කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

පොත් සලකුණ

 

මලක් වූයෙමි මම

පර වී බිම වැටුණ

ඇහිඳගෙන ඔබ,

මුදුව සිප ගත්

 

සලකුණු කළා ඔබ වැදගත්ම තැන

ඔබේ දිවිදහමේ

අරුත හෙළි කළ

 

දූළි පොදක් වන්නට ඉඩ තිබිණි

නිතැතින්ම මා,

එහෙත් ජීවිතය යළි ලබා ඇත්තෙමි මම

දැනහැඳින පවතිනා යුරුව ගැන

මෙන්ම දිවිදහම ගැන දැනුම සමඟින්ම

(සමකාලීන නේපාල ජාතික කවියකු වන තාන්කා උප්රෙති විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි.)

තාන්කා උප්රෙති

වෙනස්ම ආකාරයේ දැක්මක් සහ ලේඛන ශෛලියක් සහිතව නිර්මාණකරණයේ යෙදී සිටින සමකාලීන නේපාල ජාතික කවියෙකි. දෙස් විදෙස් පුවත්පත් සහ සඟරා ඇතුළු විවිධ ප්‍රකාශන රැසකට සිය නිර්මාණ සපයා ඇති ඔහු කාව්‍ය සංග්‍රහයන් හතරක් සහ විචාර රචනා කෘතියක් ලියා පළ කර ඇත. කවියට මෙන්ම දෘශ්‍ය මාධ්‍ය නිර්මාණකරණයටද දැඩි ඇල්මක් දක්වන ඔහු විවිධ විදෙස් රූපවාහිනී නාලිකා ගණනාවක් සඳහා වාර්තා චිත්‍රපට නිර්මාණය කර ඇත. ආසියා ශාන්තිකර කලාපයේ විශිෂ්ටතම වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු විවිධ අවස්ථාවලදී සම්මානයට පාත්‍රව ඇත.

[අජිත් නිශාන්ත]

.....................................................................................................

 

 

 

යථාර්ථය සහ මායාව අතර දෝලනය වන සිතුවිලි සමුදායෙහි එක් පෙදෙසක් කවියට විෂය වෙයි. රූප සෞන්දර්යෙන් වශීකෘත මනස කටුක යථාර්ථය සමග ගැටෙයි.

එහි සංවේදනා රිද්මය කවියාගේ සූක්ෂ්ම නිරීක්ෂණයට හසු වෙයි. රූපකාර්ථවත් බස් වහර, සංක්ෂිප්ත බව සහ කලාත්මක ඒකාබද්ධතාව අතින් සාධනීය ගුණ සහිත කවියකි.

 

නග්න සඟරා ළඳක්

 

නග්න සඟරා ළඳක්

ඇතැම් දිගු රැයවල

හෙමි හෙමින් පා තියා‍‍

පෙනී නොපෙනී ඇවිදින

 

හද ලෙන්හි

ගුඪ පෙදෙස්

ඉසියුම්ව

කොනිහන

 

සේපාලිකා

නෙතගින්

හැලී අවසාන කඳුළද

සුසානයකිය ගෙමිදුල

 

හෝරා කීපයක් ගිය තැන

හිරු නැගෙන්නට පුළුවන

එතෙක් මා හා

ඈට ඉන්නට පුළුවන

 

පුන් පියයුරක්ද අතැතිව

ගිනි ලනු රිසින් පඬිපුර

පත්තිනි රුවක් පැමිණේ

අලුයම මගේ ලොව වෙත

චින්තක සමන් හේරත්

.....................................................................................................

 

විස්සයි විස්ස

 

රට කජු මල්ල විස්සයි

රසයි ඇත්තයි

බෝතලය පනහයි

සීතල වතුර සිසිලයි

 

හිරිමල් වියේ පසුවෙයි

නුඹටත් තාම විස්සයි

දාන වෙට්ටුව විස්මයි

දැක්කම පපුව පිච්චෙයි

 

ඇඟ-පත, රෝද හතරකි

පපුවක් නොමැති බසයකි

ලිස්සනසුලු ජීවිතයකි

නිමක් නැති හරඹයකි

 

මගීන් අතර තෙරපෙයි

නොරිසියන් පුප්පයි

පා පුවරුවෙන් පැන්නයි

මල්ලිට බුදුන් සරණයි !

 

පොත පත අතට අකැපයි

පිණි දූවිල්ල අගුණයි

එය නුඹට නොසිතෙයි

ඔය ජීවිතය තිත්තයි

 

සොච්චමයි එදා වේලයි

නුඹ හෙටත් මගමයි

කතන්දර නම් බොහොමයි

විස්සයි විස්ස ළග එයි

සු.ප්‍රි. සමරසිංහ

 

.....................................................................................................

හැමදාම තෙත මතක...

 

චිරි චිරිය මැඩ

සුළඟ දෙන්නී ඇගේ නොඉවසිලි හඬ

දිග හැරී මැළි කඩයි කුඩ

කළුපාට ගනියි වැඩි ඉඩ

 

දිය නාන කුඩයක් ඉහළින්

රිදෙන ඔළුවක් ඊට පහළින්

තෙත හිතකුත් ඒ යටින්

දැන් ඔබට පෙනෙයි යහමින්

 

කාලයේ කාවන්

සිදුරු කළ මතකවල හැටියට

මං කියලා කවුදෝ එක්කෙනෙක්

ඒ දවස් වල අවු වැසි යට

මේ කොහේ කොතැන හරි හිටියා

 

ඉස්සරම දවසක

මහා වැස්සක් වැටී හවසක

මං නමැති ඒ කෙනා

කොතැන හරි මට ම මග හැරුණා

(ඒ හිතේ හැටිත් දැන් මතක නෑ...)

 

ඒත් තවමත් වැහි වෙලාවට

හොරැහින් බලා වටපිට

තෙත මතක වගයක් දියවෙනවා තාලෙට

(වැහි ඇතත් නැතත් නිතරෝම

ඒ මතක තෙතයි හැමදාම....)

 

මොර සිඳිනවයි නා කපනවයි කියන

බොරු ටිකත් ගොතාගෙන අඬනකොට අහස

මතක බිඳුවක් අරන් ඇහැක අග්ගිස්සට

මඩ වතුර අතරෙන් පුරුද්දට වාගේ

අදත් මං...

 

හො

වා

 

මා.... ව..... ම.....

දේවිකා මධුවන්ති ගෝවින්නගේ

 

.....................................................................................................

 

පලා යන හිත හදාගන්නට

 

පලා යන හිත හදාගන්නට කියාදෙන්නේ නෑ කියා

අහිංසක කවි බැනුම් අහනව බොහෝ දිනවල රෑ පුරා

මවාගෙන බෑ පරාජිත බව අහිමි වී ගිය පසු හඬා

සිතාසියකට වුවද පුළුවනි දිනවන්න නඩුවක් පවා

 

පාට සුදු කඩදාසි මත ලියූ පොරොන්දුත් කඩ වූ වෙලේ

තීන්තත් විසිරී ගිහින් ඇති පෑන් තුඩගින් ඩයරියේ

කාන්දම් අකුරින් ලියුවත් නොයන බව හැර මන්තරේ

හාස්කම් බිඳ නොකියා යන්නේ හොඳම බිල්ලයි තොයිලයේ

 

මාත් හෙමිහිට වසා ඇස් දෙක බලා සිටියෙමි නුඹ දෙස

ඈත් කර කළු වලා අතරෙත් සොයා බැලුවෙමි නුඹෙ වත

අඳුරු කරගෙන වහින වැස්සට

තෙමි තෙමී මං හිටියට

දෑස් හැරලා සොයද්දී නුඹ සිටියේ වෙනකුගේ කුඩයක

කවිඳු අමරතුංග

 

.....................................................................................................

 

රිප්ලයි

 

රිප්ලයි නැති

මැසේජ් එකක්...

ඒකත් වෙනමම

ආර්ට් එකක්...

හදවතක් රිද්වන

ප්‍රේමයේ සලකුණක්...

රිදෙන තැන හැර

වෙන තැනක නැත ප්‍රේමයක්...

ලක්මි කාංචනා

 

.....................................................................................................

 

දැක්කාම

 

සිසිල සාරය අරන් ගඟක් පල්ලම් බැස්සාම

මහ ගස්වලත් කඳුළු පේනව පොඩ්ඩක් රැස්සාම

වෙන්ව යන නමුත් ඇවිදින් පිණි ඉස්සාම

කන්දක් තුටු නොවෙද ආයෙත් වැස්සාම

 

පිණි කැට විසිරිලා ගියමුත් තුරු හිස් ආසාම

බලාපොරොත්තුය ඇත්තේ නටුවක් පාසාම

උණුහුම දිදී රැක්කත් හිරු තතු නොඅසාම

උස් කඳු මුදුනත් තෙමෙන්න ආසද මේසාම

 

ශේෂව යා නොදී ප්‍රේමය රැක්කාම

කඳුළු පිරෙන මුත් හීනය දක්වාම

මහමෙර වුවත් සඟවා පපුවත් එක්කාම

සිනාසිය හැක තවම නුඹ දැක්කාම

වරුණ උදේශ් ජයසිංහ

 

.....................................................................................................

 

ගන්ධබ්බ

 

පාළුවක් කියන්නෙම අඳුර මැද දිශාවක්

ආදරය හොයන්නම ඉපදිච්ච හැඟීමක්

ශේෂ කඳු අතරමැද මීදුමක් නැගෙන්නෙම

සඟවන්න තවත් එක පිදුම නැති කතාවක්

 

ජීවිතය හොයන්නෙම නවතින්න තලාවක්

මාරුතේ ගලන්නෙම හොයාගෙන නීවීමක්

කාලයක් අතරමැද තත්පරත් ගෙවෙන්නෙම

දරන්නට වෙන්න ඇති නමක් නැති හැඟීමක්

ලසිත ඒකනායක

 

.....................................................................................................

 

කැලණි

රුදු ගං රැජින

 

සොහොන් කොත

නිහඬ බව දරාගන්නට බැරිය

නුඹේ හඩ දෙසවනේ

පුරා රැව් දෙන නිසා

 

කාලයේ වියරු වැසි

ඇද හැලුනු මොහොතකම

නුඹ ගසා ගෙන ගියා

කැලණි රුදු ගං රැජින

 

නුඹ සමග දිනක මා

සැඳෑවේ ගං ඉවුරේ

බලා සිටියා නේද

සිනා වී ගඟ දෙසම

 

එදා නුඹේ සිනාරැලි

ගඟ කදිම බව නේද

එ සිනා අද දවයි

මා වෙළාගෙන අදුර

ඉරේෂා දුලාංජලි කල්දේරා

 

 

 

මාතෘකා