ඒ ආදරණීය මිනිසා!

 ඡායාරූපය:

ඒ ආදරණීය මිනිසා!

කිසිදු ලේ ඥාති සබඳතාවක් නැති අයෙකුට, ඉතා කෙටි කලකදී ඇති වන තද බැඳීම ගැමියන් විග්‍රහ කරන්නේ "ඕවා ඉතිං සංසාරේ බැඳීම්" කියාය. සංසාරය ගැන විශ්වාසයක් නැතත් ඉඳ හිට මටද එවැනි පැහැදිලි කළ නොහැකි බැඳීම් ඇති වූ අවස්ථා තිබේ.

යාපනයේදී මට හමු වූ පරමනාදන්ද මහතා එවැන්නෙකි. මා ඔහු ඇසුරු කර ඇත්තේ එකම එක දවසකි. එහෙත් ඒ දවස මා තුළ ඉතිරි කළේ, ජීවිත කාලයක් ඇසුරු කළා වැනි හැඟීමකි.

වයස අසූවත් ඉක්මවා සිටි, ඉතා ප්‍රසන්න, ආදරණීය මිනිසෙකු වූ හෙතෙම ඒ හමුවෙන් කෙටි කලකට පසු හදිසියේ මිය ගියේය.

ඒ වේදනාවෙන් දැවෙමින් "යාපනයේදී හමුවූ තාත්තා" නමින් මම දෑ අවුරුද්දකට පෙර ඔහු ගැන සමාජ ජාලයක කෙටි සටහනක් ලීවෙමි. අදත්, ඔහු හමු වූ මුල්ම සහ එකම දවස මට හොඳට මතකය. මගේ ජාතියට අයත් නොවන, මගේ බසෙහි එක වචනයක් හෝ නොදැන සිටි, සුද්දාගේ බසින් පමණක් මා හා කතා කළ ඒ නන්නාඳුන මිනිසාට මගේ තාත්තා තරමට ඇල්මක් ඇති වූයේ ඇයි දැයි මම අදටත් නොදනිමි. මා දන්නේ අදටත්, ඔහු මතක් වන සෑම වාරයක් පාසාම මගේ උගුර යටින් තද වෙන, පපුව පිච්චෙන හැඟීමක් දැනෙන බව පමණි.

ඔහු නැති යාපනයට ගිය හැම වතාවකදීම ඒ බිමෙහි කොතැනක හෝ ඔහු තවමත් සිටින බව මට දැනිණි! තද නිල් අහස, එතරම්ම නිල් පැහැ මුහුද, මුහුද දෙස සිට හමන සුළංකෝඩ, සුදුම සුදු පැහැ වැල්ල, උසට උසේ ඇති තල් ගස්, දිගට දිගේ ඇති තල්වැට... ඔය කොතැනත් තිබුණේ ඔහු ගැන මතකයන් පමණි. ඒ මතකය විසින් අවුළුවන ලද මගේ දෑස් යට ඇවිළෙන ගින්නෙන් හැම විටම දැවී ඇත්තෙමි. ඒ, එකම එක දවසක උපන් තදම තද බැඳීමක් හින්දාය! ජීවිතයේ බැඳීම්වල හැටි එතරම්ම පුදුමය!

කලක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයෙකු මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ යාපනයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ පරමනාදන් මහතා දශක තුනක් තිස්සේ යුද ගිනි ඇවිළ ගිය කලාපයක ජීවත් වූ පීඩිත මිනිසුන් වෙනුවෙන් වැඩ කළේය. පශ්චාත් යුද සමයේදී ඔවුන්ගේ සමාජ ආර්ථික ප්‍රශ්න විසඳා දීමට ඔහු නොගත් උත්සාහයක් නැතැයි වරින් වර මා සමග කීවේය. බලධාරීන්ට ඔහු ලියූ ලියුම් ගණනාවක් ඒ වන විටත් ඔහු සතුව පැවතිණි. ඒ කිසිවක් ඉටු වූයේ නැතත් අද හෙට ඉටුවෙතැයි ඔහු අපේක්ෂාවෙන් උන්නේය.

නියම යාපනේ බත් වේලක රස බලන්නට මට ලැබුණේද ඔහු සමග ගිය ගමන්වලදීය. කීරමලේ සිවපූම් මඩමේදී භුක්ති විඳි රතු නාඩු සහල්, මී කිරි, එළවළු ව්‍යංජන සහිත දිවා ආහාරයෙන් පසු ඔහු සාක්කුවට අත යවා මින්ට් රසකැවිලි පැකට්ටුවක් අතට ගත්තේය. "මේවට මං හරි ආසයි" යි කියමින් ඉන් කිහිපයක් මගේ අතට දුන්නේය. "ගමනක් යද්දි මේව නිතරම අරන් යනවා" යිද කීවේය. එදා සිට ඒ රසකැවිලි පැකට්ටුවක් මගේ අත්බෑගයේද නිතර ගැවසෙයි.

මෙලොව හැර යන්නට ටික දවසකට පෙර මට දුරකථන ඇමතුමක් දුන් ඔහු යාපනයේදී මා ගත් ඔහුගේ ඡායාරූපයක් මුද්‍රණය කර තැපෑලෙන් එවන්නැයි මගෙන් ඉල්ලා සිටියේය.

ඒ ඡායාරූපය මා ගත්තේ යාපනයේ එක්තරා කෝවිලක් ඉදිරිපිට ඇති නන්දි ගව ප්‍රතිමාවක් ළඟ සිටගෙන ඔහු සිටින විටය! එහෙත් ඒ ඉල්ලීම ඉටු කරන්නට කලින් ඔහු නොකියාම යන්නට ගියේය!

ඔහු එදා මා යාපනයේ නොයෙක් තැන්වලට කැටුව ගියේය. විවිධ මිනිසුන් මට හඳුන්වා දුන්නේය. (අවුරුදු අසූවේ තරුණයා නමින් මා මීට කලින් මේ තීරුවට ලිව්වේ පරමනාදන් මට හඳුන්වාදුන් ඔහුගේ පැරණි මිත්‍රයෙකු ගැනය.) යන එන මග දිගට ඔහු දශක ගණනක් පුරා උතුරේ සමාජයට සිදු වූ ලේ ගලන තුවාල ගැන කතා කළේය. ඒ හැම වෙලාවකම, ඔහුගේ දෑස්වල දිලිසුණු කඳුළු දෙස නොබලා ඉන්නට මම වෑයම් කළෙමි.

එදා, පිටව එන්නට පෙර, ඔහුගෙන් සමුගත් මොහොතේ, ඔහුගේ දෙපා ස්පර්ශ කර ආචාර කිරීමට, (සාමාන්‍යයෙන් එසේ නොකරන) මට සිත් වූයේද, ඔහු කෙරෙහි සිත තුළ තිබූ ගෞරවය කියා පෑමට වචන මා සතුව නොතිබූ නිසාය. එවෙලේ ඔහු මා තදින් වැලඳ ගත්තේය. " ඔයා මගේම දුවෙක් වගේ" යි හැඬුම්බර කටහඬකින් කීවේය.

එදාට පසු උදා වූ එක් දවසක, ඔහු මිය ගිය බව ඇසූ මම, කාලාන්තරයක් තිස්සේ ඇසුරු කළ අයෙකු වෙන් වුණ කලෙක මෙන් හැඬුවෙමි.

ඒ දවස්වල මා ලියමින් සිටි නවකතාවෙහි පිදුම වෙන් වූයේ ඔහුටය. ලිවීම මිස වෙන කිසියම්ම ධනයක් නැති මට, හමුවූ එකම එක දිනයේදී පිය සෙනෙහසින් බැඳුණු ඔහු වෙනුවෙන් කළ හැකිව තිබූ එකම උපහාරය එය පමණි.

සමහර බැඳීම් වචනයට නගන්නට අසීරු නිසා මෙතෙක් කල් මේ තීරුවට ඔහු ගැන ලියන්නට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. එහෙත් තද උණෙන් පෙළෙමින් ගිලන්වී, සිතිවිලි ශූන්‍ය වී සිටි වේලාවක හදිසියේම ඔහු ගැන මේ අසම්පූර්ණ සටහන ලියැවිණි.

අප්පා! ඔබ මේ දැවැන්ත විශ්වයේ කොහේ හෝ තැනක හිඳ, තවමත් මා දෙස බලා සිටින බව පමණක් මට දැනේ!

මාතෘකා