දිග අඩි හතරකට වැඩියි. මිනිසුන් 7 දෙනකුට පිටේ යන්න පුළුවන්

 ඡායාරූපය:

දිග අඩි හතරකට වැඩියි. මිනිසුන් 7 දෙනකුට පිටේ යන්න පුළුවන්

දූපත් ඉබ්බන්  ලොකු වීමේ රහස කෝපි කාලේ කාසිවලත් ඉබ්බෝ ඉබ්බෝ පාරට එන්නේ චීස් කන්න

ඔහු ශ්‍රී ලංකාවේ සිිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි.
ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

කෞතුකාගාරයට මා ගොස් ඇත්තේ එක් වරක් පමණි. එයද කුඩා දරුවකු ලෙස අම්මාගේ අතේ එල්ලීය. එහි ඇති ගුප්ත බව හැරුණුවිට කිසිම පැහැදිලි මතකයක් මා සතුව නොවේ... මා නැවතත් එහි යා යුතු බව හිතට දැනුණේ ඇන්ස්ලම් මහතා පෙන්වූ යෝධ ඉදිබුවාගේ ඡායාරූපයක් දැකීමෙනි.
ඒ ඉදිබුවා අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව ඔහු පැවසීය. එයට සාක්ෂි බොහොමයක්ද ඔහු සතුව තිබේ. ඒ ඉදිබුවා පුරාවෘත්තයක් නිසා ඌ පිළිබඳ කෙතරම් කතා කළත් කම් නොවේ. ඔහුට අනුව ඒ ඕලන්ද සමයයි.
“1685 ඉඳලා 1796 වෙනකල් ලංකාව පාලනය කළේ ඕලන්දවරු. ඒ අය මොරේෂියස් දූපතෙන් ඉබ්බෙක් ගෙනත් තිබුණා. ලංකාවේ ඒ කාලේ ‘මුතුවල්’ කියන ප්‍රදේශයේ තිබිලා තියනවා අප්ලෑන්ඩ්ස් කියලා වත්තක්. ඒකට තමයි මේ ඉබ්බව ගෙනත් තිබුණේ. ඒක කෝපි වත්තක්. ඕලන්දවරුන්ගෙන් පස්සේ ඉංග්‍රීසි ජාතිකයෝ පාලනය කරද්දිත් මේ වත්තේ මේ කියන ඉබ්බා ඉඳලා තියෙනවා. අවුරුදු 150කට වඩා ඒ ඉබ්බා අප්ලෑන්ඩ්ස්වල හිටිය බවට සාධක තියෙනවා.
“එයා යෝධ ඉබ්බෙක්. එයා කොයිතරම් විශාලද කියනවනම් එයාගේ ඇඟ උඩ මිනිස්සු හත් දෙනෙක්ට වුණත් නඟින්න පුළුවන්කම තිබුණා. ඒක ගැන 1870 අප්‍රේල් 25 සිලෝන් ඔබ්සවර් පුවත්පතේ ලියලා තියෙනවා. ලංකාවට අමුත්තෝ ආවාම අපි සතුව තියෙන වටිනම දේවල් පෙන්නන්න අපි කැමතිනේ. ඉතින් එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවට ආවම මේ යෝධ ඉබ්බව පෙන්නලා, එයාගේ හයියත් පෙන්නලා තියෙනවා. 1894දි මේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් මේ ඉබ්බව වික්ටෝරියා පාර්ක් එකේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඒත් ඒ දවසේ ඉඳන් එයාගේ ආයුෂ තිබිලා තියෙන්නේ සුමානයයි. අපි ඒ ඉබ්බගේ දිග පළල මැන්නේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙද්දි. එයාව කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන්නේ කෞතුකාගාරයේ පළමු අධ්‍යක්ෂ වන හේලිගේ කාලෙදි. අපි පස්සේ කාලෙක ඒ ඉබ්බගේ දිග පළල මැන්නා. මැන්නම අඩි හතරයි හතරක් තිබුණා. අපිට ඒ ඉබ්බව මනින්න අවසර අරන් දුන්නේ හිටපු අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය නන්දා වික්‍රමසිංහයන්. මේ ඉබ්බා මුලින්ම හිටපු වත්තට අදටත් ඒ පැත්තේ මිනිස්සු කියන්නේ ‘ඉබි වත්ත’ කියලා.”
මේ යෝධ ඉබ්බන් පිළිබඳ මට ඇත්තේ මහත් කුහුලකි. එවැනි යෝධ සත්ත්වයන් ඉපදෙන්නේ ඇයිද යන්න මා විමසූ විට ඔහු පැවසුවේ දූපත්වල සිටින ඉබ්බන් යෝධ තත්ත්වයට පත්වන්නේ ඇයිද යන්න පිළිබඳ විද්‍යාඥයන් පවා බොහෝ පර්යේෂණ කර තිබෙන බවයි.
“දූපත්වල හුදෙකලා වෙන ඉබ්බෝ ඒ මහාද්වීපයේ ඉන්න අනිත් ඉබ්බන්ට වඩා විශාල වෙනවා. ඔවුන්ව ‘දූපත් යෝධයෝ’ කියලා හඳුන්වනවා. එයාලා ලොකු වීමේ ප්‍රවණතාව වැඩියි. ඉන්දියාව වගේ ලොකු රටක් ගන්නකෝ. එහෙම වුණොත් කෑම හොයන්න පවා එයාලා ලොකු දුරක් යන්න ඕන. ඒත් ලංකා‍ව වගේ රටක හැමතැනම කෑම තියෙනවා. එකතැනම ඉඳගෙන කාලා එයාලා තරබාරු වෙනවා. ඒක අපිට පුදුම දෙයක් වුණාට අපි හොයාගත්තු විදියට මේ තරබාරුකම නිසා මෙයාලට සංසර්ගයේ යෙදෙන්න නම් අමාරුයි. මොකද ස්වභාවයෙන්ම ගැහැනු ඉබ්බෝ ලොකුයි පිරිමි ඉබ්බන්ට වඩා. අපි හොයාගත්තු විශාලම ඉබ්බත් ගැහැනු සතෙක්. එයා එක්ක සංසර්ගයේ යෙදෙන්න පුළුවන් පිරිමි සතෙක් හිටියේ නැහැ.”
“අනිත් ඉබ්බන්ට වඩා එයාලා කන කෑම වර්ගවල වෙනසක් නැද්ද ඩොක්ටර්?”
“කොහොමත් ඉබ්බෝ හැමදෙයක්ම වගේ කනවා. හැබැයි බොහෝ වෙලාවට එයාලා කන්නේ පළා වර්ග. ඒ ඇරුණම එයාලා යන එන මඟ සතෙක් වැටිලා හිටියොත් ඒ සතාගේ මසුත් කනවා. ඒක ගැන හොයන්නම අපි ඉබ්බෙක්ට කුකුළු මස් දීලා බැලුවා. එයාලා ඒවා කන්නේ හරි ආසාවෙන්. ඒ වගේම තාරකා ඉබ්බෝ ගැන මායි මගේ ශිෂ්‍යයොයි කරපු පර්යේෂණයකින් තව අපූරු දෙයක් හොයාගත්තා. ඒ තමයි පාරේ වැටිලා තියෙන සුනඛ මලපහ කන්නම එයාලා පාරට එන්න පුරුදුවෙලා තියෙනවා. එයාලා ඒවා කන්නේ චීස් කන්න වගේ කැමැත්තෙන්. ඒත් ඒකට හේතුවක් නම් දන්නේ නැහැ.”
මේ දිනවල ඇන්ස්ලම් මහතා සිටින්නේ මඳ අසනීප තත්ත්වයකින් වුවද ඔහුගේ කඩිසරබවෙහි සුළු හෝ අඩුවීමක් නොවේ. ජෙනිෆර් මහත්මියද කාර්යබහුල බැවින් දැකගත හැක්කේ බාබු හා බාබුගේ නැගණිය පමණි. මට දැනෙන්නේ පාළුවකි. වැස්සත් සීතලත් සමඟ කෝපි කෝප්පයක රස විඳිය යුත්තේ මෙවන් නිවසක සිට බව දැනුණේ පළමුවම උගුරෙන් පහළට කෝපි රස යන විටය. ඇන්ස්ලම් මහතා කුමක් කරනවාදැයි කල්පනා කරමින් සිටියදී ඔහු පසුම්බියක්ද රැගෙන පැමිණියේය. එහි සිටින්නේ අඟුටුමිටි ඉබ්බෙක් විය යුතුයැයි මට මොහොතකට සිතුණි. ඔහු කරන්නේ එවන් විහිළුය. මගේ සියලුම බලාපොරොත්තු සුන් විය. එහි තිබුණේ පැරණි කාසි එකතුවකි.
"1878 වෙද්දි ලංකාවේ හෙක්ටයාර 89,000ක පමණ කෝපි වගා කරලා තිබුණා. ඒ කෝපි සුද්ද කළේ ලංකාවේ ගැහැනු අය. එයාලා කරපු රාජකාරිය වෙනුවෙන් ගෙවීමක් කළේ ටෝකන්වලින්. ඒ ටෝකන් අරගෙන ගියාම එයාලට බඩු ලැබෙනවා. ටෝකන් එකේ කොටලා තිබුණේ මේ ඉදිබුවගේ රූපේ. එක ගෑනු කෙනෙක් කෝපි කිලෝග්‍රෑම් 550ක් සුද්ධ කළොත් මේ ‘කොෆි ටෝකන්’ එක ලැබෙනවලු. මේ කාසියේ වටිනාකම වෙලා තියෙන්නේ ශත 18ක් වගේ ගාණක්. කාසිය හදලා තියෙන්නේ තඹවලින්. ඒ වගේම මේ කාසියේ උඩ හිලක් හදලා තියෙනවා. මොකද එයාලට කම්බියක දාලා කාසි ටික එකතුකර ගන්න ලේසිනේ. කෝපි වත්තේ හිටපු ඉදිබුවා ඔවුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් කරලා තියෙන්න ඇති, ඒකයි ඒ කාසියට එයාගේ රූපේ කොටලා තියෙන්නේ.?”
“ඇයි ඒ කාසිවලට ඉබ්බන්ගේ රූප දාන්නේ”
“මහාවංශයේ සඳහන් වෙන විදියට විජය රජුගේ කාලේ ඉඳලම මේ කාසි හුවමාරුව සිදුවෙලා තියෙනවනේ. බොහෝ වෙලාවට හැම කාසියක්ම හමුවෙලා තියෙන්නේ පැරණි තොටුපොළවල් ආසන්නයෙන්. හම්බන්තොට ගොඩවාය වරාය මේ වගේ කාසි හමුවුණු තැනක්. අකුරුගොඩ කියන්නේ ගොඩවායට ළඟ තැනක්. එහෙන් තමයි වැඩිපුරම ඉදිබුවන් සම්බන්ධ කාසි හමුවුණේ. අකුරුගොඩ, මානින්ගොඩන, ටිකිරිගොඩන කියන ගම්මාන ඒ අතරින් විශේෂයි. බලන්න මේ කාසිවල තියන රටා... ඒ කාසිවල ඉදිබුවන්ගේ, කැස්බෑවන්ගේ රූප පේනවා නේද? ඒ එයාලා කාසිවලින් පණිවිඩයක් දීලා තියෙන්නේ. ඒ ලංකාවේ ඒ සත්තු ඉන්නවා කියන එක ලෝකයට දැනුම් දෙන්න. අපේ රටේ කැස්බෑ පොතු රෝමයට පවා ඇරලා තියෙනවලු. ටොලමිගේ පොත්වල පවා සඳහන් වෙනවා හොඳම කැස්බෑ පොතු රෝමයට යවලා තියෙන්නේ ලංකාවෙන් කියලා. රෝමයේ පොහොසත්ම උදවියගේ බඩුබාහිරාදිය අලංකාර කරලා තියෙන්නේ ලංකාවේ කැස්බෑ පොතුවලින්. මම හිතන්නේ කැස්බෑවන් වඳවෙන්නත් කැස්බෑ පොතු යවන එක තහනම් වෙන්නත් මේක හේතුවක් වෙන්න ඇති. මේ කාසි හදලා තියෙන්නේ ඊයම්වලින්. හැබැයි ලංකාවේ ස්වභාවික ඊයම් නැහැ. ඒවා පිටරටින් තමයි ගේන්න ඇත්තේ.”
ඒ කාසි සියල්ලම තිබුණේ බිඳී කෑලි කිහිපයක් හෝ වෙන්වීය. මඳක් දුර්වර්ණ වීය. ඇන්ස්ලම් මහතා පැවසුවේ මේ කාසි ලුණු මිශ්‍ර පසකින් හමුවන බැවින් මෙසේ විය හැකි බවයි. එමෙන්ම ඊයම් යනු වැඩිකල් ඔරොත්තු නොදෙන ලෝහයකි. එහි සමහර කාසිවල බ්‍රාහ්මීය අක්ෂර කොටා තිබිණි. එකක ‘තිස මතේ’යැයි යොදා තිබිණි. එහි තේරුම ‘තිස්ස අමාත්‍ය’ යැයි ඇන්ස්ලම් මහතා පැවසුවේය. එහි බොහෝ කාසිවල බ්‍රාහ්මීය අක්ෂර කියැවීමට අපහසුය. හේතුව කාසිය කැඩී තිබීමයි. එක කාසියක් මගේ සිත දිනා ගත්තේය. එය සුන්දරය. ඒ නිසාම විස්තර ඇසුවෙමි.
“ලංකාව ඒ කාලේ ඉඳලම ඩොල්ෆින්ලා ගැන ප්‍රසිද්ධයි. මිනිස්සු එයාලව මැරුවා මස්වලට. ඒත් එයාලා තරම් මිනිස්සුන්ට හිතවත් මත්ස්‍යයෙක් තව නැති තරම්. ඒ සම්බන්ධයත් එක්ක තමයි මේ කාසිය හදන්න ඇත්තේ. ඒ වගේම ඒ කාසියේ පිටිපස්සේ ලක්ෂ්මි දේවියගේ පිංතූරය කොටලා තියෙනවා පේනවා නේද? ඒ කාලේ ලංකාවේ මිනිස්සුන්ගේ සංස්කෘතිය ගැන ඉගෙනගන්න ඒ කාසි වැදගත්. මට මේවට උදව් කළේ වෛද්‍ය නන්දා වික්‍රමසිංහ, වෛද්‍ය කාවන් රණතුංග, ෆෙඩ්‍රික් මේදිස්, සිරි මුණසිංහ සහ රාජා වික්‍රමසිංහ කියන අය. එයාලා ගාව තිබුණු කාසි මට දුන්නා. මම ඒ හැම තොරතුරක්ම අරගෙන ජර්මනියේ භාෂා තුනකින් ප්‍රකාශයට පත්වෙන රේඩියේටා කියන සඟරාවට ලිපියක් පවා කළා.”
මා ඔපීසියට පැමිණ කළ පළමු කාර්ය ජාතික කෞතුකාගාරයට ඇමතීමය. ඒ මතු කී යෝධ ඉදිබුවා දැකීමේ කුහුලිනි.
“නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගේ නම්බර් එක දෙන්නම්. එතුමට කතාකරන්න”
එහි නිලධාරියකුගෙන් පිළිතුරු ලැබිණි. එහෙත් තවමත් ඔහු අපගේ ඇමතුමට සම්බන්ධ වූයේ නැත. සතියක් ඇතුළත ඔහු සම්බන්ධ කර ගත හැකි වෙතොත් ඉදිබුවා ගැන තොරතුරු ලබන සතියේ දැනගනිමු.

සටහන [නදී මානික්කගේ]
ඡායා [සුදම් ගුණසිංහ]

මාතෘකා