වැලි මිදුල

 ඡායාරූපය:

වැලි මිදුල

 

අන්දරේ බිරිඳ ගේ රුව වැනූ හැටි

දවසක් අන්දරේ ඔහුගේ බිරිඳ සතුටු කිරීමට සිතා ඇඳුම් පැලඳුම්, කනකර ආයිත්තම් රැගෙන ගෙදර ගියා. මේවා දැකලා අන්දරේ ගේ බිරිඳ අපමණ සතුටට පත් වුණා. අඳුම් පැලඳුම් කනකර ආභරණ ඇඳ පැලැන්දාට පසුව බිරිඳ රාජකුමාරියක් වගේ ලස්සනයි. ඉතින් අන්දරේ තම බිරිඳගේ රූපශ්‍රීය විඳිමින් සිටින අතර පොඩ්ඩක් ඇගේ සිත රිද්දවන්නටත් ආශාවක් ඇති වුණා. අන්දරේ බිරිඳට මෙසේ කිව්වා.

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා

තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා

ලිය නුඹ බැලිමි වැඳිරිය වැන්න දළු කනා

මෙතෙක් වේලා සතුටින් සිටි බිරිඳට මේ කවිය ඇසූ සැණින්ම හරිම දුකක් ඇති වුණා. ඇය මෙය විහිළුවක් බව නොදැන කඳුළු සලමින් අඬන්නට වුණා. විහිළුව මේ තරම් දුර දිග යතැයි අන්දරේවත් සිතුවේ නැහැ. අන්දරේටත් තමා නොකළ යුතුව තිබූ දෙයක් කළා යැයි දුක සිතුණා. අන්දරේ බිරිඳ ගේ හිත හැදෙන්නත් එක්ක මෙසේ කිව්වා.

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා

තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා

ලිය නුඹ බැලිමි සුරඟන වැන්න රුසිරෙනා

කවිය ඇසුණ විට බිරිඳගේ දුක කොහේ ගියාද කියලා නැහැ. ඇය පෙර මෙන් සතුටින් සිනාසුණා.

 

.......................................................................................................................

 

සිරිලක උග්‍ර විෂ සහිත සර්පයන් හඳුනා ගනිමු

මුදු කරවලා (දුනු කරවලා)

 

බන්ගරාස් සිලොනිකස් යන විද්‍යාත්මක නාමයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රයිට් යන ඉංග්‍රීසි නාමයෙන් හඳුන්වන ශ්‍රීලංකා මුදු කරවලා නැත්නම් දුනු කරවලා ලංකාවට ආවේණික උග්‍ර විෂ සහිත කරවල් කුලයේ සර්ප යාළුවෙක්. සෙ.මී. 75ත් 80ත් අතර දිගින් වැඩෙන මුදු කරවලා සිරුරේ හැඩය අනුව ගැරඬියෙකුට සමාන වෙනවා. සිරුර පුරාම දිළිසෙන සිනිඳු කොරළ පිහිටනවා වගේම කොඳු ඇට පේලියට උඩින් සිරුර පුරා ගමන් කරන කොරළ විශාල වගේම හතරැස් ආකාරයට වැටී තිබෙනවා. මුදු කරවලාගේ හිස ඔිවලාකාර හැඩයෙන් යුතු වන අතර හිස සහ ගෙල පැහැදිව වෙන් කර හඳුනා ගන්න ටිකක් අපහසුයි.

සිරුර දීප්තිමත් දිලිසෙන කළු පැහැයෙන් යුතු වන අතර හරස් අතට සුදු පැහැති පටි නැත්නම් සුදු පැහැති පැල්ලම් දකින්න පුළුවන්. මුදු කරවලාගේ ඇස් හිසට සාපේක්ෂව කුඩා වගේම සම්පූර්ණයෙන්ම කළු පාටින් යුතුයි. මුදු කරවලාගේ යටි බඩ ප්‍රදේශය පැහැදිලි සුදු පාටින් දකින්න පුළුවන්. හිස මතුපිට සුදු පැහැති ලකුණක් පැටවුන් කාලයේදි දකින්න ලැබෙනවා.

දහවල් කාලයේදි දිරාගිය කොටන්, කොළරොඩු, ගල් ගොඩවල් සහ පොල් ලෙලි ගොඩවල්වල සැඟවිලා ඉන්න මුදු කරවලා රාත්‍රී කාලයේ ආහාර සොයා යන නිශාචර සර්ප යාළුවෙක්. රාත්‍රී කාලයේ දෂ්ට කිරීමට පෙළඹෙන මුදු කරවලා බිය වූ විට සිරුර දඟරයක් මෙන් හකුළා පැතලි හිස ඒ තුළ සඟවා ගැනීමත් සතුරන්ගෙන් ආරක්ෂා වීමට සිරුර ගසා දැමීමත් සිදු කරනවා. බිම් සර්පයෙකු වන මුදු කරවලාගේ ගැහැනු සතා දමන 5ත් 10ත් අතර ප්‍රමාණයකින් ඔවුන්ගේ බෝ වීම සිදු වෙනවා. කුඩා සර්පයන්, කුඩා මීයන්, කුඩා උරගයන් වගේම ගෙම්බන් ආහාරයට ගන්න මුදු කරවලා හරිම කැමතියි.

ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපයේ මුහුදු මට්ටමේ සිට මීටර් 1,800ට වඩා ඉහළ පිහිටි ප්‍රදේශවල වනාන්තර සහ ගෙවතුවලත් මුදු කරවලා දකින්න පුළුවන්. හොරණ, රත්නපුර, නිල්ගල, මහනුවර, ගම්පොළ, මාතලේ, ගාල්ල සහ මතුගම ප්‍රදේශවල හමුවන මුදු කරවලා දුර්ලභ උග්‍ර විෂ සහිතයි. මුදු කරවලාගේ විෂ කෝෂයේ අඩංගු වන විෂ ප්‍රමාණය මිලි ග්‍රෑම් 25ක් එයින් මිනිසෙකු මරණයට පත්කිරීමට අවශ්‍ය වන්නේ මිලි ග්‍රෑම් 5ක්. ලංකාවේ ජීවත් වන උග්‍ර විෂ ගණයට අයත් මුදු කරවලා ඉතා තියුණු විෂ දළ දෙකක් පිහිටීම නිසා ඉතා හොඳින් දෂ්ටනය සිදු කරන බවයි උරග විද්‍යාඥ මාමලා පවසන්නේ.

පරිසරය විනාශවීමත් මේ යාළුවන් මරා දැමීමත් නිසා මේ වෙනකොට මුදු කරවලා ලංකාවෙන් වඳ වෙන්නට පටන් අරන්.

(ස්තුතිය ගවේෂණයට මඟ පෙන්වන මහාචාර්ය ඇනස්ලම් ද සිල්වා ගුරුතුමන්ට)

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

 

.......................................................................................................................

 

මහනුවර හේමමාලි බාලිකා විදුහලේ ‘මුවරද තඹර’

කලා උළෙල අදයි

 

මහනුවර හේමමාලි බාලිකා විදුහලේ සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මුවරද තඹර 2019 කලා උළෙල අද (24) ප.ව.2.00ට මහනුවර මහලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. හේමමාලි විද්‍යායීය ලේඛිකා කවයෙහි ප්‍රකාශනයක් වන "හේමමාලියන්ගේ නිර්මාණ සාර සංග්‍රහය ස්කොලස්ටිකා" මංගල කලාපය ජනගත කිරීමද එහිදී සිදු වේ. මේ නිර්මාණ අංකුර දිරිමත් කරනු පිණිස නිර්මාණ සරණියෙන් උපුටාගත් නිර්මාණ කිහිපයක් මෙහි පළ කෙරේ.

.......................................................................................................................

පිය සටහන්

 

සියදහස් වාරයක්

පසුකර ගියත්

පුදුමයකි නන්නාඳුනන ලෙසක්

හැඟෙන්නේ ඇයි දැයි කියා

විසිපස් වසරක් පුරා

නිතර ගිය මේ ඉසව්ව

 

මේ සැප වාහනයේ

වේගය මඳකට අඩුකොට

දෑස් දල්වා

නැවුම් හුස්මකින් ළය පුරවා

බැලිය යුතුම තැනකි මේ

කුඩා කල මව සමග

නිතර ආගිය මේ ඉසව්ව

 

එදවස

තොරතෝංචියක් නැති කෑගැසීම් මැද

නා නා එළවළුවල නම් කියමින්

ඈ මොර දුන් මේ අපේ සති පොළයි

දවියේ මිහිරි මතකයන් රැඳි

නිතර ආගිය මේ ඉසව්ව

 

කාලයේ වැලි තලාවට වැසී

ගෙවී ගියත් බොහෝ කාලයක්

දැනේ තවමත් නොවෙනස්ව

අම්මාගේ ජීවන සුවඳ පෙර ලෙසින්

මැකී නැත තවමත්

අපේ පාද සටහන් ඇත අදත් ඉතිරිව

නිතර ආගිය මේ ඉසව්ව

 

සුමුදු ජයසිංහ

12 සී

.......................................................................................................................

 

සසරෙන් ආ මිතුරා

 

තරුකැට දිලිසන අහස් වියන මත

රෑඳුර එලවා එළිය විහිදුවන

කඩුපුල් මල්වල පිදුමට සැරසෙන

සාවි ඔබයි සඳ සාවි ඔබයි

 

අරුණෝදයේ මල් සුවඳට පළමුව

කුරුලු රෑන් සැම මවෙත එනු පෙර

රිවි අරුණ මා සිඹිනු පළමුව

දුක සතුට සැප අසා සනසන

ළඟින් රැඳුණේ ඔබයි සොයුරිය

 

මන්දාරම් මල් වැනි වසන්තයට

සැඩසුළං මඳ පවන කරනට

අඳුරු අහසේ එළි මවන්නට

හැකිය දෙව් ලියේ ඔබ නිසා

උපදින හැම භවයකදි

වන්නට පෙරුම් පුරන මම

හමුවෙමු ආයේ සංසාරේ

ප්‍රතිභානි ඉද්දමගොඩ

 

.......................................................................................................................

 

ආයෙත් යුද්ධයක්

 

ගිනි කාෂ්ටකේට රත්වෙච්ච

මූණේ සමහර තැන්

අදටත් පිච්චිච්ච

අපේ මතක ගුලිවෙච්ච

දවස් තිබුණා වෙඩි හඬට

හදවතම ගැස්සිච්ච

 

මායිම් ගම් කෙළවර

තල් ගහක් යට

මල් ඇහිඳින

සායම් තොල් වෙච්ච

පාරවල් තවමත් හැංගිච්ච

හිත දුවනවා යුද්ධයකට

අපි දෙන්නා තනිවෙච්ච

 

හිරුණි විජේරත්න

12 ඒ.

 

.......................................................................................................................

සුහුරු ලෑලි

 

මේ ලෝකය කියන්නෙ හරිම ඉක්මනට වෙනස් වන දෙයක්. හැම අලුත් දවසකම අලුත් ලෝකයක්. මොනව වෙනස් වුණත් ප්‍රතිපත්ති වෙනස් කරන්නෑ කියන අය ඉන්නවා. ඒත් වෙනස් වන ලෝකයට අනුරූපව වෙනස් නොවන අයට පැවැත්මක් තියේවිද?

ඉස්කෝලෙට සුහුරු ලෑලි (ස්මාට් බෝඩ්) සංකල්පයක් හඳුන්වල දෙනව කීවම අපි විශ්වාස කළේ නෑ. මීට කලිනුත් ඉෂ්ට නොවෙන පොරොන්දු දීල තිබුණනෙ. අපිට සුහුරු ලෑලි ගැන ආසාවක් තිබුණෙත් නෑ.

ඒත් මෙන්න බොලේ අද අපේ පන්තිවලට සුහුරු ලෑලි හයි කරලා. පුදුමයට පත්වෙලා අපේ කටවල් ඇරුණා. ප්‍රීති ගෝසාවෙන් පන්තිය දෙදරුම් කෑවා.

සුහුරු ලෑල්ල ගැන හඳුන්වා දීමකින් පස්සෙ වෙනද විදියටම වැඩ පටන්ගත්තා. සුදු ලෑල්ලෙං කරන්ඩ බැරි ගොඩක් දේවල් සුහුරු ලෑල්ලෙං කරන්ඩ පුළුවං. දවස අන්තිමේදි මං සුහුරු ලෑල්ලට කිට්ටු වුණා. වෙනදා සුදු ලෑල්ලෙන් හමන ජීවන පුසුඹ අද එහි නෑ. සුහුරු ලෑල්ල මලානිකයි. මට ඕනැ වුණේ සුදු ලෑල්ල ආපහු ගෙන්න ගන්න. ඒත් ඒක කරන්න බෑ. වෙනස් වන ලෝකය සමග වෙනස් විය යුතුයි. එහෙම නොවුණොත් පැවැත්මක් නෑ.

[අබ්දුල් උමාර් සහන් නෙත්මිණ]

10 ජී ශ්‍රේණිය

කොළඹ සහිරා විදුහල-

 

News Order: 
7
මාතෘකා