නිදි වර්ජිත රැය අවසන

 ඡායාරූපය:

නිදි වර්ජිත රැය අවසන

සිටින්නිය බස් නැවතුමට විත් හෙදිය
නිමා කළ ඉක්බිතිව සිය රෑ වැඩමුරය
කිරි පැටවූ රියක් සහ රික්ෂෝවක් යයි
හඳුන්කූරු සුවඳ පොදක් මඟ අතැර
හදිසියකට නිදි ඇඳුමෙන්ම ආ වෙදැදුරු
හඬවයි රිය නළාව පිටවන දොරටුව ළඟ
දුවා දස අත වෙහෙස පත් අය
භූගත සිහින අතරින් ඇදෙති අලසව
ගල් පිළිම ලෙස අඩිපාර මත

දන් ගෙනෙන දන පිළිගනියි මල් වෙළෙඳුන්
පාපැදිවලින් එන සීනු නද හඬ නගයි දසතින්
ප්ලාස්ටික් නෙළුම් මල් විල් අමතනා විලසින්
දිගැති කොහු මිටක් අතැති වාට්ටුවේ කොල්ලෙක්
දොඩමක්ය සිතා අහුලා ගනියි දොඩම් ලෙල්ලක්
ගෙවුණු රැයේ මදුරු දැළක් දිග හළ කවුරු හෝ අයකුට
අමතකව ඇත ගලවා දමන්නට හැරුණු ඇණ අහසට

තුරුලතා සසල වෙයි
අන්ධකාරය දුරලමින්

රෝහලේ සියලු දොරවල් මොහොතකින් විවර වේවා
උණ ගැනුණු නෙත් සහිත දරුවන් මගේ තුරුළට ඇදේවා
හිරු කිරණක පහසින්ම පමණක් සියලු වණ දද මැකේවා
කඳුළුවලින් අප තන මඬලේ කිරි කැටි නොගැසේවා

(කන්නඩ කවියකු වන ජයන්ත් කයිකිනි විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)


ජයන්ත් කයිකිනි

කන්නඩ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව පරපුර නියෝජනය කරන මුල් පෙළේ කවියකු, කෙටිකතා රචකයකු සහ ගීත රචකයකු මෙන්ම තිරපිටපත් රචකයකු ලෙසද සැලකෙන ඔහු 1955 ජනවාරි 24 වැනිදා ගෝකර්ණ ප්‍රදේශයේදී උපත ලැබීය. කර්ණාටක විශ්වවිද්‍යාලයෙන් ජීව රසායන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගැනීමෙන් පසුව මුම්බායි නුවරට සංක්‍රමණය වූ ඔහු වසර කිහිපයක් රසායන විද්‍යාඥයකු ලෙසද සේවය කළේය. සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය සඳහා වර්ෂ 1974දී කර්ණාටක සාහිත්‍ය ඇකඩමි සම්මානය හිමිකර ගත් ඔහු 1982, 1989 සහ 1996 වසරවලදී කෙටිකතා සංග්‍රහයන් සඳහාද එම සම්මානය හිමිකර ගත්තේය. ඔහුගේ කාව්‍ය නිර්මාණ සඳහා දිනකර දේශයි නමැති සම්මානයද, ප්‍රබන්ධ නිර්මාණ සඳහා බී. එච්. ශ්‍රීධර් සහ කතා ජාතික සම්මානය ඇතුළු තවත් සම්මාන රැසක්ද හිමිව ඇත. දකුණු ආසියානු සාහිත්‍යය උදෙසා පිරිනැමෙන DSC ත්‍යාගයද පසුගියදා ඔහුට හිමි විය.

මාතෘකා