කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

දැන් ඒ සිනාව
මා හා මිතුරුය

බලා සිටියාය ඔබ
මා අතැඟිලි අතර සිරවූ සමනලියක ලෙස
කඳුළු සඟවන්නට වෙරදැරූ
ඒ කඩතොළු සිනාව
තනිකඩ රාත්‍රියන්හි
සුදුවතින් පැමිණ
හොල්මන් කරන්නට විය

අලසව යහන මත වැතිරී
පියාසලද්දී සුපුරුදු සිහින නිම්නයෙහි
කාලවර්ණ තටු මවාගෙන ඔබ පැමිණ
ඇද දැමුවේය මා කුණාටු සයුරට
දහදියෙන් තෙත්ව
වෙරළක ගොඩගසා සිටියදී අවදි වුණෙමි මම

කෑමොර දෙන තටුගසන
කීරි ගැහෙනා හඬින්
හිස්කබල සූරන
කපුටු රැලකි මේ නිමක් නැති ශෝකය
අතැඟිලි අතර හිඳ ඔබ ගයන දුක් ගීය
යකඩ ඇණ මෙනි කන් බෙර මත ගිලෙන

අතැඟිලි දිගැර යන්නට හැරියෙමි ඔබට
හරී නොබලාම නැවත
ගැඹුරු සිත් ගුහාවෙහි
අතුරුදන් විය ඔබ

තවමත් ඉඳහිට දවසක
හිරු බසින මොහොතෙහි ක්ෂිතිජය අගින්
පායයි ඒ දිය කිඳුරු සිනාව
එහෙත් දැන් ඒ සිනාව
මා හා මිතුරුය
[තරින්ද්‍ර ගලහේන]


මැයි මල්

මැයි මහට දාව ඉපදෙනා මල්
රතු පාට ඇයි මේ තරම් අතු පතර
ඇසුනාද රත් පබළු අතරින්
මැතිරෙනා රහස් ගනුදෙනුව

කිණිති අත් නොහැර නිල්ල මත
උඩු වියන් වැඩ සිටියාට පලස් බැඳ
සුළඟ විත් දුර ගමන් වෙනසකට
මල්වලට ඇරයුම් කළා විය හැකිය

තෙත් බරිත ගිලිහුමක අතවැනුම
වැහිළිහිණියකු අත කලින් එවු දාක
මිතුරු යැයි හැඟුණු ඒ ඇරයුමට
අවනතව උන් නික්මුණා විය හැකිය

පියාපත් නැතීයෙන් නතර වූ තැනෙක
දූලි හංගා එළූ රත් පාවඩය
පයට පෑගී මියාදෙනා තුරුම
ඒ සිලිටි මල් රැවටුණා විය හැකිය
[වින්යා ජයසේකර]


"කලකට පෙර මිතුරු පෙමක පැටලී සිටි ඇය දැන් තාත්තාට අවැසි පරිදි ගෙටම වී සිටින බවා මෑතකදී පැවසුවා ය"

කැහැටු අත පය අස්සෙ
ඇත්තමයි!
දැනුණෙ මට උඹෙ රස්නෙ
හාන්කවිසියක තරහක් නෑ
කොහේහවත් හිත අස්සෙ

"ආණ්ඩුවෙ විභාගෙ ප්‍රශ්න
කජ්ජක් ද මට
මේ ගැට ලිහුවටත් පස්සෙ"

ඕන් ඔහොම කියනකොට තමයි
උඹටත් හොරා
ඇස් දෙකම දිලිහෙන්න ගත්තෙ

නොවහගත්තට මොකද ඔය මූණ
හිනා ඇබින්දක් නැති කතාව
කිව්ව තැන් රිදෙනවා ඇත්‍තමයි බෝම
ළඟ නැවති අංකයක් නැති ජංගමය ගාව

පහේ ක්ලාසියට සිස්සත්ත පන්ති
කරන උඹ පොඩි එකියක් පැංචී
කොහේහරි එක තැනක හැංගී
හොයාපන් කම්මුලට හිනාවක් පුංචී
[පසන් සංජය සමරතුංග]


සැනසීම
කියන්නෙම
ඉවසීම

අපුල්ලාවත් යවන්නට බැරි
මතක පැල්ලම් ගොඩගැහී
ඉඳුල් නොවනා හැටිම අරුමය
ප්‍රේමයේ ගෙත්තම් ලිහී

උදල් පහරින් උගුල්ලා හිත
නැවත වළලනු නම් බැරී
ඉදල් පහරින් ඇදුම් කාගෙන
කොතැන හෝ ඉන්නම් වැටී

පතල්වල ඉල්ලමක් මතුවෙන
දවසකදි මගෙ හිතවතී
පතුල්වල නිල් මැණික් ඔපයෙන්
දිලිසෙනා තැල්මන් ඇතී
[දුලාජ් මධුශංක දේවපුර]


කසඩ ගෑවුණු අත් රන් කහට සායමින් පොබයන්න

ලයිං කාමර අස්සේ
මැසි මදුරු තළාගෙන
උදේ කුකුළත් අරං
හිරිපොදත් තවරගෙන
හිල්වෙච්ච සාක්කුව
සතවලින් පුරවන්න
තේදල්ල පිරුණු මලු
හීන මලු පිරුණු හිස් මත...

රන් කහට සායමින්
කහට ගෑවුණු අතට
කසඩ තේ කිලෝවක්
හරි ගණන් සයිබුගේ කඩේ...
[බෝදාගම සුමන හිමි]


ඇය

බොහෝ කලකට පසු
ඇය ඇවිත්
මා ළඟට

වදනකුදු නොනැඟෙයි
කිසිවක්ම නොඇසෙයි
කිසිවක්ම නොදැනෙයි
කිසිවක්ම නොහැඟෙයි
හුරුපුරුදු මුහුණක්ම පමණකි
ඇත්තේ මා දෑස් ඉදිරිපිට
ඒත් ඒ හොඳටෝම ඇති මට

පැන රැසක්
ලිහී ඇත
වදන් අරුතින්
පිරී ඇත
ඇත්තටම
ඇය ඇවිත් ඇත

ඇය මෙතැනය
මට පුදුමය
බොහෝ කලෙකට පසුව වුව
මෙවන් කටුකතම කලෙක වුව
සිනාසෙන්නේ ඇය
එදා පෙරසේමය

ඉතින් ඒ
හොඳටෝම
ඇති මට

(සමකාලීන ඉන්දියානු කවියකු වූ කේදර්නාත් සිං විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

කේදර්නාත් සිං

හින්දි බසින් නිර්මාණකරණයේ යෙදුණු කවියකු සහ කාව්‍ය විචාරකයකු වූ ඔහු ඉන්දියාවේ ජවහර්ල්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ඉන්දියානු භාෂා අධ්‍යයන කේන්ද්‍රයේ හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. වර්ෂ 1934 ජූලි 07 වැනිදා උත්තර් ප්‍රදේශයේ බාලියා නුවර චාකියා නමැති ගම් පෙදෙසේ උපත ලැබූ ඔහු සිය ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපන කටයුතු සඳහා බරණැස් නුවරට ගියේය. එහිදී කාව්‍ය නිර්මාණකරණයට යොමුවූ ඔහු තමන්ටම අනන්‍ය වූ සුවිශේෂ කවි බසක් සහ කාව්‍ය විචාර ක්‍රමවේදයක් ගොඩනඟා ගනිමින් සමකාලීන ඉන්දියානු කවීන් අතර විශේෂයෙන් කැපී පෙනුණේය. කාව්‍ය සංග්‍රහයන් සහ කාව්‍ය විචාර කෘතීන් රැසක් ලියා පළ කළ ඔහු වර්ෂ 1989දී ඉන්දියාවේ සාහිත්‍ය ඇකැඩමි සම්මානයෙන්ද පිදුම් ලැබීය. දීර්ඝ කාලයක් කාව්‍යකරණයෙහි යෙදී සිටි ඔහු 2018 මාර්තු 19 වැනිදා මිය ගියේය.
[අජිත් නිශාන්ත]

මාතෘකා