එන්න ෆාතිමා...

 ඡායාරූපය:

එන්න ෆාතිමා...

 

කුරාණයේ අකුරු හොඳට දන්න ෆාතිමා

පල්ලිය ළඟ පුංචි ගෙදර ඉන්න ෆාතිමා

රාමලාන් සඳ බලන්න ආපු ෆාතිමා

ඉන්න තැනින් දැන් එළියට එන්න ෆාතිමා

 

අපි ආ ගිය එකම පාරෙ හිටපු ෆාතිමා

අපිත් එක්ක එකට අකුරු කරපු ෆාතිමා

අවුරුද්දට කැවුම් කන්න ආපු ෆාතිමා

නෝම්බි කැඳ රසට හදන් ආපු ෆාතිමා

 

අල්ලාහ් දෙවියන් වැඳලා ආපු ෆාතිමා

අපිත් එක්ක වෙසක් තොරණ බලපු ෆාතිමා

මරතෝඬිය රටා අතේ ඇඳපු ෆාතිමා

අහිංසකව හිනාවෙලා ගියපු ෆාතිමා

 

පාස්කු බෝම්බයට බයේ දුවපු ෆාතිමා

මරණ බයේ එළියටවත් නාපු ෆාතිමා

කුහුඹුවකුටවත් වරදක් නොකළ ෆාතිමා

තාමත් හරි අහිංසකයි තමයි ෆාතිමා

 

දේව මැදුරු පාළු වෙලා ගිහින් ෆාතිමා

වීදි පුරා පාළුව රජ වෙලා ෆාතිමා

නිකාබ් එක උඩු සුළඟේ දමා ෆාතිමා

ඇවිළෙන ගිනි නිවා ගන්න එන්න ෆාතිමා

 

■ සංකල්පනාව දිනේෂ් සුරංග බරණිගේ..................................................

 

නිහඬ තනිකම

 

දෑල ඉවුරු මායිම් බිඳ

කෝඩුකාර මේ හිත යට

රසෝඝයක් උකහට ගෙන

පණ පොවනවා හීනයකට

 

පීදෙන සිතුදම් හිත යට

සතපා මහමෙර උසකට

පෙරැත්ත කර මා අයදින

සින්නකර මගෙ අයිතිය

 

කාටත් නොකියම රහසෙම

හඳ ගැස්මත් ඉස්සර වෙන

විස්සරකම් එපා මෙමට

දොසක් නැතිව මා තනිවෙන

 

හෝරාවන් ඔහේ ගෙවන

නෙතගින් මං සුසුම් හෙළන

ඉඟියෙන් මං කවි ලිව්වට

නිහඬයි මට මේ තනිකම

 

■ චලනි හර්ෂිකා..................................................

 

අතිනත ගෙන

ඔබ මා සමඟ අත් පටලා පෙර දවස

ආගිය මගේ පා සටහන් තවම ඇත

කාලය ගෙවී අද මා සමඟින් මෙලෙස

යනවිට පාලු දැනුණිද සොඳුරේ නුඹට

පාලුව අඳුර ලුහු බඳිනා රෑ කාලේ

තනිවී ලතවේද මම සිතමින් ලතවේ

සිහිනෙන් වගේ මගෙ හිස සිඹිනා වේලේ

නුඹෙ සෙනෙහසට මගෙ නෙතු කඳුළැලි බේරේ

වාරුව නොමැත පෙරදා මෙන් ගතට මගේ

නුඹටත් මගෙන් වෙනදා මෙන් නොමැත සුවේ

එනමුදු දිනෙන් දින මෝරයි නුබේ සෙනේ

නුඹව ලබන්නට මා පිං කර තිබුණි භවේ

 

■ කැලුම් ඩී. සිල්වා..................................................

 

සුරදූතියෝ

 

අසූ හාරදහසක් හිටියත් ලොවට

එක දෙවියෙකු වැඩියේ නැහැ නොවැ බිමට

දෙවියන් පවා සැඟවෙද්දී අහස යට

සුර දූතියන් බැස්සලු මේ ලෙස බිමට

මවු ගුණ සඟවමින් හැඳි නිල ඇදුම යට

ගිනි අවි අත දරා යන්නිය ඇය පෙරට

විස්කම් පායි මගෙ මවුබිම රකින්නට

නුඹ කිසිදා ණය නැත බිව් මවු කිරට

වත්සුනු බිඳක් තවරා රුව රැක ගන්ට

නෑ ඉඩකඩක් ලැබුණේ කිසිදා ඇයට

වියැකී ගියත් සියුමැලි බව අවු සැරට

සිරියාවයි උතුරන්නේ දෑස් යට

 

■ මේනකා වීරසිංහ..................................................

 

ආදරය තියෙන තැන

 

රජවරුනි මගේ කෝපයද

වැසියනි මගේ ශෝකයද පිළිගන්න

 

ඔය පේලියේ ලේ සුවඳ නම්

ආදරය තියෙන තැනකින් ඇවිත් හිටගන්න

 

■ දිනූ රාජගුරු..................................................

 

නම නම නම

 

සද එළිය...

මට කුමටද නුඹ නොමැති

තරු එළිය...

ඝනදුරට පෙම් බදිමි

දකිනතුරු යලි නුඹව...

 

■ M. සනත් ප්‍රනාන්දු..................................................

 

 

 


 

 

මාතෘකා