කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

තුරු හිසක ඇස අග

 

නෙක කඳුවැටි අතර

සිතුවිලි ගිරග මුදුනත

මංමුළා වූ මතකයකි එය

තටු සිඳී බිම වැතිරුණ

 

සෙවණැලි අතර කඳු මත

කදෝකිමි එළි දිලේ තැන තැන

පොරවාගෙන අදුර

හන්තාන ඉන්නෙත් බුම්මාගෙන නිතර

 

උස් විලෝගස් යට

නිදිකිරයි තෙත බරැති කොළ

සුමුදු මල් පෙත්තක

ගැවසී සිටී සිසිරයේ සිහිනය

 

දිගටි අතකින් සීරුව

දුහුල් සිතකිය ඉරි අඳින ලද

යන්තමට යන එන

කුරුටු බලියකි එදා මතකය

 

හන්තානට වැඩිය

උසැති ගිරිහෙල් කුලක අබියස

මහවැලියට වැඩිය

සීත නිල්දිය දහර කොහිවෙද

 

අලුත් ඉර එනවිට

දියවීයාවි සුදු හිම

ඇගේ රන් කෙස් රොද

රැදී ඇත තුරු හිසක ඇස අග

පවන් අජන

......................................................................................................................................

 

හොඳම කවිය

 

සිත්තරකු පින්සලක ආධාරයෙන් සොබාදහමේ පැහැය ජීවන අරුතකට මුසු කිරීම සඳහා වර්ණ හසුරුවන්නා සේ පවන් අංජන බස හසුරුවයි. ප්‍රේම විප්‍රයෝගය පිළිබඳ අත්දැකීම් මාත්‍රයක් බසෙහි වර්ණය යොදාගෙන චිත්තරූප ගුණය සහිත කවක් බවට පත් කිරීමට ඔහු සමත් වෙයි.

......................................................................................................................................

 

 

නිවන

 

අවසන

නිවන

මට

හිමි විණ

 

පෙරළ පෙරළා නොයෙක් නම් හිසින් යුත් පත පොත

පුරව පුරවා බඳුන් හිස් වන හැම ඇසිල්ලකදිම විත

වෙහෙස සහ අඩ නින්ද අරක් ගත්තා මිසෙක හිත මත

අහස පීරන රහස නොදුටුවා සත්තකයි ඔව් මිත

 

ඇතැම් දිගු රැයක ඇරඹුම

කෙටි නින්දක් වග

නිදිබර ව සිතුවෙමි

 

වලාකුළු ඉර ඔබා මහ මුහුදෙ ගිල්වන සැදෑවක

මාස් ශුද්ධිය හැදුණු හඳ හෙමින් එබෙන විට ගැහී වක

බෝ රහස් ලියැවුණා පැත්තකින් බලා සිටි තරුවක

ඒ වුණත් හබල නැහැ පාවෙන්න බැරිවුණා ඔරුවක

 

රට කොහොඹ නටුවකින්

ගිලිහුණු කොළයක්

හීං සීරුවෙ මා අසල පතිත විය

 

ඉතිං අවසන, හුඟක් දේ මඟ හැරී නිවන මට හිමි විණ

නළල මත ඈ තැබූ කිලිපොළන හාදුවට දහක් රැළි

එහි මැවිණ!

කසුන් සමරතුංග

 

​​​​​​​......................................................................................................................................

 

 

කාලය පියඹා නොයයි

 

පියඹා යන්නේ කාලය නොවේ.

මිනිසුන්ය, සියලු ජීවින්ය ලොවේ

සැම තැන

 

දුඹුරු සළු හැඳි වලාකුළ පියාඹයි ඈතට

සමුදෙමින් මා පියාණන් හට

හිඳ සිටින විට ඔහු සිතුවමක් විලසට,

වාරුකරගෙන හිස බිත්තියට

ආලින්දයේ අප නිවෙස ඉදිරිපිට

 

පසුවදා, හරවා සිය පසුපස අප දෙසට

පියඹා ගොස් මා පියාණන් ගිලෙයි

සිතිජයට පහළින්

බැස යන හිරු සමඟ

 

පත් හැළෙයි

සමුදෙමින් වැලපෙන තුරට

ඉනික්බිති ගස් කපන්නන් පැමිණ පෙරළා දමයි ගස

සමුදෙයි එය

ඉපැරණි පසට

එය හැදී වැඩුණු

 

එක්වරම පෙනෙයි

නිවෙස්, ගංගා, කැලෑ, කුඹුරු කෙත්

වගුරුබිම්, අඹුදරුවන්, හිතමිතුරන්, නෑසියන්

අනන්ත රූ ප්‍රතිරූ, කාලය විසින් නිමවන ලද:

නොනැවතී හැල්මේ ඉදිරියට දිව යන

අඳුරට අතරට වැදී සැඟවෙන

 

ඒ අඳුර

ඔබේ ඡායාවමය

ඉදින් සිටිය යුතුය ඔබ නිසැකව

පියඹා යන්නේ අප අසරණව,

ඇයිදැයි, කොයිබදැයි කියා

 

(ප්‍රකට ඉන්දියානු කවියකු වන සීතාකාන්ත් මහාපාත්‍ර විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

 

​​​​​​​......................................................................................................................................

 

වවුළුව

 

දුප්පත් මහල්ලෙක්

ක්ෂීරපායී ළදරු වවුලෙක්ව

දෑතින් බදා

හිනා වෙන අවසරය

 

සටහන් කොට ගත්

කාචධාරී ඇතැමෙක්

කහවනු ඉපැයුවේලු

නම්බු නාම ලැබුවේලු

 

පත පොත සඟරා

මහල්ලා නමින් ඇරුණේලු

සිත්තරුන් ඔහු

යළි යළිත් ඇන්දේලු

 

කිරි වවුළු සිනා කැන්..

ගීතයට නැගුවේලු

කිරි මවුන් පවා

එහි රැඟුවේලු

 

වවුල් නැටුම

අවසන් වටයට තේරුණාලු

වවුල් කවි

හැමතින්ම ලියවේලු

 

දවසක් රජ සෙනග

දෙදෙනාම කුදලැවලු

වවුල් පැටියා පරිවාස බාරයෙලු

මහල්ලා... ඝාතනය කළාලු

 

වවුල් ගේ දොර කුඹුක

හකුලලා උන් ගියෙලු

වවුල් හප වවුල් බෙටි

කලාපුර අධිපතිලු

 

සජිත් පට්ටියකුඹුර

 

​​​​​​​......................................................................................................................................

 

 

ආදරය කියන්නේ...

 

ආදරය කියන්නෙම

අත් හැරීමක් බව

දැන දැනත්

ළඟ රැඳීමක්ම ද?

 

නොහිතනා මොහොතකදී

හොරෙන්, රහසින්

ඇස් දෙකක් ළඟ රැඳෙන

පොඩි කඳුළු බිංදුවක් ද?

ලෝකයට පෙනෙන්නට

අත් පටලවා යනෙන

හිතේ හිරවෙච්ච

කවි කතා ගොන්නක් ද ?

 

ආදරය කියන්නෙම

එක් වූවන්ට උත්සව තනන

වෙන් වී ගිය හදවතක

පුංචි හරි ගැස්මට ද?

ලක්මි කාංචනා

​​​​​​​......................................................................................................................................

 

ආචාර්ය සීතාකාන්ත් මහාපාත්‍ර

ඉන්දියානු කාව්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරිපෙළේ කවියකු, විචාරකයකු මෙන්ම විද්වතකු ලෙසද ඇගයීමට පාත්‍රව සිටින ඔහු සමාජ මානවවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියකුද වෙයි. ඔරියා සහ ඉංග්‍රීසි යන භාෂා ද්වයෙන්ම ලිවීමේ හැකියාව ඇති ඔහු කාව්‍යකරණයේ යෙදෙන්නේ සිය මව්බස වන ඔරියා බසින් පමණි. යමෙකුට කවි ලිවිය හැක්කේ තමන්ට වඩාත් දැනෙන භාෂාවෙන් පමණක් යැයි විශ්වාස කරන ඔහු මේ වන විට ඔරියා බසින් රචිත කාව්‍ය නිර්මාණ සංග්‍රහයන් පහළොවකට අධික ප්‍රමාණයක් මෙන්ම ඉංග්‍රීසි බසින් රචිත විචාර කෘති, සංචාරක සටහන් කෘතියක්, විවිධ විෂය කරුණු ආශ්‍රිත කෘති තිහකට අධික ප්‍රමාණයක් සහ පරිවර්තන කෘති කිහිපයක්ද පළ කර ඇත. ඔහුගේ කාව්‍ය නිර්මාණ විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත. වර්ෂ 1937 සැප්තැම්බර් 17 වැනිදා ඉන්දියාවේ චිත්‍රෝත්පලා නදිය අසබඩ මහාංග නමැති ගම්මානයක ඉපදී හැදී වැඩුණු ඔහු ඉන්දියාවේ විවිධ අධ්‍යාපන ආයතන කිහිපයකින් මෙන්ම විදෙස් විශ්වවිද්‍යාල දෙකකින්ද අධ්‍යාපනය ලැබීය. කලක් විශ්වවිද්‍යාල ගුරුවරයකු ලෙසද කටයුතු කළ ඔහු ඉන්දියානු පරිපාලන සේවයේද නියැළී සිටියේය. සිය කාව්‍ය නිර්මාණ සඳහා සාහිත්‍ය ඇකඩමි සම්මානය, ඥාන්පිත් සම්මානය, පද්ම භූෂන් හා පද්ම විභූෂන් සම්මාන ඇතුළු විවිධ ඇගයීම් රැසකින් ඔහු පිදුම් ලබා ඇත.

[අජිත් නිශාන්ත]

 

 

 

 

මාතෘකා