කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ඒ මාර ගස

අපේ ජීවිත
එක්කම බැඳුණු
ඒ මාර ගස
'මාර ගසක්' තමයි

ඒ මාර ගස
සිසිල දුන් පාසලේ
සෙවණ ලද
පරම්පරා ගණනකට
එහෙම හිතෙන්නට ඇති

ඒ මාර ගස
පංතියෙන් පංතියට
ගැයෙන කවි-ගී, පාඩම්
අසා ඉන්නට ඇති
අප සමඟ
වැඩෙන්නට ඇති

බිම හෙළන විට
ඒ මාර ගස
නව පරපුර දෙස
සම සිතින්
බලන්නට ඇති
මහ මඟට ඉඩ දී
දුක දරාගන්නට ඇති

නැවතුමෙහි වහල යට සෙවණ ඇත
එදා සිටි කිසි කෙනෙකු අද නොමැත
පාසල් බසය එනතුරු සෙවණ ලද
ඒ මාර ගසෙහි මුල තවම ඇත
[සු. ප්‍රි. සමරසිංහ]

...................

මතකය

අපිට මග හැරුණු ඒ
අළු පාට හැන්දෑව
තවම ඇත නොවෙනස්ව
කවියක්ව මං ගාව
රොබරෝසියා මල්
බිම අතුළ පලසක්ව
සගවන්න හැකිද මතු
මග දමා ගිය රහස

[සීවලී අත්තනායක]

....................

ඔබේ කතාව

ඔබේ කතාව
විශ්වයේ කතාවයි

මහා අඳුර මැද
මහා පිපිරුමක් ඇති විය
ගල්ගැසී තිබූ කාලය ගැලීම ඇරඹිණ
ආලෝකය කැටිගැසී
තරකා ද මන්දාකිණි ද
හිරු ද සඳු ද පොළොවද ඇති විය

ඈත මන්දාකිණියක ඔබේ නිවහන විය
තාරකා තුළින් ඔබ එබී බැලුවාය
මුහුදු රළ මත සඳ එළිය තුළ
ඔබේ සිනාවන් විය
උදෑසන තුෂාරය මෙන්
ඔබ මා තුළට කඩ හැලුණා ය
කඳුකර මීදුම වැනි ඔබ තුළ
මා අතරමං විය

ඔබේ කතාව
විශ්වයේ කතාවයි

කාලයත් සමග සෙමින් මා වටා ගෙතුණු
මේ අඳුරු වනපෙතේ
මම තනිව බලා සිටියෙමි
තෙත් සුළං රැල් අතු පතර අලසව ඇදුණි
මා සුසුම් ඔබ සොයා හමා ගියාය
මා වේදනාවන්
මේඝ වලාකුළු වී ගිගුම් දුන්නේය
ඔබ ඉතා ඈතින්
තාරකා මවමින් මන්දාකිණි තනමින්
රැඳී වුන්නාය
ඔබ විශ්වයම විය
නමුත් මට ඔබ සොයාගත නොහැකි විය

ඔබේ කතාව
විශ්වයේ කතාවයි

ඔබ එබී බැලූ මිතුරු තාරකා
අවසාන පණිවිඩ තබා මියගොස් සිටියාය
නන්නාඳුනන තාරකාවලින්
අහස පිරී යන්නට විය
නමුත්,
සඳ රැසෙහි පමණක් තවමත් ඉතිරිව තිබූ
ඔබේ සිනා බිඳුවක්
මගේ කුටියේ සිට තවමත් දැකිය හැකි විය

ඔබේ කතාව
විශ්වයේ කතාවයි
නමුත් එය මගේ කතාව නොවීය

[තරින්ද්‍ර ගලහේන]

....................

හිරු සඳු පොළොව ඇතුළුව විශ්වයේ බිහි වීම හා ක්‍රම විකාශය ආදරයේ උපත හා ජීවන අපේක්ෂාවට සම කරමින් ලියැවී ඇති මේ කවියෙහි විශේෂත්වය නම් සමස්තය රූපකයක් වීමයි. "මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා" ගීයෙන් ඩබ්ලියු. ඒ. අබේසිංහයන් මාතෘ ධාතුවට විශ්වීය අරුතක් සූචනය කළ පරිදිම තරීන්ද්‍ර ද කථකයාගේ හද උපන් ආදරයට විශ්වීය අරුතක් දෙයි. බලාපොරොත්තු ඉටු වීම දුරස් වීමේ ශෝකී භාවයන්ද මුසු වූ පද වහර කාව්‍යානුභූතියෙහි සියුම් බවට තුඩු දෙයි.

අහිමි පෙම්වතිය

කවියක් නුඹ නිතර තොල් මත මුමුණාපු
සුන්දර සිතුවමක් නෙතු ආලෙන් වෙලපු
මියුරුම තනු පෙළක් දෙසවන් මත් කරපු
සොදුරියෙ නුඹ මලක් වෙන උයනක පිපුණු

පොදි පොදි දැකපු හැම හීනෙම හැමදාම
නුඹ උන්නෙම මන් ගාවම අත්පටල
හීනෙන් ඇහැරිලා ගැස්සෙන මොහොතේම
රිද්දන් යනව අකුණක් පපුවේ මැදට

උයනට ඇවිත් නුඹ කැන්දන් පිටවෙන්න
කවුරුන් හෝ ඒවි කවදා හෝ දිනක
කඳුළැලි සඟවගෙන හිනාව මවාගෙන
හදවත විසිකරමි ගලවා ඈතකට
[ශනීෂ් ශ්‍රීමාල්]

....................

ප්‍රේමවන්තියක් වෙන්න
ප්‍රේමවන්තයෙක් ඉන්න ම ඕනද?

සියල්ල උසුලා දරා හිදිමින්ම
නෙක මල් පුබුදුවන මහ පොළොවටත්,
ඒ මල් පුබුදන්න ආදරේ දෙන ඉරටත්,
රාත්‍රියේ දිලෙන
සහසක් තාරුකා ඇස්වලටත්,
ඒ සෞම්‍ය සඳටත්,
ආදරේ කරලා ;

නවකතාවක මියැසියක,
වේදිකාවක තියෙන,
මගතොටක යනෙන ගමනක
මුණගැහෙන,
ඒ සොඳුරු මනුසත්කමට,
ආදරේ කරලා;
ප්‍රේමවන්තියක් වෙන්න බැරිද?

නාමමාත්‍රිකව හරි
ප්‍රේමවන්තයෙක් ඉන්න ම ඕනද?
[කුශාන්ති අනුරාධා බණ්ඩාර]

.................

මතක

ඇගේ සුවඳ තැවරුණු තප්පරත්
පපුව උඩ නැවතුණු හාදු කිහිපයත්
එක් සිතින් උසුලාගෙන
නැඟෙනහිරට බැස යමි
හිරු නැඟ එන්නට ප්‍රථම
සඳු නිදියන්නට පෙරාතුව

හද හැඩැති වැසි කැටිති
ඇද හැලුණු
ගාලු පාර දිග
අප අපව වෙළාගත්
ප්‍රේමය මුසු වු සුළං

සීතලක නවතින්න
උණුහුම්ව වැගිරෙන්න
කළු පෑති කෝපි උගුරක
ඉඩ ඇතිරිණි ඇති තරම්

දෙපා එක් කර ඇවිදින්න
මාන්සිය ළඟ ගුලි වෙන්න
"එපා! වෙලාව ඔහෙ ගිය දෙන්
විජයබා කොල්ල කත්දෙන්"
සිහින් ඇවටිලි
ආයෙ ආයෙම නැග එයි
මතක ගුලියට
නවත්නා
නවත්නා පොලිස් මුරපොළ අග

ඇගෙ සුවඳ ඉහිරුණු කමිසය
සුවද හූර හූරා විඳගමි
මතක රුව මැවෙන විට
තනිව දෙතැනක හිනැහෙමි
[පසන් සංජය සමරතුංග]

................

පර්මනට්

සෑම දැවන්ත පරාජයකට පසුවම
මම මා රතුපලස් මතින් කැඳවමි...
කැමැති ම සංගීත නාදය
පසුබිමෙන් ඇසෙද්දී
ලොව මා කැමැති ම මිනිසුන්ගෙන්
පිරීගිය සුවඳවත් සබා ගැබක
ඔල්වරසන් හඬ මැදින්
මම මටම
සම්මානයක් දී ගනිමි...

කාලය රැගෙන
හෙමි හෙමින් වේදිකාවෙන් බැස එමි
සිප ගන්නවුන් සිප ගනිමි
තුරුලු කරගන්නවුන්ට තුරුලුවෙමි
සාගරය සා දුක
බිඳෙන් බිඳ නිවාගමි.

රැගෙන ආ නමුදු
රතු රෝස මල් කලබක්
මට නොදී යන්නට සැරසෙන
ඔබ අබිමුව නතර වෙමි.

රතු පලස අකුලා නොදමන්නැයි
ජීවිතයට සන් කරමි...
[රසිකා ප්‍රනාන්දු]

.....................

නොකල් හි දුටු ˝
අසම්මත හීනයක්˝
[කපිල එම්. ගමගේ]
සාමාන්‍යයෙන් කලා නිර්මාණයක නිර්මාණාත්මක බවේ පරිමාණය සැකසෙන්නේ නිර්මාණකරුවා ගේ පරිකල්පන ශක්තියේ ප්‍රමාණය අනුවය. ˝පරිකල්පනයේ බලය අපව අනන්තය කරා රැගෙන යයි.˝ යන කියමන සනාථ කරන්නේ මේ කාරණයයි. සිද්ධි වාර්තාකරණය යනු නිර්මාණකරණය නොවේ. නිර්මාණ කාර්යයේදී නිර්මාණකරුවා අත්දකින අත්දැකීමට සිය පරිකල්පනය එකතු කරයි. එවිට එය ත්‍රිමාණික ස්වරූපයෙන් රසිකයාගේ ජීවන නිම්වළලු පුළුල් කිරීමට හේතු වෙයි. වාර්තාකරණයේදී දැකිය හැක්කේ අදාළ සිදුවීම පිළිබඳ ද්විමානික ස්වරූපයක් පමණි. එයට ත්‍රිමාණික බවක් එක්වන්නේ පරිකල්පනය එකතු වූ විටයි.
ශක්තික සත්කුමාර යනු දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණකරණයේ නියැලෙන නිර්මාණකරුවෙකි. ඔහු සාහිත්‍ය නිර්මාණ කෘති විශාල ප්‍රමාණයක් හා විචාර කෘති කිහිපයක් ලියා පළ කර ඇත. ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන්නේ ˝අසම්මත හීනයක්˝ කාව්‍ය සංග්‍රහයයි. කාව්‍ය නිර්මාණ 32කින් හා ඔහුගේ පෙර කවිපොත පිළිබඳව ටිම්රාන් කීර්ති කවියා කළ සහෘද සටහනකින් මෙම කෘතිය සංගෘහිත වේ.
සත්කුමාර ගේ බොහෝ කවිවල කාව්‍යාත්මක බවක් දක්නට ලැබෙතත් ඒවායේ අත්දැකීමේ ඇත්තේ සුලබ බවකි. සිය නිර්මාණ එකතුව අරඹන සත්කුමාර මඟ වැරදී ගිය දියණියක නිසා සිය ජීවිතයෙන් සමුගන්නා පියකු පිළිබඳ අපට හුරු පුරුදු අත්දැකීම කවි කරයි. නමුත් ඒ නිර්මාණය තුළ කාව්‍යාත්මක යෙදුම් ගණනාවක් දක්නට ලැබේ.
තිබහට දිව එළියේ දාගෙන
දෙපැත්තට වැනුණු කුප්පි ලාම්පුව
දෑස පියාගත්තෙත්
ඒ මොහොතේදිමයි

අහසේ පියෑඹූ වැහි ලිහිණියෙක්
ගංදියේ පාව ගිය ඒ රැයේ
ඉකිබිඳින වස්දඬුරාවයක්
ඇසුණා පුරන් වෙල් යායෙන්
(මඟ වැරදී - පිටුව 01)
මෙම නිර්මාණ එකතුවේ දකින්නට ලැබෙන යම් සාර්ථක බවක් පෙන්වන නිර්මාණයක් වන්නේ ˝මම හිත හදාගත්තා˝ නිර්මාණයයි. පියයුරු පිළිකාවකට බඳුන්ව ප්‍රතිකාර ලබන සිය බිරිඳ පිළිබඳව සැමියෙකු ගේ හදෙහි උපන් හැඟීම මෙහි නිමිත්ත ලෙස ගැනේ. එහෙත් කිසිම තැනෙක සත්කුමාර ඇය පිළිකා රෝගියෙකු බව ඍජුව නොපවසයි. ව්‍යංගයෙන් අපට තේරුම් ගන්නට ඉඩ හරී.
බඩ ඉරිඟු ටික තම්බගන්න
පැන්පොදක් දෙන්න බැරි තරමට
මා ඔයත් හූල්ලපු කාලෙක
ඔබේ ආදරය ගලා ගියේ
මගේ ළමැද තෙමාගෙන

වැහි වැටුණු වසන්තේ
මාඔය පිටාර ගලා ගිය දවසක
ඔබේ ආදරය මතක් වුණා මට
බඩඉරිඟු විකිණුණත් වැඩිපුර
මගේ හිත හිස්වෙලා ඔබ නැතිව
නිර්මාණයේ අවසාන කවිය තුළ සිය බිරිඳ පිළිකාවකින් රෝගීව ඉන්න බව කවියා ව්‍යංගයෙන් අපට පවසයි.
මහරගම ගිනි ගන්න අහස යට
ඔබේ කෙස් ටික පිච්චුණා
හංසයෙක් පිපාසයෙන්
ඉගිල ගියා අනන්තයට
තනිවුණ හංස ධේනුව
ඉකි බින්ද තුන්යම
ඒත් මං හිත හදාගත්තා
ඔබ හුස්ම ගන්නා බව දන්න නිසා
(මං හිත හදාගත්තා - පිටුව 05)
මහරගම, කෙස් ටික පිච්චුණා, තනිවුණ හංස ධේනුව වැනි සංකේතාර්ථ යෙදුම් වලින් කවියා සිය බිරිඳ පත්වී ඇති තත්වය අපට හඟවයි. නමුත් සමස්තයක් ලෙස කවියේ දක්නට ඇත්තේ වාර්තාමය ස්වරූපයකි.
සත්කුමාර ගේ බොහෝ කවිවල මේ වාර්තාමය ස්වරූපය දකින්නට ලැබෙන්නේ අත්දැකීම හොඳින් පැසෙන්නට ඉඩ නොදී අඩුවයසින් බිහිකිරීමට යත්න දැරීම නිසා යැයි සිතේ. සෑම කවියකම පාහේ අපූර්ව කාව්‍යාත්මක, භාෂාත්මක, සංකේතාත්මක යෙදුම් දක්නට ලැබුණද කවිය සමස්තාර්ථයෙන් ගන්නා විට එය කිසියම් වාර්තාමය ස්වරූපයක් ගන්නා අයුරු දක්නට ලැබේ.
පුස් කෑ හීන පොදියක්
ඇහින්දෙමි මම
අතීතය අස්පස් කරන විට
(හීන - පිටුව 06)
දැදුරු ඔය අසබඩ හුදකලාවම
බලමි මම අනන්තය දෙස
මස් වැදලි තැවරුණු බටහිර අහස
දත් විලිස්සයි මා දෙස රවාගෙන
(ඇගේ හඬ - පිටුව 09)
හිස දැවුණු ගිනි කූරක්
පූජාසනයේ තනි රකිද්දී
(පාළු දෙවොල - පිටුව 15)
මැයි ගස් යටත්
රතු ලේ ගලා ගිය කාලයක
වලව්වේ කාරයෙන් සමුගත්
මහලු ටයර් සෑයක
හාමු හිටියේ අසරණව
(ද්‍රෝහියෙකුගේ කවක් - පිටුව 17)
විදුලි නාගයින් ඇවිදින්
වලාකුළට විෂ පොවලා
පුපුර පුපුර ඇද හැලෙන්න
වලාකුළත් මාන බලනවා
(වලාකුළක් - පිටුව 23)
වැනි තැන්වල සත්කුමාර ගේ කාව්‍යාත්මක නිර්මාණ හැකියාවන් දැකිය හැකිය. එහෙත් සමස්ත කාව්‍යයන් ප්‍රබලත්වයෙන් දුර්වලභාවයට ආපසු ගමනක නිරත වී තිබේ.
ශක්තික සත්කුමාර ගේ ˝අසම්මත හීනයක්˝ කාව්‍ය සංග්‍රහය සමස්තයක් ලෙස ගත් කල අපතේ ගිය නිර්මාණාත්මක අනුභූතීන් කිහිපයක් රැගත් කාව්‍ය නිර්මාණ එකතුවක් සේ දැකිය හැකිය. කල්ගතවෙන්නට පෙර හදිසියේ මුද්‍රණද්වාරයෙන් එළිදුටු කෘතියක් ලෙස මෙය හැඟෙන්නේ කවියේ වස්තු විෂයේ සුපුරුදු බවත්, භාෂාවේ යළි සකස් විය යුතු බවත්, වාර්තාකරණයෙන් මිදී පරිකල්පනය මුසු කරමින් නිර්මාණකරණය කවියකට අවශ්‍යම කාරණයක් බව පිළිගතයුතු බවත් අවබෝධ වන බැවිනි.

.........................

වදන් නොමැතිව

තුරු මුදුන්වල ඇති පත්
දරන්නෙය දැන් පොළොවෙ සලකුණු
පිරිමදිනු මැන ඒවා හෙට ඔබේ දෑසින්
එවිට ඒවා හැළී යනු ඇත

වැල් සැකිලි සිනාසෙයි
ශ්‍රැති පිනූ මියැසි සර
කෙඳිරිලයි සුසර වන විට
කපුටු සුසරයන්ගෙන්

තට්ට තනියම
ආලෝකය දණ ගසයි එ‘බිම
සෙත් පතමින් එයට
සරණ විහඟුන් මවන පොඩි කුරුස සමඟින්

(චෙකොස්ලොවැකියානු කිවි මිරොස්ලාව් ෆ්ලෝරියන් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

මිරොස්ලාව් ෆ්ලෝරියන්
චෙකොස්ලොවැකියානු සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ කවියකු සහ ප්‍රබන්ධ රචකයකු ලෙස ඉහළ පිළිගැනීමට ලක්ව සිටි ඔහු 1931 වසරේ මැයි 10 වැනිදා චෙකොස්ලොවැකියාවේ කුට්නා හෝරා නමැති ප්‍රදේශයේ දී උපත ලැබුවේය. තරුණ වියේ සිටම ලේඛනය සහ පොතපත පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ඔහු පුස්තකාල විද්‍යා විෂයයද හැදෑරුවේය. කලක් චෙකොස්ලොවැක් ගුවන්විදුලියේද සේවය කළ ඔහු පසුව සෙස්කොස්ලොවෙන්ස්කි නමැති ප්‍රකාශන ආයතනයක සංස්කාරකවරයකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ කාව්‍ය නිර්මාණ සමූහය අතර බහුතරය සමාජ දේශපාලන තේමාවන් පාදක කරගනිමින් රචිත ඒවා විය. එවැනි නිර්මාණ ඇතුළත් කාව්‍ය සංග්‍රහයන් රැසක් ලියා පළ කළ ඔහු 1996 වසරේ මැයි 10 වැනිදා ප්‍රාග් නුවරදී මිය ගියේය.
[අජිත් නිශාන්ත]

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]
[email protected]

මාතෘකා