙළින විල්
විලිකුන් තරු එබෙන නිල්
අහස් කුස පීර පීරා සොයමි මං
තිත්ත කෝපි බඳුනක වෙළි
නුවරු නිදිගත් සැඳෑ අග

[අශෝක කුමාර කුලතුංග]

------------

වැසි දිය

වැසිබිඳු පිරෙමින්
බෝල හැඩයට
පෙරළී වැටෙයි කම්බියෙන්
ම’පුතු නිවෙසට දිව එන විට තෙමෙමින්
තවමත් ඇද හැළෙන වැසි දියෙන්

හිස ඔසොවා නොබලයි ඔහු
දකින්නට මා බලා සිටින යුරු
නොදකියි ඔහු මුතු කැට
සැණින් අමිහිරි තෙත්බවකට හැරෙන
ඔහුගේ දෙපා යට

හිස ඔසොවා බැලූ හැටි සිහිවෙයි මට
තවත් වැස්සක තෙමෙමින් දිව යන විට
සිහිවෙයි මට මුතු ඇට පෙළක් ගැලූ හැටි
නමුදු ඔබේ වත නොනැඟෙයි මගේ සිහියට
මා පියාණනි...

(කන්නඩ කවියකු වන රාමචන්ද්‍ර ශර්මා විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

රාමචන්ද්‍ර ශර්මා

පනහ දශකයේ නූතනවාදී කන්නඩ කවියේ පුරෝගාමියකු වූ රාමචන්ද්‍ර ශර්මා කවිය, කෙටිකතාව සහ නාට්‍ය ඇතුළු විවිධ සාහිත්‍ය කලා ඉසව් ඇසුරු කළ ද්විභාෂික නිර්මාණකරුවකු විය. ඉතියෝපියාව, එංගලන්තය සහ සැම්බියාව ඇතුළු රටවල දිගු කලක් ජීවත්වෙමින් නිර්මාණකරණයෙහි යෙදුණු ඔහු සිය මවුබස වූ කන්නඩ සහ දෙවැනි බස වූ ඉංග්‍රීසි යන දෙබසින්ම කාව්‍ය නිර්මාණ රචනා කළේය. විවිධ සංස්කෘතීන් ඇසුරු කිරීම නිසා එකිනෙකට වෙනස් අත්දැකීම් සමුදායක් සිය නිර්මාණ සඳහා පාදක කරගැනීමට ඔහුට හැකි විය. එසේම පැහැදිලි දැක්මකින් සහ නිසි අවබෝධයකින් යුතුව විවිධ සංස්කෘතීන් සමඟ එක්ව කටයුතු කරමින් ලද ශික්ෂණය ඔස්සේ කිසියම් ආකාරයක අවංකත්වයක්, සෘජුබවක් සහ මධ්‍යස්ථබවක් සිය නිර්මාණ තුළ රඳවාගැනීමට ඔහු කටයුතු කළේය. ප්‍රේමය, ලිංගිකත්වය, මරණය සහ පුද්ගල අත්දැකීම් වැනි විවිධ තේමාවන් ඔස්සේ කාව්‍ය නිර්මාණ රැසක් ඔහු විසින් රචනා කරනු ලැබිණි. වර්ෂ 1925 නොවැම්බර් 28 වැනිදා ඉන්දියාවේ නාගමණ්ඩල නම් ස්ථානයේ උපත ලද ඔහු 2005 අප්‍රේල් 18 වැනිදා ඉන්දියාවේ බෙන්ගලුරු ප්‍රදේශයේදී මිය ගියේය.


[අජිත් නිශාන්ත]

 

මාතෘකා