ඉංග්‍රීසි නඩුකාරයාගේ වැරදි තීන්දුව

 ඡායාරූපය:

ඉංග්‍රීසි නඩුකාරයාගේ වැරදි තීන්දුව

ඔහු ගඟබඩ විදානලාගේ මුදියන්සේය. මුදියන්සේ නීති වෘත්තියට පිවිසීමට සිතුවේ මිරැන්ඩාගේ මව සතුටු කිරීමට නොව; ආසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් හඬක් නැඟීමටය. ඒ අතරතුර ඔහුට තම පවුලේ බර ඉසිලීමටද සිදුවිය. එවැනි අරමුණු හා පවුලේ වගකීම් හමුවේ මුදියන්සේට තම විවාහය කල් දැමීම ආශීර්වාදයක් විය. තවත් අතකින් ඔහු සිතුවේ ගුරුවරයකුට දියණියක දීමට වඩා නීතිඥයකුට දියණියක සරණ පාවාදීම විවාහයට වැදගත් සාධකයක් විය හැකි බවය. මිරැන්ඩා හේමලතාගේ මවගේත් පියාගේත් ගම් පළාත වූයේ පානදුරේය. තම පියා කොපමණ දුෂ්කර ප්‍රදේශවල රැකියාව කළද ඇයගේ මවට ඔහුගේ දුෂ්කර ග්රාසමය පෙනුණේ තවත් හද්දා පිටිසර අයුරිනි. ඔහු ඇය පුද්ගලිකව හමුවීමක් සිදු නොවුණි. රැකියාව කරන තැන අනෙක් මිතුරු මිතුරියන් ලෙස ඔවුහු ඇසුරු කළහ. ඔහුද සියල්ල ඉදිරියේ විශ්ෂ පෞද්ගලිකභාවයක් නොපෙන්වීය. සංග්‍රහයක් කළද ඇයට පමණක් නොව තම කණ්ඩායමටම කිරීමට ඔහු අමතක නොකළේය. ඇය ස්වාමිපුරුෂයකුගෙන් පතන ගති සියල්ලම මනා සේ ඔහු තුළ දුටුවාය. ඇයට තම වෘත්තීය හා කලා කටයුතු නිසි අයුරින් කිරීමට ඔහු සහයෝගය දුන්නේය. නීති පනවමින් ඔහුගේ යටත්වැසියකු කර නොගත්තේය. මේ තත්ත්වයන් තුළ ඇයගේ හදවතේ කිඳා බැස තිබූ ඔහු පිළිබඳ ස්ථිර ප්‍රේතමය ඇගේ වචනයෙන් මෙසේය.

“මට චූටි කාලේ ඉඳලම තිබුණු ආකල්පයක් තමයි ගැහැනියක් ආදරය කරන්න ඕන එක අයකුටයි කියන එක. කවුරුහරි කිව්වම ගැහැනියක් මිනිසුන් දෙන්නෙක් එක්ක හිටියා කියලා; මට හිතාගන්න බැරි ගැටලුවක් වුණා. ගැහැනියක් එක පිරිමියෙකුට විතරයි ආදරය කරන්න ඕන, ඔහු එක්කම යන්න ඕන, ඒ මිනිහා එක්කම ජීවත් වෙන්න ඕන, ඒ මිනිහා එක්කම මැරෙන්න ඕන කියන ආකල්පය මට තිබුණා. ඒක තුළ මම මෙහෙම කිව්වා. කේන්දරේ කියන එක හරියට දන්නෙ නැහැනේ. වෙලාව හරි නම් හරි වෙන්න පුළුවන්. නැත්නම් මොකද වෙන්නේ? මං ඒ වගේ තර්ක කළා. මම හිතුවා ඒක සාධාරණ හේතුවක් නෙවෙයි අත්හරින්න කියලා. ඒක එයාට කිව්වා. මං කිව්වා එයා කැමැති නම් අත්හරින්න, මට ඉන්න පුළුවන් ජීවිත කාලෙම අවිවාහකව කියලා. මොකද විවාහ වෙන්න තව දෙයක් තියෙනවා. මම කලාව එක්ක බොහොම බැඳිලා හිටිය කෙනෙක්. මට මතකයි එක පුවත්පතක් මගෙන් විවාහය ගැන ඇහුවා. මම ඔය වගේ හිතන්න ඉස්සර එක කාලයක දැඩි කල්පනාවක හිටියා; විවාහ වෙන්නෙම නෑ කියලා. ඒ කාලේ මම කිව්වා විවාහයයි කලාවයි එකට ගෙනියන්න අමාරුයි කියලා. ඒ සාකච්ඡාවෙදි පැහැදිලිව කිව්වා ඒක හරි අමාරුයි කලාකාරයකුට කියන දේ. ඒ හින්දා මම එයාට කිව්වා කැමැති නම් අදහස වෙනස් කරන්න කියලා. එයා ඒකට කොහොමටවත් කැමැති වුණේ නැහැ. විද්‍යාවද හරියට කරපු භෞතිකවාදියෙක් කොහොමටත් කේන්දරය පිළිගන්නෙ නෑ. ඒ හින්දා එයා ඇහුවා හොඳ ජීවිතයක් ටික කාලයක් ගත කරනවද, නැතිනම් කටුක ජීවිතයක් ගොඩක් කල් ගෙනියන එකද වටින්නේ කියලා. ටික කාලයක් වුණත් සුන්දර ජීවිතයක් ගත කරනවා කියලා මම කිව්වා.”

ඔහුට භෞතිකවාදී සිතුම් පැතුම් ඒමට බලපෑ කරුණු කාරණා ගොන්නක් තිබිණි. ඔහු සාමාන්යර ගමක හැදුණු තරුණයෙකි. එහෙත් සාමාන්යි තරුණයකු අත්නොවිඳින අත්දැකීම් සමූහයකට තරුණ වියේදී මුහුණදුන් විරල චරිතයකට හිමිකම් කියන්නෙකි. ඔහු උපන්නේ සබරගමු පළාතේ එරත්න ප්‍රදේශයේ බටේ නමැති ග්‍රාමයේය.

එකල එරත්න ඉතා දිළිඳු ගම්මානයකි. ඉතා දිළිඳු යනු රටේ සංවර්ධනයේ නාම මාත්‍රයක්වත් නොපැමිණීම යන්න හැර නූගත් යන සංකල්පය නොවේ. එරත්න ප්‍රධාන නගරය හා යා කරන මංමාවත් නොමැති ගම්මානයකි. එරත්න ගමේ “බටේ” නමැති ප්‍රදේශය පිහිටියේ තවත් දුෂ්කර කන්දකය. එය කූඩැල්ලන්ගේද නිජ බිමකි. බටේ නමැති ප්‍රදේශයට ඒදණ්ඩකින් එගොඩ වී වන වදුලක පිහිටි අඩි පාරක් ඔස්සේ යා යුතුය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ තේ වගාවයි. ඊට අමතරව ගැමියෝ තමන්ට අවැසි ලෙස කිතුලක් මැද, බවබෝග කරමින්, කා බී සතුටින් සාමූහිකව එකම පවුලක පිරිසක් මෙන් දිවි ගෙවූහ. දඩයමක් ලැබුණහොත් එය මුළු ගමටම බෙදා දී ඔවුහු සාමූහික හැඟීමෙන් ජීවත් වූහ. ඔවුන්ට විදුලි බලය නොතිබිණි. නිවෙස් බටකොළ සෙවිලි කර කටුමැටි හෝ වරිච්චි ගසා තනාගෙන තිබිණි. එරත්න ප්‍රදේශය පොල් අතු වහලට ඇතිරීමද නොකළ ග්‍රාමයකි. තම තමන්ගේ හැකියාව හා රසඥතාව අනුව නිවෙස් සකස් කර ගැනුණි. ගමේ අලුතින් නිවසක් සෑදීම පොදු කටයුත්තක් සේ මුළු ගමම මැදිහත් වී කරන ශ්‍රදානයකි. එය එකමුතුකමේ ක්‍රියාදාමයකි. ඒ සඳහා කුලිය ගෙවීමක් නොකෙරුණි. එයට කයිය යැයි ගම්මු කියති. අපේ කතා නායකයාගේ නිවස ඉතා විශාල ලෙස ඉදිරියේ නිම කළ ශාලාවකින් සමන්විත විය. එය ඔහුගේ පියාගේ කැමැත්තට සිදු වූවකි. ඔහුගේ බාප්පා කෙනෙක් නොතාරිස් රාළහාමි කෙනෙකි. පියා ගොවියෙකි. පියා කලාකාමී අයෙකි. ගමේම සිත දිනාගත් විදානේ කෙනෙකි. ඔහුගේ නිවසේ ශාලාව වැනි කොටස සන්ධ්යාිවේ ගම්මුන්ගෙන් නිතර පිරී තිබිණි. ඒ සංගීතමය සාජ්ජ සඳහාය. එහෙයින් මෙම නිවසට “ශාලාවේ ගෙදර” යැයි ගම්මු හඳුන්වති. නිවෙස් සඳහා අංක නොතිබිණි. මෙලෙස සෑම නිවෙසකටම කුමක් හෝ නමක් පටබැඳී ඇමතීම ගම්මුන්ගේ සිරිතය. පසුව එම පටබැඳි නාමය නිවසේ නාමය වේ. එසේ නොමැතිව නිවැසියන් විසින් නිවෙස්වලට නම් යෙදීමක් සිදු නොකෙරිණි. ගමේ සැවොම යන එන මෙම ශාලාවේ ගෙදර යනු මුළු ගමේම එකමුතුකම කියාපාන ස්ථානයක් විය.

මේ අතර පිට ගම්වලින් වතු වගාව සඳහා රජයේ ඉඩම් අත්පත් කර ගනිමින් පැමිණි පිරිසක් සහ මොවුන් අතර විරසකයක් හට ගැනුණි. මෙකල ගමේ තත්ත්වය වෙනස් වෙමින් පවතින සංක්‍රාන්ති සමයකි. ගමේ සිටි විදානේ වූයේ අප කතානායකයාගේ පියාය. ගමේ සිටි ජේ්‍යාෂ්ඨය සමත් එකම උගතා මේ කතානායකයාය. මේ කාලයේ බිහිව තිබූ පොලිසිය නමැති ආයතනයේ සේවය කළ ගම්මුන් අතට ලැබුණු බැටන් පොල්ල නමැති ආයුධය සමඟ ඔවුහු ගම තුළ නීත්‍යනුකූල චණ්ඩීන් බවට පත්ව තිබිණි. විදානේගේ බලය බිඳී ගිය අතර එම සංස්කෘතියද අභාවයට පත්වෙමින් තිබිණි. නූගත් බැටන් පොලුලාභීන් අතර විදානේගේ පුතා ඊර්ෂ්‍යාවට ලක් විය. එවැනි දුප්පතුන්ගේ ග්‍රාමයේ ලක්ෂණ හමුවේ පිට ගමකින් පැමිණි අය පිට ගමකින් චණ්ඩීන්ද රැගෙන පැමිණ කලබලයක් ඇති කර තිබේ. ඔවුහු වෙනත් සමාජ විරෝධී ක්‍රියාවන්ටද සම්බන්ධ අය වූහ. ගම්මුන්ගේ බලය බිඳීම සඳහා ගමේ ප්‍රධානියා විනාශ කර දැමීමට ඔවුහු සිතූහ. එලෙස පැමිණි පිරිසක් මෙම ගම්මුන් විසින් කොටු කර පහර දී තිබිණි. පසුව ඉන් එක් අයකු මියගොස් තිබිණි.

මේ අපේ කතානායකයා අධ්‍යාපනයේ ෙජ්‍යෂ්ඨ අවසන් කළ වකවානුවයි. ඔහු ඉගෙනීමට ගමේ සිටි අංක එකේ පුද්ගලයා බවට පත්ව තිබීම හේතුවෙන් ඔවුනට හිතවත් ගම්මුන්ගේ බලාපොරොත්තුව වූයේ ඔහු දිසාපතිවරයකු කිරීම වැනි ඉතාම උසස් තැනකට ඔහු පත්වේය යන සංකල්පයයි. එකල ගමේ උගතකුට එවැනි පොදුභාවයෙන් සැලකීමට ගම්මුන් යොමුවන්නට තරම් ගම සුන්දරව තිබිණි. මොහුට ගමේ පාසලින් අධ්‍යාපනය ලැබී ප්‍රමාණවත් නොවීය. එරත්න කනිටු විද්‍යාලයේ පැවතියේ අට ෙශ්‍ර්ණිය දක්වා පමණි. පන්තියේ හැම අතින්ම දක්ෂයා මොහුය. පසුව ඔහු උසස් අධ්‍යාපනය ලැබීමට රත්ගම දොඩන්දූවේ දේව පතිරාජ මහා විද්‍යාලයට ඇතුළත් වී ෙජ්‍යෂ්ඨය සමත් විය. ඔහු රැකියාවක් අපේක්ෂාවෙන් සිටි කාලයේ ගමේ මිතුරන් දොළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ සිරීපාදය වැඳීමට ගොස් තිබිණි. එහිදී ඔහු ඉගෙනුම ලැබූ පාසලේ මිතුරකු හැරමිටිපාණ පොලිසියේ සැරයන්වරයකු ලෙස කටයුතු කර ඇත. ඔහු දොඩන්දූවේ පදිංචි අයෙකි. 1956 මාර්තු මාසයේ ගමේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම වන විට ඔහු හැරමිටිපාණ පොලිස් මිතුරා සමඟ එහි සිට ඇත. ඔහු ගම පැමිණෙන විට ගමේ මහා යුද්ධය නිමව මිනීමැරුමට සම්බන්ධ අය සැඟව සිටියහ. ඔහුට චකිතයක් සිතීමටවත් සැඟව සිටීමටවත් හේතුවක් නොතිබිණි.

කෙසේ නමුත් මියගිය පුද්ගලයාගේ පරීක්ෂණය සඳහා පොලිසිය ගමට පැමිණියද සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකි විය. දිනක් “ශාලාවේ ගෙදරට” පොලිසිය පැමිණියේය. ගමේ අනිත් ගෙවල් තිබෙන්නේ ඈතින් ඈතින්ය. එම නිවෙස්වලට යාමට තවත් බොහෝ දුරක් යා යුතු වේ. එසේම සාමාන්‍ය ගම්මුන්ට පොලිස් නිල ඇඳුම දැකීම බිය උපද්දවන්නකි. එහෙයින් ගම්මුන් පොලිස් ඇඳුමක් දුටු වහාම වහන් වීම සිරිතකි. පොලිසියට මුහුණදීමට කිසිවකු ඉදිරිපත් නොවී ගම්මු ගස් ගල් යට සැඟවෙති. නැතහොත් මයිල ගණනාවක් ඈතට ගොස් වහන් වීම දැකිය හැකිය. පෙර අවස්ථාවලදී පොලිසියට කිසිවෙකු අල්ලා ගැනීමට නොහැකි වූයේ එහෙයිනි. ශාලාවේ ගෙදර තරුණයා දැන උගත් පුද්ගලයකු වූ බැවින් ඔහුට එලෙස සැඟවීමට වුවමනාවක් නොවීය. සිදු වූයේ පොලිසියට හමු වූ එකම තරුණයා මෙම මිනීමැරුමට සාක්ෂි සටහන් කරගැනීමට පොලිසියට රැගෙන යෑමය.

මේ විසිදෙහැවිරිදි තරුණයා සමඟ පසුව ඔහුගේ පියා, මහප්පාගේ පුතුන් දෙදෙනකු හා ගමේ තවත් තරුණයන් දෙදෙනකු පොලිසියට පැමිණ තිබේ. පසුව ප්‍රශ්න කිරීම පිණිස ඔවුන් අත්අඩංගුවට ගැනිණි. එකල මුදියන්සේ කුරුවිට පොලිසියේ වැඩ කළ ගැමියන්ගේ ඊර්ෂ්‍යාවට පාදක වී සිටියේය. තවද ඉංග්‍රීසියෙන් ප්ර‍ශ්න කළ නිසා ඔවුන්ට පිළිතුරු දීමට නොහැකිව තවත් ලැජ්ජාවට පත්ව සිටියහ. එහෙයින් ඔවුන් වැරැදිකරුවන් කිරීමට සාක්ෂිකරුවන් සෙවීමට පොලිසිය කටයුතු කර තිබිණි. එමෙන්ම මිනීමැරුමට සම්බන්ධ නියම මිනීමරුවන් සොයාගත නොහැකි වීම පොලිසියට කැළලකි. එය පොලිසියේ අදක්ෂකමක් බවට පත් වේ. එම ඉහළ නිලධාරීන්ට මෙම ස්ථානාධිපතිවරයා වගකිව යුතුය. එහෙයින් අල්ලා ගත් පිරිස වැරදිකරුවන් කිරීමට පොලිසිය සියලු කටයුතු සුදානම් කළේය. ඒ තුළින් උපක්‍රම යොදමින් අවිස්සාවේල්ල ෙශ්‍ර්ෂ්ඨාධිකරණයේ විනිසුරුවරයා රැවටීමට පොලිසිය සියලු සාක්ෂි ගොනු කරන ලදී.

ගමෙන් අල්ලාගත් කණ්ඩායම මිනීමරුවන් කිරීමට පොලිසිය සමත් විය. මෙම දුෂ්කර ග්‍රාමයේ ඇවිද නියම මිනීමරුවා සෙවීමට ඔවුහු කම්මැළි වූහ. මෙය එදා එම පොලිසියේ සත්‍ය තත්ත්වයයි. තම රස්සාව වෙනුවෙන් කවුරුන් හෝ බිලිදී ඇඟ බේරා ගැනීමට තරම් අකාරුණික පිරිස් එකලද වූහ. සිද්ධිය සිදු වූ දිනයේ ගමේවත් නොසිටි තරුණයකුට පොලිසිය නැඟූ චෝදනාව අනුව උසාවිය ඔවුන් මිනීමරුවන් බවට පත් කර සය දෙනාම එල්ලා මරණ ලෙස මරණ දඬුවම දීමට තීරණය කළේය. නඩුව මාස 8කින් නිම විය. එනම් 1956 නොවැම්බරයේ එම කාලකණ්ණි දිනය උදා විය. ඉන් පසු එළඹියේ චූදිතයන්ට යමක් කීමට ඇත්දැයි යන්නයි. එහිදී කතා කර ඇත්තේ අප කතානායකයාය.

ඔහු චතුර අයුරින් කිසිදු චකිතයකින් තොරව සිදු වූ අසාධාරණය කියාපා තිබිණි. මොහොතක් අයුක්තියට එරෙහිව හඬ අවදි කළ මුදියන්සේට අධිකරණයේ සිටි සැමට ඇහුම්කන් දීමට සිදු විය. අදම මේ වැරදි තීරණයට ඇපෑලක් දමන බවත් නීතිය තිබිය යුත්තේ යුක්තිය වෙනුවෙන් බවත් අයුක්තිය වෙනුවෙන් නීතිය හැසිරවීමේදී නීතිගරුක පුද්ගලයන්ට සිදුවෙන අසාධාරණය හමුවේ යුක්තිගරුක අයට මරණ දඬුවම ලැබීම වහා නැවතිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. එය සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් සිදු කළ අතර නඩුකාරවරයාට එම කියමන් අනුව තමා ගත් වැරදි තීන්දුව වෙනස් කරගැනීමට නොහැකි විය.

ලබන සතියට

අයුක්තිය හමුවේ කොල්වින් ආර් ද සිල්වාගේ මැදිහත්වීම

[අනුර දහනායක]

ඡායාරූප [සංජීව එදිරිවීර]

මාතෘකා