කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

කවියෙහි දෘශ්‍යමානය සුළඟ සහ මැයි මල්ය. දෘශ්‍යමානය විනිවිදින විට එහි ඇත්තේ සමාජ චින්තාවකි. බිම හැළෙන රතුමල් යටිපතුල් සිප ගැනීම ප්‍රවණතාත්මක කලාව අනුව යන සුලබ කවි සිතුවිල්ලක් යැයි ක්ෂණිකව පෙනී යා හැකි වුවත් කවියා සුළඟ රූපකයක් කරගනිමින් කවියෙහි රූපකාර්ථවත් ගුණය එසවීමෙන් වාර්තාරූපී බස ඉක්මවයි.

 

හදිසි සුළඟ....

 

විසල් අතු ඉති බිඳිමින්

කුඩා අතු ඉති රකිමින්

හමන සුළඟ

 

වේගෙන් හමා ඇදෙමින්

දූවිලි වලා නගමින්

ඉඳිකටු මලින් පවා රිංගමින්

හමා ඇදෙනා සුළඟ

 

නුඹ ආ යුතුය නගරයට

ඇවිදින් නොයා යුතුය විගසින්

රක්ත මැයි ගස් සොළවමින්

බිම හෙළා මැයි මල්

මල් පාවඩ සෑදිය යුතුය

යටිපතුල් ඇති මිනිසුන්ට

 

විසල් අතු ඉති බිඳිමින්

කුඩා අතු ඉති රකිමින්

හමන සුළඟ

 

නුඹ ආ යුතුය නගරයට

විගසින්!

මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය

 

..................................................................................

 මේ රාත්‍රිය

 

මේ රාත්‍රිය

අප අවදිව

සිටිය යුතුම

හෝරා කිහිපයයි

 

මතකය

කඩා ඉවත් කළ නොහැකි

දඹුවක්ව පැමිණ ඇත

 

මදක් හිනැහෙන්න

 

කඩදාසි මලක

අගිස්සක

සුවද තවරා ඇතියැයි

නොසිතන්න

 

රූරා වැටෙන

හීන් හීනයක

අප දෙදන

එක්ව

ඈඳි ගෙන සිටී

 

එකවර තිගැස්සී

ඇස් උස්සා

ඉරටු සිනහවකින්

මෙ'බිම සරසන්න

 

කළු ගැහුණු

අතීතය

වර්ණ කීපයකින්

අහුරාගන්න

එන්න

 

මේ රාත්‍රිය

අප ඇවිද

යා යුතුම

හෝරා කිහිපයයි

පසන් සංජය සමරතුංග

 

..............................................................................

 

පිරිමි අපි

 

තට්ටු පිට තට්ටු පුයර නැති

හිතුමතේ වැවෙන රැවුල ඇති

ඔපේ වඩවන්න රත්රන් නැති

හැලෙනකල් තියෙන දත් ටික ඇති

 

ඇඳුමෙ පාටටම සපත්තු නැති

හම ගියොත් වහගන්න පොලිෂ් ඇති

නම් කරපු වෙන් කරපු සීට් නැති

එල්ලිලා යන්න අත් දෙක ඇති

 

හඬ දෙන්න සමරන්න දවස් නැති

තුන්සිය හැට පහේම වැඩ අපි

ලෙඩ වුණත් මැඩ වුණත් නිවනක් නැති

ලෝකෙන්ම කොන් වෙච්ච පිරිමි අපි

වින්‍යා ජයසේකර

 

 

 

........................................................................

 

ලිය ගී

 

පැලඳි නෑඹුල් මල

ගිලිහෙන දිනය අත ළඟ

තුරු බඳ එතුණු වැල

ළසෝ කඳුළැලි වගුරන

 

ඉර හඳ යනෙනතර

දිවි දිය යදිනු දැක

තරුණ තුරු පත් සෙනෙහෙන්

හිස අත ගගා සනහන

 

දිගාවී රළු බිම

මංමුළා වුණු එදවස

දෑත් දිගු කර පෙමින

වඩාගත් හැටි මතකය

මැරුණ මල් පෙති පවා

පාමුල තබමි සතොසින

නුවන් ප්‍රසන්න විතානගේ

 

........................................................

 

තඩි නරක වෘකයා

 

තඩි නරක වෘකයෝ

කළුම කළු වෘකයෝ

රතුහැට්ටකාරිගේ

අත්තම්ම ගිල දැමුව

ඊසොප්ගෙ කතාවල

නපුරු චරිතම කෙරුව

 

තඩි නරක වෘකයෝ

මං හිතුවෙ උඹ හරිම

නරක සතෙකුයි කියා

ඒත් උඹ හරි හොඳයි

දැනගත්තෙ පහුවෙලා

 

නේක රස පොත් රැගෙන

නොරටකින් මෙහි ආව

තඩි නරක වෘකයෝ

උඹ නිසා තුටු වුණෙමි

පොත් රාක්කය ඇදන්

උඹ වටා ඇවිද්දෙමි

බොහෝ පොත් නැරඹුවෙමි

ටිකක් මිටටද ගතිමි

සිතින් උඹ සිප වැලඳ

ඉතින් මම පිටව යමි

උඹ නරක ගැන දනිමි

යළි යළිදු එය කියමි

 

[big bad wolf පොත් ප්‍රදර්ශනයට පසුවදනකි]

හර්ෂණී චන්දිමා ගමගේ

 

.....................................................................................................

 

ගැහැනියකට පෙම් කිරීම

 

ගැහැනියකට පෙම් කිරීම යනු

මුදවාගැනීමය ඇයව නිද්‍රාවෙන් බැඳුණු ගල්බවකින්,

පිරිමැද හිසේ සිට දෙපතුල් දක්වාම සෙනෙහසකින්

සාපයෙන් ගල්ගැසුණු රුධිරය ඇගේ එක ලෙසකින්

උණුසුම්ව අවදි වන තුරුම සොඳුරුතම සිහිනයකින්.*

 

ගැහැනියකට පෙම් කිරීම යනු

දුම්වැකුණු දවසේ සැරිය ඇය ගෙවන

හැරවීමය විහඟකු බවට ගඟන සරන

පාරාදීසයේ කුසුම්-රොන් සුවඳ සිඹිනත

පත්වෙමින් ඔබද තුරකට පිපුණු මල් දරන

විඩාපත් ඇගේ තටුවලට රැයේ ඉඩකඩ සදන

 

ගැහැනියකට පෙම් කිරීම යනු

යාත්‍රා කිරීමකි සැඩ කුණාටු ඇති සයුරක

වැහි අඳුරෙන් අහස වැසී ගිය මොහොතක

යෙදීමය අලුත් මහාද්වීපයක් සොයා යන ගමනක

රැගෙන ගොස් රතු කූඩලු මල් පැළයක් දවසක

ඔබේ ගෙමිදුලෙන් නෙළා නොදන්නා වෙරළක

සිටුවීමය එය එතැන කල්යල් බලා නිසි මොහොතක.

 

ගැහැනියකට පෙම් කිරීම යනු

හුවමාරු කිරීමය රළුබව ඔබේ මස්පිඩුවල

මලක දැවටුණු මුදුබවට සිනිදු සුකොමල,

හැර දමා මුරකාවල් සහ කිරුළු එඩිබල,

හිස් අතින්, සැරිසැරීමය අන් ගුවන් තල

මුසු කර ඔබේ ලෙය මස සමඟ මඳ නළ

වෙනත් ලොවක, වෙනත් ජලතලවල

 

ගැහැනියකට පෙම් කිරීම යනු

උරදීමය ඇයට සොයාගනු වස් තියුණු කගපතක්

ඇගේ ඉපැරණි ලප කැළැල් අතරින්

වැතිරී සිටීමය තබා එහි තුඩ මත ඔබේ හදවත

සිඳී යන තුරු ඔබ ගත මුළු රුහිරු නොනැවත

 

පෙම්කර නොමැත්තෙමි මම කිසිදා ගැහැනියකට

 

*ඉන්දියානු පුරාවෘත්තවල සඳහන් වන පරිදි, රිෂි විශ්වමිත්‍ර නමැති සිය සැමියාගේ සාපයකින් ගලක් බවට පත් වන අහල්යා නමැති කාන්තාවට රාම විසින් නැවත ජීවය ලබාදෙයි.

**මහාභාරතයේ සඳහන් වන පරිදි, පාණ්ඩව සෙහොයුරන් පස්දෙනකුගේ බිරිඳ වන ද්‍රව්පදී විසින් සිය සැමියන් අතරින් වඩාත්ම ශක්තිවන්ත තැනැත්තා වන භීමව සුගන්ධිකා පුෂ්පය රැගෙන ඒම සඳහා වනාන්තරයට පිටත් කර හරින අතර, බොහෝ දුෂ්කරතා ජයගෙන ඔහු විසින් එය ඉටුකරනු ලබයි.

(මලයාලම් කවියකු වන කේ. සචිදානන්දන් විසින් රචිත කාව්‍ය නිර්මාණයකි)

කේ. සචිදානන්දන්

මලයාලම් නව කවියේ පුරෝගාමියකු ලෙස සැලකෙන කේ. සචිදානන්දන් වර්ෂ 1970දී ‘අංජුසූර්යන්’ (පංච සූර්යයන්) නමින් පළ කළ සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන්ම මලයාලම් සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමක් හිමි කර ගත්තේය. එයින් පසුව තවත් කාව්‍ය සංග්‍රහයන් විසි එකක් පළ කර ඇති ඔහුගේ කාව්‍ය නිර්මාණ ඉන්දියාවේ මෙන්ම ලොව බොහෝ රටවල පළ වන ජාත්‍යන්තර මටට්මේ ප්‍රකාශනවල පළ වී ඇත. මලයාලම් සහ ඉංග්‍රීසි යන දෙබසින්ම නිර්මාණකරණයේ යෙදෙන ඔහු පරිවර්තකයෙකු, විචාරකයෙකුද මෙන්ම සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයෙකුද වෙයි. කේරල සාහිත්‍ය ඇකඩමි සම්මානය, සිව්වරක් හිමි කරගෙන ඇති ඔහු ජාතික මට්ටමේ තවත් සම්මාන ගණනාවක් මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසක්ද හිමි කර ගෙන ඇත.

[අජිත් නිශාන්ත]

 

 

................................................................

 

ඒ මම ම තමයි

 

යන එන ගොඩගැසෙන

ලිපි ගොනු අතර සිරවුණු

පත්වීමේ ලිපිය අනුව

මිස්ටර් එස්.ආර්. ගුණවර්ධන

 

සතියට දවසක් දෙකක්

පත්තරේ කවි පළවෙන

ඉඳහිට ටෙලියක,

වේදිකා නාට්‍යයක

රඟපාන

පොත් දොරට වඩවන

සාහිත්‍ය සංවාද අත්නොහරින

සුමිත් ගුණවර්ධන

 

මළගෙදරට බැනර් ඇන්ද

තොරන් ගැහුව

ගමේ දී හොඳහිත දිනුව

පොඩි ගුණවර්ධන

 

තරුණ මුහුණක් දාගෙන

මුහුණු පොතේ සැරිසරන

හොඳ දේකට ලයික් දාන

වටින දෙයක් ෂෙයාර් කරන

සුමී ගුණවර්ධන

"ඔයා කවිත් ලියන්නද"

ඉදහිට කෙනෙකු විමසන

ඔෆිස් එකේදි ප්‍රධාන ලිපිකරු

නිකම්ම නිකන්

මිස්ටර් ගුණවර්ධන

 

ඒ මම ම තමයි.

සු.ප්‍රි. සමරසිංහ

 

 

.......................................

 

 

 

 

 

News Order: 
0
මාතෘකා