කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

සහෝදරයා

දුටුවම නුඹේ කට
මතක් වෙන්නෙම මට...
වීර තීසියස් කතාවේ
යෝධයයි විකට...

ඔහුට තිබුණා ඔහුගේම ක්‍රමයක්
ඔහුගේම විමනක්
දොරෙන් ඇතුළට ගන්න
හරි අමුතු විදියක්...

ගන්න අවසර පත්...
වැතිරෙන්න අඩි හයක යහනක්...

ඉතින් වැඩි නම්
උසින් ඔබ...
තලනවා දෙපැත්තෙන්...
ඉතින් අඩු නම් උසින් ඔබ...
අදිනවා දෙපැත්තෙන්
මැරෙනකම්...
අඩි හයක් වෙනකම්..

සහෝදරයා ඔබේ විමනට
ඇතුළු වෙන දොරකඩ..
එවන් යහනක් වෙද්ද
කියන් මට...

[සුහර්ෂිණී ධර්මරත්න]


ඔබේ නමින් තරුවක් නම් කරමි

පරණ පොත්පත් අස්පස් කරන මොහොතක
"බයොලොජි" පොතක් අස්සේ තිබිලා
හම්බවුණා මට
ශිෂ්‍යත්වේ විභාගය දවස්වල
සුදු කොළයක පැන්සලකින් ඇන්ද
මගේ දකුණු කකුලේ මිම්ම

කඳුළක් වැටිලා
සුදු කොළයේ එක් තැනක් පෙඟුණා
කඳුළ පිහදානකොටම එතැන ඉරුණා

සීතල සුළඟක් ඇඟේ වැදෙන මොහොතක
ජනෙල් පියන් වහන්න හිතුණා
හැමදාම වගේ අදත් මං දිහා
එක්තරා තරුවක් බලා උන්නා
එතකොට මට තවත් ඇඬුණා

වැළලිලා නොවෙයි මතකය
දූලී වැස්මකින් වැසී තිබුණා
කඳුළු වැස්සෙන් පස්සේ
ඔබේ පුසුඹත් හොඳට දැනුණා

නොගිය දුරකට ඔබ
මඟ එළිපෙහෙළි කර
යන්න කියා එමඟ මට
ඈත දුරක සිට බලා උන්නා

කුඩා මල්ලීටවත් අරන් දුන්නේ නැති
සුදු හුණු ගාන කැන්වස් සපත්තු කුට්ටමක්
මටත් කොහොම අරන් දුන්නද මන්දා
යුද්දෙකට ගිහිං ඇවිත්
කිහිලිකරුවෙන් ගියත් බාප්පා

තාම මං දිහා බලා ඉන්නවා
පුංචි තරුව ජනේලයෙන් එහා
ඔබේ නමින් නම් කරනවා එය
මක්නිසාදයත්,
බාප්පා මට පහන් තරුවක් !

[රුවංක ජයතිලක]


ජීවිතය...

පියස්සක් නැති අහස කොතරම් උහුලගෙනදැයි කදුළු බිදු කැට
වරෙන්තුවකට හසුවුණා මෙනි මඳක් සිර වූ වලාකුළ අග
රහස් කුමටද නැඟෙන දුමකට ඔහේ තව උඩ දුවනවා මිස
සවස් කැඩපත ඉදින් අහවර ඈත කළුවර ඇතිය මඟ රැක...

වැඩ මුරය අස අතින් අනිනා දුරින් පෙනෙනා මව් තාරකාවක්ය
හෙවනැල්ල යට සුවෙන් නිදනා සොවින් තැවෙනා තරු පැටවුන්ය
ඉනික්බිති අහසින් හලන ගෙරවුම් හාමතේ ශේෂ වූ නටබුන්ය
අකුණු පොකුරක් නැවත නැඟුණොත් දරන්නට බැරි උස්ම තැන්මය...

පොඩි උන්ට නොපෙනෙන්න කළු කර වීදියේ රෑ ගෙවෙනවා
වලාවක අග සැඟව හිඳ රෙදි අඳිද්දිත් උන් එබෙනවා
දරාගන්නට බැරිම තැන්වල ඉබේ මගෙ ඇස් වැහෙනවා
පැටවු ඇදගෙන උදේ වේලට කලින් මම ගෙට දුවනවා...

[පසන් සංජය සමරතුංග]


මනුලොව මනෝ ලොව

මේ කාල්පනික හුදෙකලාවට මම ප්‍රේම කරමි
නුඹේ මනෝ දර්ශනයෙන්
කුල්මත් වන
විටක සිල්වත් නොවන සිතිවිලිවලට
එහි පියාඹා ගිය හැකි

තවත් හෝරවක ඇවෑමෙන්
හැබෑවටම නුඹ එන විට
ඉන් මිදෙමි
නමුදු නුඹටත් වඩා ඊට පෙම් කරමි

මේ ආනන්දනීය සුවඳ දෙන
මනෝරථයට ගොඩ වෙමි
අසල අසුනේ සිටින නුඹ හිස
මගේ පපුවට බර විණි

ඉතිං කුමට නුඹ ඇවිත් හැබෑවට?
මට නෝක්කාඩුම කියන
මේ ස්වප්නීය සුළං රැල්ලෙහි
එතී එතී ඉනු කැමති
යනු කැමති එනු කැමති

ප්‍රේමිය! නුඹෙන් හිස් වන
හුදකලාවට මා එතරම්ම ළං වෙමි
නුඹ හිසින් ගලන
මෝහනීය සුවදම අතුරන
ඒ හිස් ලොවෙහි තනි වෙමි

එහි නුඹ ඇතත්
නැති වැනි
එහි මා නැතත්
ඉනු වැනි...

[දිල්මිණී හසින්තා]


දහවල උණුසුම්ය.පවස බලවත්ය.අකුරු,ඉලක්කම් දුරස් වෙමින් පවතී.හෙටත් මෙහෙම වේදැයි අසන්නට කෙනෙක් නැත.ඒත් අම්මා හිම කිරම රැගෙන අප කැටුව යන්නට ඇවිත්ය.

කැමරා ඇස [ධර්මවිජය සෙනෙවිරත්න] අකුරු [තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා