කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

මුතු බෙල්ලකුගේ හදවත

ඉඩක් ලද තැන ඉන්නට
මිලක් දුන්නත් හිතකට
මෙළෙක් වෙනවද හිතවත
ගලක් යට වී තනිව හිඳිනා
මුතු බෙල්ලෙකුගේ හදවත

පයට පෑගෙන වැලි කැට
මතක් කර දෙන විස්තර
කඩදාසිවල ලිව්වට
පලක් වෙනවද නැතින් තැන හිස්
රූල් තිබ්බොත් හිතලම

දවස පැය ලෙස ගෙව්වම
මතක වේ නම් අමතක
කිමද මෙතරම් තත්පර
හැඬෙව්වේ හිත පළුදු වෙනකන්
රැයක් ගානේ ඔච්චර


[කවිඳු අමරතුංග]
-------------

ගොවි වලප

ඉල්ලා වැහි වතුර දෙවියන්ගෙන් යලට
දුන්නා ගං වතුර යට වෙන්නම මහට

කොයි අත වේලි බැන්දත් මොන ඵල අපට
වැව ඉරිතලා වේළෙයි වැහි නැති කලට

වනනව සොබාවය ගම ගැන හරි යසට
ඇවිදින් බලනවද කවියනි අපෙ ගමට

පාවෙන ඇටසැකිලි හත්පත්තුවෙ අවට
ඔටුනු ගැළපේද මස් නැති මේ හිසට

දරුවන් ලැබෙන්නේ අපෙ ජාතියෙ පිනට
බඩගිනි දැනෙන්නේ උන් පෙර කළ පවට

පුළුවන් එවුන් ගාටන විට සෙයිලමට
දිරකඩ ඉපල් මුහුවෙයි ගම්වල පසට

මොන දියුණුවක් ගැන දෙසුවත් උං රටට
සුසුමක් පමණි ණය ගැන අහසක් උසට


[සීවලී අත්තනායක]

---------

වැස්ස

කීරි ගැහෙනා සිහින අර ගෙන
වැස්ස දොරකොඩ වාඩි වී ගෙන
මොනවදෝ ඉගියක් කියා ගෙන
මදෙස බලමින් සිනා සී ගෙන

ඔච්චමට නොවැ සිනා සෙන්නේ
කදුළු නොවෙදෝ ඒ ගලන්නේ
ඇයිද මේ ලෙස දුකක් දෙන්නේ
රිදෙන තැන එය බව නොදන්නේ


[ලක්මි කාංචනා]

---------

මිථිලා

යටිබඩ තාම රිදෙන්නැත්තං
කපාපු කෙස්වැටිය වැවී ඇත්තං
පිලිස්සුම් පාරවල් පේන්නැත්තං
කනත්තට එන්න වැඩක් නැත්තං

ඇහැළ මල් සුදු පාට ගාල ඇත්තං
ලේ පාට පාවාඩ එළා නැත්තං
පහන්තිර පිලිස්සුම් ගඳ එන්නෙ නැත්තං
ඉඹගන්න ඉඩ තියේ කවුරුවත් නැත්තං

රතු පාට ඉළුක් තෙල් කුප්පියක් ගත්තං
කහ පාට වමනයකි හීනියට කැස්සං
කළු පාට කාරෙකක් එවිට කර වත්තං
පෙට්ටියක වැහැව්වා එකතු කර බොත්තං

මාධවී මන්දිරී අඬන්නේ නැත්තං
සුන්දරී ගින්දරී ඇවිල්ලා නැත්තං
අන්දරින් ගන්දරින් නෑයො හෙම වෙත් නං
පෙන්නන්න එපා ඔය පැලැස්තර විස්කම්

හරියටම හතරට හන්දියෙං බැස්සං
ඒ එන්නෙ මං තමයි කනත්තට දක්කං
මල් දෙකක් අරං මයෙ පෙට්ටියට ඉස්සං
මතක් වේවී එදා කච්චේරි අස්සං

අනන්තයි අපමණයි අනාදර දස්කං
අනාථයි සනාථයි ආදරේ වත්කං
මුවන්ටයි කොටින්ටයි එක ඇඳක විට්ටං
හදන්නට දෙන්නෙපා දී ඇතත් වට්ටං

මිථිලා... කනත්තට එන්න වැඩක් නැත්තං..!!!


[සජිත් පට්ටියකුඹුර]

---------

බාසුන්නැහේගේ කවිය

ගල් එක්ක වැලි එක්ක ඔට්ටු වුණ අත් දෙකට
මද්දහන දැනුණෙ නෑ උඹ තරම් සිනිඳුවට
සීරුවට හැදුවාට මාලිගා ඇත්තන්ට
හිල් තහඩු වහල යට කොහෙද මට ඇඳ මෙට්ට

ලඹ කැටේ පේළියට ගඩොල් පෙළ තිබ්බාට
පාලු කණ දැක්කාම තවම හරි නෑ හිතට
කඩ දිගේ ඇවිද්දිදී ගවුම් රෙදි දැක්කාට
පඩි දෙන්න අද එන්න බැරි වෙයිලු ලොක්කාට

ලීයේ මට්ටම අරන් සුද හැඩට මැද්දාට
අළු හුනුත් පරාදයි මගෙ මැණිකෙ උඹෙ සුදට
පලංචියේ උඩ යද්දී මට බයද ඇහුවාට
එහෙම නොගිහින් කොහොම හඳ බලන්නද රෑට?

වැලි හැන්දටත් වැඩිය සිනිඳු උඹෙ අත් දෙකට
ගොරහැඩි ද මගෙ අත් මැණික ඔය සුදු බඳට?
මේ තරම් කළුවරෙත් දිළිසෙනා ඇස් දෙකට
ඉතිං මොකටද ආයේ තෙල් පහන් මේ රෑට...


[තිලිණ ගාල්ලගේ]

------

කෙටිම කවියක්

කහ සිවුරුත්
පාටපාට වතුවල
වෙළෙනවා
පරණ වැල් උඩ


[බෝදාගම සුමන හිමි]

-------

කවියෙහි හිස්තැන්

හිමිදිරි උදෑසන
පළමු වාහනය හැඬලීමට මොහොතකට පෙර
වලාකුළු සියල්ල නිසලය
උඩු සුළඟේ ගසාගෙන ආ ගගනගාමියෙක්
අහස මැද බර කල්පනාවකය
බරපතළ තල්මසුන් රංචුව
වලාකුළු යට තවමත් නිදිය

තවමත් පිරී නැති නගරයේ
මා පමණක් තනිවමය
කවියක අඩු වචන පිරවීමට
මතකයක් සොයමින්ය

මතකයන් කියන්නේ මොනවද?

ජීවිතය නම් සිතියමේ
නැවත යා යුතු යයි රතු පෑනකින් ලකුණු කළ
කොදෙවු කොතරම් විරලද?
ඒ මග ලකුණු සොයමින්
කොතරම් දුරක් ඇවිද යා යුතුවෙද?
මට බාල ලීයෙන් කළ දෙපා ඇත
දුරගමන් මට අගුණය

සෙවුම අතහරිමි

මොහොතකින්,
තල්මසුන් අවදිවී ගී ගයනු ඇත
දැහැනෙන් මිදුණු ගගනගාමියා
ෂටලය සොයා යනු ඇත
දවස ඇවිදින් හිතට වද දෙනු ඇත
කවියෙහි හිස්තැන් එලෙසම තිබෙනු ඇත


[තරින්ද්‍ර ගලහේන]

--------

කළු කුහර


සඳක් රැයකට අරන් කුලියට
තියාගෙන වෙරළක ළඟින්

හෙමින් ළං වුණි බලා වටපිට
නොදුටු සඳ රැස් දුටු රිසින්

හිත ම දිය වී ගැලුවෙ දුටු විට
ගතේ වූ මහ කැළලකින්

රැයක මූසල ඇයගෙ රැස් වට
සොරාගෙන කළු කුහරෙකින්


[මලිත් දිලූෂ නානායක්කාර]

---------

විවෘත ලිපියක්


පෙම්වත් හිත්වලට පෙම් පත් ලියන ඔබ
වැළකිය යුතුය කඩදාසි ගබ්සාකිරීමේ වරදෙන්
බෙලහීන වුවද ඔබේ පෑන් තුඩ,
බලා තරු දෙස, විප්ලවය සිදු වන අයුරු
කියාදෙන ඔබ!
උගන්වන්නට කලින් දැනගන්න ඔබම
විප්ලවය සිදු වන විට
තරු පෙනෙනු ඇති බව ඔබටද.
අත දරා ගිනිඅවිය, සන්නද්ධව සිටින ඔබ
හරවන්න එහි බටය සතුරා දෙසට
නැතහොත් කෙළින්ම ඔබ වෙතට,
සාදයක්, සෙල්ලමක් හෝ ගලා යන ගඟක්
නොවන බැවින් විප්ලවය.
බිහිසුණු ගැටුමකි එය පන්ති හා අදහස් අතර
මරාදැමීම හා මරුමුවට පත්වීම මෙන්ම
මරණය ජයගැනීමද ඇත එතැන.
කටු පිරි පතොක් පඳුරක් විලස අද
වැඩී ඇත මහා කවියකුගේ මළසිරුර
සමාජ දේශපාලන දේහය වසාගෙන
පවසන්න එයට, කවියාගේ යුගය පසු කර
වෙනත් බිමකට පිවිස ඇති බව අප,
වෙනස් වී ඇති බව යුදබිම
අපේ අයිතීන් වෙනුවෙන් සටන් ඇවිළෙන.


(විශිෂ්ට පන්ජාබි කවියකු වන පාෂ් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි.)


පාෂ්


කවියකු මෙන්ම විප්ලවවාදියකු ලෙසද ප්‍රකට ඔහු 1950 සිට 1988 දක්වා වූ කාලය තුළ ජීවත් විය අව්තාර් සිං සන්ධූ නම් වූ සිය සැබෑ නම වෙනුවට පාෂ් යන නමින් නිර්මාණකරණයේ යෙදුණු ඔහු පුවත්පත් කලාවේදියකු ලෙසද කටයුතු කළේය. ග්‍රාමීය පසුබිමක හැදී වැඩුණු අයෙකු ලෙස ලද අත්දැකීම් ඔහුගේ ලේඛන ජීවිතයට විශාල වශයෙන් පාදක විය. අයුක්තිය සහ සමාජ අසාධාරණය දැඩි ලෙස හෙළා දකිමින් දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කළ ඔහුගේ මුල් කාලීන කාව්‍ය නිර්මාණ සියල්ල විරෝධාකල්ප ස්වරූපයෙන් යුතු වූ අතර, පසු කාලීනව ඔහු ක්‍රමයෙන් ජීවිතයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරන සෞන්දර්යාත්මක සහ දාර්ශනික අදහස් සහිත කාව්‍ය නිර්මාණ රචනයට යොමු විය.
[අජිත් නිශාන්ත]

News Order: 
3
මාතෘකා