ඉගිල්ලෙන හිතක් ඇතුළේ එල්ලෙන කවි

 ඡායාරූපය:

ඉගිල්ලෙන හිතක් ඇතුළේ එල්ලෙන කවි

නිදහස් කවිය, (Free Verse/ Verse Librer ) අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා කවියාට නිදහස් අවකාශයක් සපයා දෙන කවි ආරකි. එම නිසා බොහෝ දෙනෙක් තමන්ගේ අත්දැකීම් කවි කිරීම සඳහා මේ ආර තෝරා ගැනීම වර්තමානයේ සුලබව දැකිය හැකි කාරණයකි. 1946දී ජී. බී. සේනානායක විසින් හඳුන්වා දුන් මෙම නිදහස් ආර එකල සාම්ප්‍රදායික කවීන්ගේ මහත් දෝෂදර්ශනටද ලක් විය. මෙම විරෝධය කෙතරම් බලසම්පන්න වීද යත්,

ජී. බී. සේනානායක පවා සිය හඳුන්වා දීම වෙනුවෙන් පෙනී සිටීමට යම් ආකාරයකට බිය විය. නමුත් පසුකාලීනව මහාචාර්ය සිරි ගුණසිංහ වැනි කවීහුද මේ මග යමින් ස්වකීය රචනාව ඉදිරිපත් කළහ. මාර්ටින් වික්‍රමසිංහ පවා සිය තේරී ගාථා පරිවර්ථනයේදී නිදහස් කවි ආර භාවිත කළේය. කෙසේ වෙතත් වර්තමානය වන විට නිදහස් ආරේ කවිය ප්‍රබල කවි ශානරයක් ලෙස සිංහල කවිය තුළ ස්ථාපිත වී හමාරය.

මේ කෙටි සටහනට පාදක වූයේ නව කවියෙකු ගේ ප්‍රථම කාව්‍ය එකතුවයි. ඒ සංපත් වීරරත්න ගේ ‘ඉගිල්ලෙන හිතක්’ නිර්මාණ කෘතියයි. එය සහමුලින්ම පාහේ නිදහස් කාව්‍ය ආර භාවිත කරමින් රචනා වූවකි. ඔහු සිය අත්දැකීම කවි කරන්නේ නිදහස් අවකාශයකය. කාව්‍ය ආකෘතියක සිර වීමට ඔහු තුළ ඇත්තේ බලවත් නොකමැත්තකි. ඒ නිසාම ඔහුගේ කවිය රසිකයා අතරමං කරන ආකෘති වංකගිරියක සිර නොවේ.

ආදරණීය සර්,

මං සමීර

පැය දෙකම බයිට් වුණ

හැමදාම පන්ති ආව

ගොන් සමීර

(සර්ට මං ඉන්නවා - පිටුව 01)

පන්තියේ දඩබ්බරම ශිෂ්‍යයා හා ගුරුවරයා අතර ඇති බැඳීම පද පහකින් සංපත් කියන්නේ එලෙසිනි. A සාමාර්ථයක් ගත නොහැකි වුවද සර්ගේ පන්තියේ කටවුට් එල්ලන්නේ ඔහුය. නමුත් දිනෙක කටවුට් එල්ලීමට ඔහුට කතා නොකිරීම සමීර පෙළන වේදනාවයි.

මේ සමාජය තුළ පිළිම නෙළන්නා අවසානයේ ප්‍රභූ පන්තිය තුළ ආන්තික ශ්‍රමිකයෙකු වීම අපූරු ලෙස කවියට නංවන ‘මට හරිම සතුටුයි’ නිර්මාණය රසික අවධානයට ලක් විය යුත්තකි. ශ්‍රමයේ හිමිකරු ශ්‍රමයේ වටිනාකම නොදැන සිටීම ප්‍රාග්ධනයේ හිමිකරුට වාසි සහගතය යන සත්‍යය මේ නිර්මාණය තුළ මොනවට කුළු ගැන්වේ.

හෙට ඉඳන් පිරෙන පිං කැට

පිළිමෙ රැක ගන්නට යොදවයි ද

දන්නෙ නෑ මමනං හරියට

කුරුල්ලෙක් වැහුවත් පිළිමෙට

එළවනවා මං ඇවිත් හනිකට

පිළිමෙ මං නෙළුවට

පර්වතේ අයිති වත්තේ හාමුට

(මට හරිම සතුටුයි - පිටුව 02)

ඉතිහාසය හුදු පුනරුච්ඡාරණය නොකර වෙනස් ආකාරයකින් කියවා ගොඩ නගන පරිකල්පනය මත සත්‍ය නිර්මාණය වීමටද ඉඩ ඇත. නිර්මාණකරුවා යනු අසා ලියන්නා නොව අසා සිට ගොඩනගන්නා වෙයි. සංපත් ගේ ‘ආදරණීය තිස්ස’ කවිය එවැනි අපූරු නිර්මාණයකි. ඔහු මෙහිදී උපයුක්ත කරගන්නේ කාවන්තිස්ස - විහාරමහා දේවී ඉතිහාස කතාවයි. මෙහිදී කවියා අත්දැකීම ගොඩනගන්නේ විහාරමහාදේවිය කාවන්තිස්සට ලියන ලිපියක් ලෙසිනි.

කාවන්තිස්ස ඔයා එනවද මාගම් තොටට

තාත්තා හෙට මාව නග්ගනවලු නැවට

මුහුද ගොඩගැලුවෙ රහතුන් පිලිස්සූ පවට

පිං සිද්ධ වෙච්චාවෙ අම්මගේ කැත හිතට

කවියා ඉතිහාස කතාව වෙනස් කොට අපට කියන්නේ විහාරමහා දේවිය හා කාවන්තිස්ස රහස් පෙම්වතුන්ව සිටි බවයි.

කිරින්ද හරියෙ නිතර ඇහැ ගහගෙන ඉන්ට

මං ආසයි දුර තියා ආඩම්බර වෙන්ට

අවසානයේ ඇය කාවන්තිස්සට කියන දෙයින් කවියා අප වින්දනයේ පරිපාකයට ගෙන යයි.

දැක්ක ගමන් එනවා හෙම නෙවෙයි බදාගන්නට

අහම්බෙන් හම්බුනා වගේ ටිකක් රඟපාන්ට

මේ හසුන කියවලා අළු කරලා දාන්ට

පණ්ඩිතයො ඉන්නවනෙ වීර කතා ලියන්ට

(ආදරණීය තිස්ස - පිටුව 04)

සංපත් ගේ මෙම කාව්‍ය එකතුවේ එන නිර්මාණ කිහිපයක් තුළින් ඔහුගේ ඇති අපූරු කවිකමත්, වෙනස් ලෙස සිදුවීම් කියවීමේ සුවිශේෂ හැකියාවත් මනාව කැපී පෙනෙයි.

‘හා ද’, ‘තාත්තා’, ‘ආදරණීය කමලා-මං සයිමන්’, ‘පුරුද්ද’ වැනි නිර්මාණ සුලබ අත්දැකීමක් නව්‍යව පරිකල්පණයකින් නිර්මාණය කරන්නේ කෙසේද යන්නට හොඳ උදාහරණයෝ වෙති.

නමුත් ඔහුගේ ඇතැම් නිර්මාණ මේ නිර්මාණාත්මක ගුණයෙන් අතිශය හීන නිර්මාණයන් බවට පත්ව තිබේ. එය කෙසේ විණි දැයි තීරණය කිරීමට පවා අපහසුය. විශේෂයෙන් කෙටි කවි නිර්මාණයේදී සංපත් එතරම් සුවිශේෂ නිර්මාණාත්මක හැකියාවක් නොපෙන්වයි. විශේෂයෙන් ප්‍රේමය විෂය කරගෙන ඔහු රචනා කරන බොහෝ කවි ප්‍රේම කවි ගොන්නේ ඉහළට එසවීමට නොහැකිව මිලාන වී යන ඒවාය. එවැනි කවි මේ කෘතියට සංග්‍රහ නොවුණා නම් හොඳ යැයි විටෙක සිතේ. ඒ අතර ‘ප්‍රේමය මැ වේ’ වැනි කවියක් සුවිශේෂ වන්නේ ප්‍රේමයේ වෙන මානයක් දකින්නට ඔහු අපට බල කරන වෙනස් පර්යාලෝකය නිසාය.

කෙසේ වෙතත්, සංපත් වීරරත්න යනු කවිකම පිළිබඳ ප්‍රතිභාව හා ව්‍යුත්පත්තිය සහිත කවියෙකි. ඔහු ඔහුගේ කවි තුළ ඔහුටම ආවේණික වූ අනන්‍යතා ඡායාවක් ප්‍රකට කිරීම ද සුවිශේෂය. ඒ නිසා කවිය යළි යළි අභ්‍යාස කිරීම තුළින් වෙනස් කවියෙකු ලෙස නැගී සිටිමට ඔහුට හැකිය. ඒ සඳහා යම් කාලයක් ගත්තද කම් නැත. මන්ද මේ මොහොතේ බරපතළ ලෙස අපට අවශ්‍ය වන්නේ සුලබ කවීන් නොව දුලබ කවීන් බැවිනි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා