කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

 

ප්‍රේමයේ තතක්...

 

කිති කවන වචන මං ගීතයක් කෙරූ විට

නුඹෙ හඬින් ගයයි එය හැඟීමක් එකතු කොට

ඉගිලුණා කිරිල්ලිය නොවිඳි රස විඳින්නට

ඉඩදෙන්න ප්‍රේමයේ තතක් පිරිමදින්නට

 

ලක්මි කාංචනා

-----------------------------------------------------------------------

 

ඔබේ ඒ ප්‍රේමය

 

හිමිකරගෙන සිටිමි මම ඔබේ ඒ ප්‍රේමය

පොළෝ කුහරය පුරවන උතුරා යන තුරුම,

පුරවමින් මා දෑස, පුරවමින් මගේ හද,

එලෙසින්ම පුරවමින් මා දෑත.

දරාගත නොහැකි තරම් වේ මේ සොම්නස,

ඒසා දැඩි බැවින් මේ සෙනෙහස

රන් කිරණ විහිදන හීසර සදිසි පහසින්

පිබිදෙයි මල් කැකුළු රහසින්, තණපත් සේම විගසින්

ම’හද තුළ දිළෙමින්, පුදයි එය මිණි බැඳි යසි’සුරුත

එබැවිනි මා පොහොසත්, මගේ සතුට නොමවේ දුරු

නිබඳ නවමු පිළිරූ පිරි, මෙලොව පුදයි මට ගරුසරු,

හරසර පුදනා විලසින්, සුවඳ මල්වලට දී මුවරද සුමියුරු.

දිවා කල හිරු එළිය, රැයේ ගෙවෙන සැම මොහොතකම,

මුසුව පැයෙන් පැය ඔබ පෙමෙහි සෑම’කුරක් සමඟම, බැස යයි.

නිබඳ නවමු පණිවුඩ මට ඇසෙයි...

පිරී යයි ම’හද - ඉදින් පබදිමි පෙමෙන් මගේ පිළිතුරු හසුන.

සැනසෙමින් මහා නගරය වෙත ඇදෙන ගඟ දියෙන්,

මේ වලාවෙන් වලාව සුමුදු තෙත් සුළඟෙන් සුසැදි

රැගෙන එයි මේ පෙම් හසුන්, ගලෙන යයි යළි දුර ඈත

නොසන්සුන් හදවත වැඩෙයි බැතිබරව

අවිවාහක දැරියක විලස,

ඉදින් රිසිය පබඳින්නට යළි යළිදු

නිබඳ නවමු පණිවුඩ ප්‍රේමයේ හා රහස් හැඟුමන්වල...

පිරෙයි හදවත තුටින්, වැඩෙයි සුවිසල් විලස,

ඉදින් රඳාගෙන සිටිමි මම එබැවින්

නැසෙනසුලු පොළොවෙන්, සිතිජයේ දුර ඉමෙන්ත

හැඟුම්බර, දිදුළනා, ඔබේ ඒ ප්‍රේමය.

 

(ප්‍රකට බංග්ලාදේශ කිවිඳියක වූ කේදර්නාත් සූෆියා කාමාල් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

සුෆියා කාමාල් (1911 - 1999)

වර්ෂ 1911 ජුනි 20 වැනිදා බංග්ලාදේශයේ ශාසෙතාබාද් නමැති ප්‍රදේශයේ වංශවත් පවුලක උපත ලද ඇය විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලැබුවාය. ඒ වන විට එරට දැරියන්ට පාසල් අධ්‍යාපනය තහනම් කරනු ලැබ තිබිණි. එබැවින් නිවෙසට ගෙන්වන ලද ගුරුවරුන්ගෙන් බෙංගාලි, හින්දි, ඉංග්‍රීසි, උර්දු, අරාබි, කුර්දිස් හා පර්සියානු වැනි භාෂා හැදෑරූ ඇය පසු කලෙක නිර්මාණකරණයට යොමුවූයේ එසේ ලබාගත් භාෂා දැනුම උපයෝගී කරගනිමිනි. විශිෂ්ට ප්‍රතිභාවක් පළකළ ජනප්‍රිය කිවිඳියක මෙන්ම ස්ත්‍රීවාදී නැඹුරුවක් සහිත සමාජ දේශපාලන ක්‍රියාකාරිණියක ලෙසද ප්‍රකටව සිටි ඇය 1950 ගණන්වලදී බංග්ලාදේශයේ ජාතිකවාදී ව්‍යාපාරයට සක්‍රිය දායකත්වයක් ලබාදුන් අතර නිදහස් බංග්ලාදේශයේ සිවිල් සමාජ නායිකාවක ලෙසද කටයුතු කළාය. දිගු කලක් අඛණ්ඩව සාහිත්‍ය නිර්මාණකරණයේ නියැළෙමින් කලක් කාන්තා සඟරාවක සංස්කාරකවරිය ලෙසද කටයුතු කළ ඇය 1999 නොවැම්බර් 20 වැනිදා ඩකා නුවරදී මිය ගියාය.

[අජිත් නිශාන්ත]

 

හොඳම කවිය

 

කන්ද රූපකයක් කොට ගනිමින් මිනිස් දිවිය පිළිබඳව උපේක්ෂා සහගත බැල්මක් හෙලන මේ කවියෙහි විශේෂත්වය භාෂාලංකරණයෙහි ඖචිත්‍ය ගුණයයි.

කිවිඳිය සමස්ත රූපකය කේන්ද්‍රකොට ගනිමින් කඳු සිරසට සමීප රූ දසුන් චිත්‍රගත කරයි. සරල මටසිලිටි බස්වහර හා කාව්‍යෝචිත රිද්මය වැඩෙන කවි මඟක සලකුණුය.

 

කන්දක උරුමය

 

මේ කුළු ඇවිත් ඉඳහිට සිප සැනසීම

මීදුම් වලාවන් සියොලඟ දැවටීම

පවනක් ඇවිත් රහසින් පෙම් බස් කීම

කඳු සිරසක් මතක වළලන්නේ කෝම

 

අසමින් වසත් කල විහඟුන් ගුණ කථන

සිටියත් නිසල වී ඔය විදියට ඔතන

උන් හා චාරිකාවක් යන්නට පතන

කඳු හිත වැරදි නෑ උරුමය ගැන තැවෙන

 

සියවස් ගණන් අහසට නෙතු යොමාගෙන

ගල් වී ඉඳීමත් සාපෙකි නොසෑහෙන

පහලම දෙණි වුණත් සාරය උරාගෙන

වටිනාකම කිමද මහ කන්දකට දෙන

[කෝෂිලා සෙව්වන්දි]

 

--------------------------------------------------------------------------

 

දුරු රටකින් ආ හසුනක්....

 

ඇණවුමකි දුරුත්තට ලැගුම්හල් විමසන

දුරකථන හා විදුලි රැහැන්වල ඉඩ ගැන

සීත හිම වැටෙද්දී පෙරදිගට පියඹන

කුරුල්ලනි දැන් ලැබුණේ නුඹ එවූ ලියමන

 

නිසි කලට නික්ම යන මේ සොඳුරු වියමන

කවුරුන්ද හැදුවේ නුඹලාගේ කාලසටහන

මෙහෙන් තිබු කාලසටහන දැවී හළු වින

නුඹලා දන්නවද මෙය ගොඩබිමකි ඇවිළෙන

 

සිතියමක් නැතත් අත මං ලකුණු දැනගෙන

මහ පොළොව පාර වැරදුණේ නැති කිසි දින

කුරුල්ලනි නුඹලා දන්නවා නම් අපි ගැන

මහ පොළොව සිතියමකි අපට මඟ වැරදුණ

 

පියාපත් බර පමණි නෑ කිසිත් ගෙන එන

අපි වගේ හිටියනම් කොටු පවුරු බැඳගෙන

එන්නේ කොහොමද මෙහෙම අතැර ඒ අභරණ

එහෙම නම් පිරිසක්ය අපි එකට වැළපෙන

 

යළි සීත කලෙක හමුවන නොවන එක ගැන

කියන්නේ කොහොම මේ ලෝකයකි කැරකෙන

පියාපත් දෙකක් හැමදේම දුන් එක ගැන

අහගන්න තියේ මට නොපමාව එනු මැන

ඉන්ද්‍රා ලියනගේ

 

---------------------------------------------------------------

ඇහැරෙන්න

 

අලුයම සීතලය

නමුදු

හදවත් ගිනියම්ය

තාලෙට හිනැහෙන

මුනිනතට නිදන නුඹෙ

කොපුලක් රතුවෙන්න

සිපගන්න - ඇහැරෙන්න

දෙතොලගින් නොනවතින්න

හදවතත් සිපගන්න...

ඉතිං

නුඹ ඇහැරෙන්න.....

නාලක පෙරේරා

---------------------------------------------------------------

 

ඇගෙන් පිළිතුරක් නැත !!

 

සිතුවිලිවලින් තොර වැස්සකි

මුකුත් නොකියන

කරබාගෙන වහින

 

මඟ දිගට පිපෙන වැහිමල්

වාහනවලට තැළෙයි

 

කුඩ දෝත යටින්

ඉවතට පනින තැන්වලට

දියබිඳු සෙමින් අනියි

 

පහන් කණුවල ඇස්

වලාකුළුවලින්

ඉල්ලගත් කඳුළින් අඬයි

 

හිත

සැක හිතෙන තරමට නිහඬයි

සවන් පත් වටා ඉඳගෙන

මන්දගාමී ගීයක් අසයි

 

ඇගෙන් පිළිතුරක් නැත !!

තරින්ද්‍ර ගලහේන

 

 

 

අඳුරෙ රැඳුණු පෙම

 

වැළලිය යුතුව තිබුණත් මා සමඟ රැඳී

මතකත් තිබෙනවා රිදෙනට තවම ඇනී

හිරකර හිතට දුන්නත් දුක් රහට හිමී

ගිය තැන තාම හුරුවට පෙම් කරන අපී

 

සුරුවම් එක්ක හිටියත් කාලයට ලැදී

ඉරණම කියා ගළපන්නට හැකිද තැවී

උත්තර නොමැති පැන මතු වන විටදි ඇදී

සුන්දර නොමැත ප්‍රේමය ඇත අඳුරෙ රැඳී

 

නෙල්ක දිල්ෂාන්

-----------------------------------------------------------------

 

 

අවසරයි...

 

විඩාපත් ප්‍රේමයක

අසුන් ගත් පෙම්වත

අවසරයි නුඹට දැන්

මා වෙතින් නික්මෙන්න ...

 

අවුල් වු සුසුම් ගුළි

ළය දොරෙන් ගිලිහෙන්න

දයාබර හදවත දැන් ළයේ

නිවීමක් අසුරන්න ...

 

මවාගත් හැඟුමක

සිහින යළි නොරඳන්න

ඇන්ද ඒ සිහිනවල

සළකුණක් නොතියන්න ...

 

නුඹ ඈත ගියවගක්

සිහියෙවත් නොතියෙන්න

පමාවුණු රාත්‍රියක

විතරක්ම සඳ එන්න ...

 

ශානි ප්‍රනාන්දු

 

 

 

මංගල කිංකිණි !

 

ඔහු,

හොයනවා පෙරළගෙන

උගත් රූමත්

කන්‍යාවියක්

සුළු ඇසුරකින් පසු

විවාහයට

ඇය ,

හොයනවා පෙරළ පෙරළා

සුළු වරදට සමාව දෙන

සියලු දුසිරිතෙන් තොර

මහත්මයකු

හදිසි විවාහයකට

 

ශානිකා ශෂීප්‍රියා ද සිල්වා

 

 

 

රිදුම්

 

සෑම ගහකම ළපලු දළු කොළ

වැළඳ හාදව යන සුළං

පතොක් අතු අග තියුණු කටු මත

ඇනි ඇනී විඳවයි රිදුම්

 

පවන් අංජන

News Order: 
0
මාතෘකා