කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

නොරිකෝ සං

නොරිකෝ සං,
එපා හයියෙන් ඔහොම
අත අල්ලානම ඉන්න
රිදෙයි ඔත්පළ වී
හිරිවැටුණු සේලයින් කටුවට

ආදරේ නාමයෙන් අපි
හුස්ම ගත් දවස්වල
බෝඩිමේ දැනුණු ඒ
සැවැන්දරා සුවඳ
තාමත් ඔයා ළඟ

"හෙටත් එනවද?" කියා
අහන්නේ කෝම
'සයොනාරා' කියන්නට සැරසෙයි
මේ දිවි කැලැන්ඩර කොළය

ආදරය පුරවාපු සකේ වීදුරුවකට
යළි පුරවනු බැරිය මේ අපිස් ජීවිතය
කඳුළු සකුරා අරන්
එන්නෙපා නොරිකෝ
තමබෝචි සොහොනට

මේ දෙවොන්දරා සං ට
එන්න බැරිවේවි යළි ඉතිං
ආදරේ මළවුන්
නැඟිටින ලෝකෙකට

[නයනසේන වන්නිනායක]


අම්මා

ඈ එන්නීය
මගේ මධ්‍යම පාන්තික ලොවට
පිරිසයකින් වැසු කෝපි අරගෙන
දැලි සුවඳ නයිටිය ඇදගෙන

බෙහෙත් තෙලින් මගේ දෑත්
පිරිමදින, අතගාන, හූල්ලන
අලුත් තැනකින් මැජික් බෙහෙතක්
අරගමුද නිරතුරු අසන

අලුතින් මැෂිමට ආ කෙල්ලන්ගේ
මනමාලකම් ගැන දෙස් තියන
බැඳි අකුරු කියවන්න බැරිමුත්
අබ තෙල් පහනක වටිනකම දන්න

යන එන කල නිතර බසයෙන්
ගීන්නෙන් උපන් සීතල බලන
පිටු දෙක තුනකින් නින්ද ගෙන
ගෝර්කිට නොවරදවා බනින

නාට්ට් බලන්න, ට්‍රිප් යන්න
ණයට සල්ලි ගස්වලින් මවන
රතු ඉරට කලින් වැඩට පියඹන්න
විස්සේ කොළ හොරකම් කරන

සුප් වතුරක ඇති කැරට් කැබලිවල
රසගුණ ගැන නිතරම දොඩන
පුනරුත්ථාපනය කෙරු රැවුලක්
සිහිනෙකින් හෝ දකින්නට පතන

හිරුට පසුව මුළුතැන්ගෙට වඩින
මං නැතුව බතක් නොඉදවන
ගැහැනියක් ඉන්නවා ගෙදර
බුදු වෙන්න ටිකක් පරක්කු වුණ

[අයු ප්‍රනාන්දු]


මනුලොව
මනෝ ලොව

මේ කාල්පනික හුදකලාවට මම ප්‍රේම කරමි
නුඹේ මනෝ දර්ශනයෙන්
කුල්මත් වන
විටක සිල්වත් නොවන සිතිවිලිවලට
එහි පියාඹා ගිය හැකි

තවත් හෝරාවක ඇවෑමෙන්
හැබෑවටම නුඹ එන විට
ඉන් මිදෙමි
නමුදු නුඹටත් වඩා ඊට පෙම් කරමි

මේ ආනන්දනීය සුවඳ දෙන
මනෝරථයට ගොඩ වෙමි
අසල අසුනේ සිටින නුඹ හිස
මගේ පපුවට බර විණි

ඉතිං කුමට නුඹ ඇවිත් හැබෑවට ?
මට නෝක්කාඩුම කියන
මේ ස්වප්නීය සුළං රැල්ලෙහි
එතී එතී ඉනු කැමති
යනු කැමති එනු කැමති

ප්‍රේමිය! නුඹෙන් හිස් වන
හුදකලාවට මා එතරම්ම ළං වෙමි
නුඹ හිසින් ගලන
මෝහනීය සුවඳම අතුරන
ඒ හිස් ලොවෙහි තනි වෙමි

එහි නුඹ ඇතත්
නැති වැනි
එහි මා නැතත්
ඉනු වැනි...

[දිල්මිණී හසින්තා]


කුමරු [හිම]

හිම තුහින පෙඟී ගිය
සිඟිති තණ පලස මැද
මිහිරි සුළඟක වෙළී
මුදු කුසුම පිබිදුණා

සෞම්‍ය වූ සඳ කිරණ
වැටෙන සේ මිහි මතට
මුළු දිවිය එකලු කොට
කිරි සිනා මතු වුණා

දුරු රටක අහස් ගඟ
අනත් තරු විමන යට
මැණික් සිළුවක කිරණ
පුතු දෑසෙ දිලිසුණා

වලා ගඟ මෑත් කර
ඉගිල යන්නට බැරිව
දොම්නසින් බර නෙතග
රැඳුණු මුව මහනෙල ඔබ

[උත්‍රා කුමාරි රණසිංහ]


ප්‍රේමයක් කියන්නෙම වේදනාවක්

නැවැත්වීමේ තිත විනා අපි
තබා පල නෑ තව කොමාවක්
ප්‍රේමයක් කියලා කියන්නෙම
හද දවන ලොකු වේදනාවක්

මග නොදැන පියවර තබා විත්
උනේ තනිකර මංමුළාවක්
සඳේ මෘදු රැස් වසා දැමුවේ
ඉබාගාතේ ගිය වලාවක්

කවියෙකුට කවියක් කියන්නෙම
රිදෙන හිත් සනසන කලාවක්
නිහඬ බව අගයනා මොහොතට
ප්‍රේමයත් හිරිහැර නළාවක්

කවි පොතක් සහ මධුවිතක් යනු
කවියෙකුට රස පිරි ගුලාවක්
තවම තනිකඩ ඒ නිසාමයි
පෙම් කරන්නට නැහැ වෙලාවක්

[සමීර මධුසංක]


60+

නිමිත්ත : අවුරුදු හැටෙන් ඉහළ සුපිරි තරු ගායන තරඟයට සහභාගිවීමට පෙර.

මහවැලි අඟන කොමළ ව
රිදී සළු ඉනූ සැඳෑවක
සිහින් ස්වර ඇසී විලියෙන්
හන්තාන සඳ සැඟවුණ

හද විලෙ ඉඳුවර පියලි මත
තුසර පිනි හාදු තවරා
ටෙක්නිකල් බඹරෙකුට හාද ව
නුඹ පියැඹූ ජීවිතේ දුර

ප්‍රේමයෙ ගං දෑලෙ රඟන
පෙම්වත් හස කැළ අස
සුසර කරමින් ශෝක වස් දඩ
වයමි සෙනෙහස් විරහ ගීතය

ගිම්හාන රැහැයි කෙඳුරුම් දිනෙක
රකුසු වෙස්ගත් ලොරි මුහුණකට
රත් වනින් සුදු ඉරම හැඩකර
සැතපුනිලු වංගුවක කිඳුරිය

දිව ලොවක හිඳ හෙළා නෙත් සර
බලන් සොඳුරිය මියුරු දන මැද
පරව ගිය පෙම් මලක සෙනෙහස
ගයන තනිකඩ මහල් කිඳුරා

[අශෝක කුමාර කුලතුංග]


මුරුවට සහ පිරුවට

තැළී පොඩි වී මිරිකී හනිකට
තෙලින් වෙන්වී ගියද හපයට
සැණින් ඇවැසිව දිව්‍ය ඔසුවට
නමින් පණ දෙවයි මුරුවටයට

එලී හුන් පයට දුහුවිල්ලට
මිදී එයින් පැමිණ වෙල්ලාවට
හුදී ජන පහන් සංවේග පිට
පාවාඩයෙන්ම තැනේ පිරුවට

[පොඩිරත්න අඟමලේ]


සළුවඩන කිරිල්ලී

තුමුළ සළුපිළි මාලිගේ
මිණි පහන් එළියේ
තබා දෙවුරෙහි නේක සළුපිළි
අතරමංවූ අංගනාවෝ
පිහිට අයදින විටදි නුඹගේ
ගුණ වනා පට සළුවල
පුරුදු ගීයම ගයමින
පාර පෙන්වන්නී
පහන් ටැඹ සේ වෙරළ අද්දර
එළිය දල්වන්නී

දෙනෝදාහක් යනෙන මඟ වෙත
දෙනෙත් මානන ප්ලාස්ටික් රූ
අලුත් සළුපිළි අන්දවා
හැඩට සරසන්නී
ගමෙන් ගෙන ආ හිනා අහුරක්
මුහුණ මත ලන්නී

මල් වැරූ ගවුමයි චීත්තෙයි
හිතින් අතුගා දමන්නී
බෝඩිමේ නිදි යහන අද්දර
මදුරු නැළවිලි ගී අසන්නී
හෙටත් වීදුරු මැදුරු දොර ළඟ
පුරුදු වීණාවම වයන්නී

[නුවන් ප්‍රසන්න විතානගේ]


ගිනි

තුඩක අග කාබන් ගලා'විත් -ඉතුරු කරදහියක රැඳේ
දහයියා අළු ඇවිළුණා මෙනි -දූලි මතකය යළි පිපේ

රෝමයත් ගිනි ගන්න හැඩයක -වීණාවේ තත් හඬ ඇසේ
එකදු ස්වරයක් විසිර ගැලවී -අප එකට හුන් පෙදෙසට වැටේ

නිවි නිවී දැල් නැගෙන අහසක -මතක ඇති නැති මුහුණක් මැවේ
කාගේ කවුරුද සිහි කරද්දීත් -හුස්මකින් ගිනි කඳු නිවේ

[පසන් සංජය සමරතුංග]

මාතෘකා