ව්‍යවස්ථාවට හෝ රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කරන්නේ නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

ව්‍යවස්ථාවට හෝ රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කරන්නේ නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

“මානව හිමිකම් කොමිසම අපි දෙන නිවැරදි තොරතුරු වගේම රාජ්‍ය නොවන සංවිධානවල වැරදි තොරතුරු පදනම් කරගෙන ප්‍රකාශ නිකුත් කරනවා. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශවල තිබෙන හරි දේ පිළිගන්නවා වගේම එහි තිබෙන වැරදි දේ අපි රජයක් විදියට කිසිසේත්ම පිළිගන්නේ නැහැ. කොහෙන්වත් කියන ඒවාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉඩක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් කරන්න අපි ලෑස්තිත් නැහැ.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (27) මීගහතැන්න පොලිස් ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“මානව හිමිකම් කොමසාරිස්තුමියගේ මෙවර වාර්තාවේ තිබෙනවා උතුරේ සහ නැඟෙනහිර යුද්ධය පැවති ප්‍රදේශවල ආරක්ෂක හමුදාව විසින් සිය හමුදා කඳවුරු පවත්වාගෙන යෑම සඳහා භාවිතයට ගන්නා ලද ජනතාවගේ ඉඩම් නිදහස් වෙලා නැහැ කියලා. ඒ නිසා ඒවා නිදහස් කරන්න ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන්න කියලත් තියෙනවා. ඒ අදහස එතුමියට ප්‍රකාශ කරන්න හේතු වෙන්න ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන දී ඇති ඉතාම වැරදි තොරතුරු නිසා කියලයි මම විශ්වාස කරන්නේ. අපි ස්වාධීන කොමිෂන් සභා කිසිවක් පත් කරන්නේ නැහැ. කොහෙන්වත් කියන ඒවාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉඩක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් කරන්න අපි ලෑස්ති නැහැ. විදේශ විනිසුරුවරුන් ගෙන්වන ප්‍රශ්නය මුල ඉඳලම ඉදිරිපත් කළා.

“වසර 30කට ආසන්න යුද්ධයේ පොලිසිය මුහුණ දුන් බරපතළ ඛේදවාචකය තමයි 80 දශකයේ අග භාගයේ නැඟෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600කට වැඩි පිරිසක් එකම රාත්‍රියක ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබීම. අද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ගැන කතා කරන අය, රාජ්‍ය නොවන සංවිධාන කතා කරන්නේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය තුළ ප්‍රභාකරන්ට අහිමි වෙච්ච මානව හිමිකම් ගැන තමයි. මානව හිමිකම් ගැන කතා කරනවා නම් සියලු දෙනාගේ මානව හිමිකම් ගැන කතා කරන්න ඕනෑ. සත්‍ය ගවේෂණ කොමිෂන්, අතුරුදන්වූවන්ගේ කොමිෂන් මේ සියල්ල ජාත්‍යන්තරය හරහා පැමිණ තිබෙන්නේ අපට සේවයක් කරන්නට නෙවෙයි. මුහුදෙන් එගොඩ සිටින එල්ටීටීඊ සංවිධානවල තවමත් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර එල්ටීටීඊ ජාලයට සේවය කරන්නයි කියන එක මම පැහැදිලිව කියන්නට ඕනෑ.

“මම පසුගිය වසර කිහිපයේදීම රට ඇතුළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත් මගේ කතාවලදීත් මම කිව්වා විදේශීය විනිසුරුවරුන්ට මේ රටේ නඩු විභාග කරන්න දෙන්න මම සූදානම් නැහැ කියලා. ඒ වගේම කියන්නට ඕන පසුගිය පෙබරවාරි 25 වැනිදා මේ රජයේම පාර්ශ්වවල තිබෙන වැරදි තීන්දු තීරණ නිසා මානව හිමිකම් කොමිසමත් එක්ක මට නොදන්වා මා සමඟ කිසිඳු සාකච්ඡාවක් නොමැතිව එකඟතාවකට පැමිණ තිබෙනවා. මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්තා අප සම වගකීම් දරමින් අත්සන් කළේ මගේ කිසිඳු අනුදැනුමක් නැතිවයි. එය මේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය දන්නේ නැහැ. විදේශ ලේකම්වරයා දන්නේ නැහැ. රටේ විදේශ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට මිසක් ඉන් පහළ අයගේ නොවේ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා මට හොරෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශයට හොරෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පෙබරවාරි 25 වැනිදා ශ්‍රී ලංකා තානාපතිවරයා ජිනීවාහිදී කළ අත්සන් තැබීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මගේ විරෝධය පළකරනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා.

“අපි රටක් විදියට වැඩ කරද්දි මේ රටේ ස්වාධීනත්වය තිබෙන්න ඕන. රජයක් විදියට අපේ රජයේ කටයුතුවලට නිදහස තියෙන්න ඕන. මේ රට 1505 සිට අල්ලගෙන සිටි ආක්‍රමණිකයන්ගේ එදා තිබුණු ආක්‍රමණශීලී ස්වභාවය වෙනත් විදියට භාවිත කරමින් ආක්‍රමණ කරන්න පටන් අරන් තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී අපි පිට කොන්දක් ඇති ස්වාධීන ජාතියක් විදියට නැඟී සිටින්නට ඕන. අපේ වසර දහස් ගණනක ඉතිහාස කතාව පිළිබඳව ඔබ දන්නවා. 1505 සිට 1948 දක්වා ආපු විදේශීය ආක්‍රමණිකයන් ගහලා පැන්නුවා. රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. 1818 විමුක්ති අරගලය පිළිබඳව සුදු අධිරාජ්‍යවාදීන් මේ රටේ ලියකියවිලිවලට ඇතුළත් කරලා තිබුණේ 1810 කැරැල්ලේ කැරලිකරුවන් කියලා. ඔවුන් කැරලිකරුවන් නෙවෙයි. ඔවුන් එහෙම හැඳින්වීම වැරදියි. ඔවුන් ජාතික විමුක්ති සටන් අරගලයේ දේශප්‍රේමීන්. ඔවුන් එදා සිටි රණවිරුවන්. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨත්වය හා ජාතික උරුමය පිළිබඳව අපි අපේ විග්‍රහයෙන් පිට වැඩකරන්න සූදානම් නැහැ කියන එක පැහැදිලිව සඳහන් කරන්නට ඕන.

“අපි 1948ට පෙර සුද්දන්ට යටත්වෙලා සිටි විදියට විදේශයන්ට යටත් වෙන්න සූදානම් නැහැ. අපිට ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. ලෝකයේ රටවලින් අපි සම්පත් ලබාගන්න ඕන, දැනුම ලබාගන්න ඕන, තවත් බොහෝ දේ තිබෙනවා ලබාගත යුතු දේවල්. නමුත් රාජ්‍ය පාලනය සහ මේ රටේ නීතිය සහ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ ජනතාවගේ අවශ්‍යතාව පරිදි ජන කැමැත්තෙන් විනා අන් කිසිඳු ආකාරයකින් අපි වෙනස් කරන්න සූදානම් නැහැ. ජිනීවා යවන්න සිටි පිරිස මම සම්පූර්ණයෙන්ම වෙනස් කළා. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා, මහින්ද සමරසිංහ මහතා, ආචාර්ය සරත් අමුණුගම මහතා, විදේශ කටයුතු ලේකම්වරයා, මම පත්කළ උතුරේ ආණ්ඩුකාරවරයා ඒ නියෝජිත පිරිස මමයි යැව්වේ. තිලක් මාරපන මහතා මෙවර ජිනිීවා සමුළුවේදී කළ කතාවට අපි ලියලා දුන්නා මෙන්න මේ කරුණුයි කතා කරන්න ඕන කියලා. ඒ කරුණු තමයි කිව්වේ. පුවත්පත්වල, මාධ්‍යවල, ලොකු අකුරෙන් දාලා තිබුණා හයිබ්‍රිඩ් අධිකරණ පිළිගන්නේ නැති බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා කියලා. ඒ කාරණාව දැම්මේ අපි සාකච්ඡා කරලයි. නැත්නම් මේ විදියේ කතාවක් නෙමේ කරන්න නියමිත වෙලා තිබුණේ. කලින් කරන්න තිබුණේ මීට වඩා වෙනස් කතාවක්. මේ රටේ ඇතැම් දේශපාලන අංශ ඒ කතාවටත් ජිනීවාවලදී විරෝධතාව පළකරලා තිබුණා. යම් යම් සංශෝධන ඉදිරිපත් කළ යුතුයි කියලා බලපෑම් කරලා තිබුණා.

“පොලිසියේ මේ යුනිෆෝම් එක යට ඉන්න සියයට 99.9ක්ම අපි වගේ සාමාන්‍ය පවුල්වලින් ගොඩනැඟිච්ච තරුණ පිරිස් සහ නිලධාරීන්. ඇතැම් වේලාවට ඔවුන්ගේ සේවයට ඇගයීමක් දෙන්නේ නැහැ. මහපාරේ ඔවුන් පැය 8ක් 12ක් සේවය කරනවා. කන්න නැහැ. වතුර නැහැ. ඔවුන් රෝගීන් වෙනවා. ඇතැම් වේලාවට ලොකු උගත් මහත්වරු පාරේ යනකොට මාර්ග වැරැද්දක් කරලා වාහනේ නැවැත්තුවොත් ඒකට අශෝබන වචනයක් කියාගෙන තමයි යන්නේ. සාමාන්‍ය මහ පාරේ හිටගෙන ඉන්න පොලිසියේ රාලහාමිලාටත් ඒ වගේ විභාගවලින් පාස් වෙච්ච උගත්කම්වලට වැඩිය උගත්කම එක්ක බුද්ධිය සහ යහපත් බව මනුස්සකම තමා සාමාජයට අවශ්‍ය වන්නේ. එය උගතුන්ට පිහිටන්නට ඕන. නමුත් සමහර විභාග පාස් කරපු අයට ඒ මානුෂිකත්වය නැහැ. ඒ බුද්ධිය නැහැ.

“මේ රටේ ලක්ෂ 16ක් රාජ්‍ය සේවයේ ඉන්නවා. ලක්ෂ 16න් අසූපන්දහසක් විතර පොලිස් දෙපාර්තමේන්තුවේ. මේ රටේ යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාව ඉන්නවා ලක්ෂ 03ක් විතර. දැන් ආරම්භ කරලා තියෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ අපි අලුත් පිටුවක් පෙරළනවා ලබන මාසයේ තුන්වැනිදා. මුළු ජාතියම මුළු රටම දිවුරුම් දීමේ වැඩසටහනක් අපි හදලා තියෙනවා. දිවුරුම් දීම ප්‍රතිඥා වගේම මත්ද්‍ර‍ව්‍ය වැටලීම්, මර්දනය සහ නිවාරණය පිළිබඳව ලබන තුන්වැනිදා සිට අලුත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපි අප්‍රේල් 3 උදේ 8.30ට කොළඹ නිදහස් චතුරස්‍රයේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රේගුව මීට අදාළ අනෙක් ආයතන, සුරාබදු දෙපාර්තමේන්තුව, පාසල් දරුවන්, රජයේ නිලධාරීන් ඒ ප්‍රතිඥාව දීම සඳහා එක්කර ගැනීමට අපි වැඩ කටයුතු සංවිධානය කරලා තියෙනවා. මුළු රටේම පාසල් දරුවෝ උදේ පාසලේ ඉඳන් දිවුරුම් දෙන්න. මුළු රාජ්‍ය සේවයේ නිලධාරීන් සිය කාර්යාලයේ, කම්හලේ, ෆැක්ටරියේ සිට දිවුරුම් දෙන්න. මේ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් සමාජයක් හදන එක. කැපවීමක් කරන්නට සියලු දෙනාම මේ වගකීම දෑතට ගත යුතුයි.

“ලෝකයේ සෑම රටකම මේ මත්ද්‍රව්‍ය මර්දනයට අධි තාක්ෂණික උපකරණ තිබෙනවා. නමුත් මේ රටේ පොලිසිය බාරව හිටපු අය පහුගිය අවුරුදු තිහක් තිස්පහක් මේ නව තාක්ෂණික උපකරණ නිලධාරීන්ට දිලා තිබුණා නම් මේ තරම් මත්ද්‍රව්‍ය මේ රටේ ව්‍යාප්ත වෙන්නේ නැහැ. මං මේ මාස තුනහමාරට එම තාක්ෂණික උපකරණ ගෙන්වන්න මේ වනවිටත් කටයුතු කරලා තිබෙනවා. මං විශ්වාස කරනවා ඉදිරි මාසයක් එකහමාරක් ඇතුළත ඒ උපකරණ අපිට ගේන්න පුළුවන්. මං ඒවා අධ්‍යනය කළා. මුහුදෙන් රට ඇතුළට එන මත්ද්‍රව්‍ය රටේ කොහේ තිබුණත් ඒ අධි තාක්ෂණික උපකරණ වැඩ කරන්න පටන්ගන්නවා. ඒවා දැනුම් දෙන්න පටන් ගන්නවා. මෙන්න අහවල් තැන අහවල් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය තියනවා කියලා. ඒ නිසා මේ අධි තාක්ෂණික උපකරණ පහුගිය අවුරුදු විසිපහක් තිහක් අපේ මේ නිලධාරීන්ට ලබානොදුන්නු එකත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවක් ඉෂ්ට කිරීමක්. පොලිසිය බාරව හිටපු දේශපාලනඥයන් පොලිසියට ගිහිල්ලා සැලියුට් එක ගහගත්ත එක තමයි කරලා තියෙන්නේ. කරන්න ඕන වැඩේ නෙමෙයි කරලා තියෙන්නේ. වෙන වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා පොලිසියට අවශ්‍ය සම්පත් දෙන්න ඕන. රජයේ නිලධාරීන්ට අවශ්‍ය සම්පත් දෙන්න ඕන. නැතුව තමන්ගේ සේවාවන් කරන්න පුළුවන්කමක් නැහැ.”

මාතෘකා