මනුෂ්‍යත්වය සහ රතු මල

මනුෂ්‍යත්වය සහ රතු මල

කුඩා කාලයේදී මා කියැවූ අපූරු රුසියානු සුරංගනා කතාවක් තිබිණි. එය බටහිර සුරංගනා කතා පොත්වල එන "බියුටි ඇන්ඩ් ද බීස්ට්" කතාවේ අනුවාදයක් විය හැකිය. මුල් කතාවට වඩා මා වඩාත් ඇලුම් කළේ මේ රුසියානු කතාවටය. මගේ මතකයේ හැටියට ඒ කතාව සැකෙවින් මෙපරිදිය.

ධනවත් වෙළෙන්දෙක් වෙළෙඳාම සඳහා ඈත රටකට යයි. ඔහු ගමන පිටත් වන්නට කලින් සිය දියණියන් තිදෙනාම කැඳවා ආපසු එන විට ගෙන ආ යුතු තෑගි මොනවාදැයි විමසයි. වැඩිමල් දියණිය ඉල්ලන්නේ රන් ඔටුන්නකි. දෙවැන්නිය පළිඟුවලින් කළ වටිනා කැටපතකි. බාල දියණී, ඔවුන් දෙදෙනාගෙන් වෙනස් වූවා, පියාණන් ගෙන් ඉල්ලා සිටියේ, ලෝකයේ පිපෙන ලස්සනම රතු මල ගෙනැවිත් දෙන ලෙසය.!

කතාවෙහි ඊළඟ කොටස ගෙතෙන්නේ මේ රතු මල සොයා යන වෙළෙන්දා සහ බාල දියණියගේ ඉරණම වටාය. ඒ කතාව අදටත් වැදගත් වන්නේ, සංකේතාත්මකව එය අද අප අභිමුවේ තිබෙන දැවැන්ත අභියෝගයක් ගැන කියන නිසාය.

කතාවට අනුව වෙළෙන්දාට ලෝකයේ තිබෙන ලස්සනම රතු මල හමු වන්නේ අත්භූත අමනුස්සයකු හෙවත් බටහිර සුරංගනා කතාවේ එන බීස්ට්, එනම් මෘගයාට අයත් මහා පාළු මන්දිරයක ගෙවත්තේ තිබියදීය. එහි ගොඩැල්ලක පිපුණු රතු මල කඩා ගන්නා වෙළෙන්දා හමුවෙහි ප්‍රාදුර්භූත වන මෘගයා තම ගෙවත්තෙහි තිබූ මල අනවසරයෙන් කැඩීමෙන් සිදු කළ වරදට වන්දියක් ඉල්ලයි. වන්දිය, වෙළෙන්දාගේ දූවරු තිදෙනාගෙන් අයකු ඔහුගේ සහකාරිය වන්නට එහි ඒමයි. එසේ නොමැති වුවහොත් වෙළෙන්දා සිය ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුය.

ඉතින්, පියාණන්ගේ දිවි බේරීමටත් ඔහුගේ පොරොන්දුව ඉටු කිරීමටත් මෘගයා සමග වාසයට යෑමට එකඟ වන්නී දියණියන් තිදෙනා අතරින් තුන්වැන්නීය. රතු මල ඉල්ලා සිටියේ ඈ ය.

කතාවේ ඊළඟ අර්ධය වෙන්වන්නේ අදෘෂ්‍යමාන මෘගයාගේ මාලිගාවේ වාසයට යන නිර්භීත බාල දියණිය කෙමෙන් කෙමෙන් මෘගයා කෙරෙහි කරුණාවක් සහ මිතුරුකමක් ඇති කරගන්නා හැටි කියන්නටය. ඇය සත්‍යවාදී බවේ හා උත්තරීතර මනුෂ්‍යත්වයේ සංකේතයයි. මෘගයා කෙරෙහි ඇය අනුකම්පා කරයි. ඔහුට තමන් ඉදිරියේ සැබෑ ස්වරූපයෙන් ඉන්නැයි කියා පවා ඉල්ලයි. එහෙත් මෘගයා තම බිහිසුණු පෙනුමෙන් ඇය බිය වේ යැයි දුකට පත්වෙයි. ඇයට හැම සැප පහසුකමක්ම තම මන්දිරයේදී සලසන මෘගයා වරින් වර ඇය ඉදිරියේ පෙනී නොපෙනී යමින්, අදිසි ලෙස ඇය සමඟ රැඳෙමින්, ඇය මලක් මෙන් රැක බලා ගනී.

කතාවේ අවසන් අර්ධයේදී පියාණන් බලන්නට නිවෙසට යෑමට සුරූපිණිය මෘගයාගෙන් අවසර ඉල්ලයි. ඇය කෙරේ දැඩි ආලයෙන් පසුවන මෘගයා ඒ අවසරය දෙන්නේ නියමිත කාලයක් තුළ ආපසු එන පොරොන්දුව පිටය.

නිවෙසට යන සුරූපී බාල දියණියට පොරොන්දුව පරිදි නියමිත දිනට ආපසු එන්නට නොහැකි වෙයි. අන්තිමේදී පමා වී ආපසු එන මුත් ඇයට දකින්නට ලැබෙන්නේ රතු මල පිපී තිබුණු ගොඩැල්ල ළඟ මැරී සිටින මෘගයාය!

සුරූපිණියට තමන් විරූපී මෘගයාට තදින් ආදරය කරන බව දැනෙන්නේ එවිටය. ඇය ඔහුට ආදරය කරන බව කියමින් හඬ හඬා, දේහය බදා ගනී.

කතාවේ සමාප්තිය උදා වන්නේ එකෙනෙහිම මෘගයා කඩවසම් කුමාරයකු බවට පත් වීමෙනි! ඈත අතීතයේ දිනෙක නපුරු මායාකාරියකගේ ශාපයෙන් තමන් මෘගයකු වූ බව කියන කුමාරයා, කෙදිනක හෝ සැබෑ ආදරය හමුවූ දවසක පමණක් ඒ ශාපයෙන් ගැලවිය හැකි යැයි මායාකාරිය නියම කර තිබූ බව සුරූපිණියට කියයි. අවසන, කඩවසම් කුමාරයාත් සුරූපිණියත් ව්වාහ වෙති!

මේ කතාව අපට කියන්නේ කුමක්ද? සත්‍යවාදී බව, ආදරය හා මනුෂ්‍යත්වය හරහා මෘග අවධියකට පත්ව ඇති ලෝකය යළිත් මනුෂ්‍යත්වයේ දිශානතියට හැරවිය හැකි බව නොෙව්ද? කතාවේ සංකේතාත්මක සමාප්තිය අපට ඉඟි කරන්නේ එය බව මට සිතේ.

ඒ කතාන්දරය තව බොහෝ දේ අපට කියයි.

අප ජීවත් වන ලෝකයෙහි ඔටුනු සහ පළිඟු කැඩපත් සංකේතවත් කරන භෞතික වටිනාකම් සොයන්නන් මිස ලස්සන රතු මල සංකේතවත් කරන අාධ්‍යාත්මික වටිනාකම් සොයන අය විරලය. මනුෂ්‍යත්වය, අවංකකම, සත්‍යවාදී බව හදවතේ ඇති අය විරලය. එසේ සිටියත් මනුෂ්‍යත්වය පිළිබඳ අන්තිම බලාපොරොත්තුව පවා සිඳී යන මොහොතක, මනුෂ්‍යත්වය වැළලී ගිය ලෝකය සංකේතවත් කරන මෘගයාගේ මන්දිරයෙහි, මනුෂ්‍යත්වය කෙරෙහිම විශ්වාස තබා, නොසැලෙන අධිෂ්ඨානයෙන් වෙසෙන්නන් සොයා ගැනීම දුලබය. එය සෑම කෙනෙකුටම කළ නොහැකි අසීරු අභියෝගයකි. එම අභියෝගය ජය ගන්නට නම්, නොසෑහෙන ආත්ම විශ්වාසයක්, නිර්භීතකමක්, බුද්ධියක් සහ ඉවසීමක් අවශ්‍යය.

කතාවේ එන වෙළෙන්දාගේ බාල දියණිය එවැන්නියකි. කරුණාවෙන්, දයාවෙන් සහ අවබෝධයෙන් ඔහු මෘගයා තුළ වෙසෙන අදිසි මනුෂ්‍යයා එළියට ඇද ගන්නීය. අන්තිමේදී මෘගයා මනුෂ්‍යභාවය ලබන්නේ ඇගේ උතුම් ආදරයටත් ඉවසීමටත් පින්සිදු වන්නටය! මායාකාරියකගේ බිහිසුණු ශාපයට වඩා ඇය සතු ආදරණීය මනුෂ්‍යත්වයේ බලය ප්‍රබලය.!

සමහර විටෙක ජීවිතයේ අසීරුම අභියෝග ජය ගන්නට අපට ශක්තිය ලැබෙන්නේ කුඩා කාලයේදී ලබන සමහර අත්දැකීම්වලින් යයි මම පසුගිය සතියේදී මෙහි ලියා තැබුවෙමි.

රතු මලේ කතාව මට කියා දුන්නේද එවැනි පාඩමකි.

මම මේ මොහොතේත් වෙළෙන්දාගේ බාල දියණිය විශ්වාස කරමි. මායාකරුවන්ගේ ශාපයන්ට අභියෝග කළ ඇයගේ උත්තරීතර මනුෂ්‍යත්වයෙහි බලයට හිස නමමි.! බොහෝ දුෂ්කර කාල ජය ගත හැක්කේ ඒ බලයෙන්ම බව අදහමි!

මාතෘකා