කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ජේත්තුකාර ප්‍රේමිය

නේත්තරා ගස්සන
ජේත්තුකාර ප්‍රේමිය
හතරැස් අඩියක දිග පළල
මගේ විශ්වයේ
වැට කඩුලු කඩා දිගහැර
"මේ ගස ඇරුණහම
තවත් අඹ ගස්,
අර තියෙන්නේ හැම තැන"
කිව්වෙ ඇස් ලොකු කර
ඒත් මට මොකටද වෙන අඹගස්
ඔයා ඉන්නකොට
අල්ලලා මිරිකන්නමයි හිතෙන්නෙ ඔය කම්මුල්

හද සන්තානයේ ගිනිකඳුවලට
සුදුපාට හිම තොප්පි පළන්දන
නාහෙට නාහන සුළඟක් වගේ
නුවර එළියෙන් හිරිකඩ අරන් එන
මූණට එබෙනකොට ලොකු බළල් ඇස දෙකක්
හිරිගඩු පිපෙන්නැත්තේ කාටද?

කානිවල් එකක් වගේමයි කතාවත්
කැරකෙන පිපිරෙන වෛවර්ණ එලි එක්කම
ඇස්, නිකට, වළගැහෙන කම්මුල්...
මුළු මූණෙන්ම කතා කරනව මදිවට
ඇඟිලි තුඩු වලින් මගේ පිටි අල්ලෙ මොනවදෝ අඳින
රූප සටහනුත් ඕනමද ඔය කතාවට

ළා රෝස ඇඟිලිතුඩු
මහනවා සීරුවෙන් මගේ හිතේ ඉරුණු තැන්
රෑ හීන අතරිනුත් දැන් රිංගනව
රතු පුංචි මල් වැටුණු ගවුම් රැලි නිතරෝම
ජේත්තුකාර ප්‍රෙමිය
මගේ ජීවිතේ බෝඩරේ අගිනුත්
පුංචියට රතුපාට මල් දෙකක් මහන්න
[තරින්ද්‍ර ගලහේන]


සිටු ගෙදර පිඟාන

එංගලන්තෙ මහ රැජිනගෙ නිලධාරී
වසම් දෙක තුනක උන්දැලු බලධාරී
උන්දෑ එහෙන් කැන්දන් ආ සුදු බාරී
මාත් කැටුං ආවයි ඒ හැඩකාරී

ඇගෙ හොඳ යෙහෙළි මැණිකේ මහනායක
තෑගි හුවමාරුවක මම වුණෙමි දායක

මුලින් හිටියෙ කැබිනට්ටුවෙ මනාවා
සාද දිනට මා මේසෙට ගෙනාවා
හැඳි ගෑරුප්පු මැද පලඟාන් ගාවා
ප්‍රභූ මුවට මා දුන්නේ සිනාවා

ඒරොප්පෙන් ආ පිඟාන
කිසි එකකට නෑ සමාන

කලෙකට උපත් තව කලෙකට විපත් වුණි
පරපුරු තුනක් පරලෝකෙට පිටත් වුණි
මගෙ ජීවයත් ලෝ දහමට යටත් වුණි
සිටු මුනුබුරෙක් මහ ගෙදරට සැපත් වුණි

මහ තේජස් මහනායක වලව්වේ
හෝටලයක් දැම්මයි ඌ ඉළව්වේ

හෝටලයට නෙක නෙක එව්වොයි එන්නේ
මගුල් තුලා ජුබිලි ද උන් සමරන්නේ

'ඇන්ටික් තිබෙයි' සිටු මුණුබුරු පවසන්නේ
ගෙදර බඩු මුට්ටු ටික ටික විකිණෙන්නේ

හිරු නොබසින රටෙන් ආ සුදු මහත්තයා
මා දැක උන්නැහේ සතුටින් පිනා ගියා

අප රට ඉපිද රස මසවුළු ඔබට ගෙනා
මේ මනරම් ය අද අපටම වෙයි අගනා
යන්තම් ඉරු තැළුණු මගෙ රූ සපුව වනා
පවුම් පනහකට ගන්නට කැමති වුණා
[දේවිකා මධුවන්ති ගෝවින්නගේ]


කවි

අනන්තෙට යන පියා විදහා
වසත් සමයේ නිහඬ ගී හඬ
වලාකුළු මැද ගුළිව නිහඬව
නිදන සදවත සොයා යයි

පමා වී පිපි රෝස කුසුමක
සුවද සිහිලස රැගෙන යනු ආ
අප්‍රමාදී සුළං රැල්ලක්
තුරු හිසක් මත විඩාලයි

ඈත ශිඛරෙක තුංග ධූමෙක
වසා සඟවා ගත්ත මල්වල
සුවඳ පැටලී සුළං කෝඩෙක
දෙණිද ඇළ දොළ නිවාලයි

පහන් ආලෝකයෙන් දුප්පත්
කුඩා නිවසක ළගින තැන්පත්
කුකවියකු හිත තුළට පැනයක්
ඇවිත් කවියක් මවාලයි

[දිල්මිණී හසින්තා]


අවුල් වූ උදෑසන

උදෑසනක් සේ ඈ ආවා
"ගුඩ් මෝනින් සර්" කියාගෙන
අවුල් කළා දේදුනු සාරිය
දවසේම රාජකාරිය
ඇදවුණ කොම්පියුටර් අක්ෂර මැද
පෙනුණේම උදෑසන දේදුන්න
හොරැහින් බලන තරු මැද
දහවලද අමාවක විය.

කුමකට බොසෙක් වී
විනය නීති රෙගුලාසි සෙන් වටලා
අටේ අටේ කාමරයක සිරකොට
සිත පිටිතල හයා මා බැඳ

ලියමි පෙම් කවියක්
ඇදවූ අකුරු සීරු කොට
පසුව ඩිලීට් කිරීමේ
ඔප්ෂන් හිතේ දරාගෙන
[නයනසේන වන්නිනායක]


පිරිමි අපි

තට්ටු පිට තට්ටු පුයර නැති
හිතුමතේ වැවෙන රැවුල ඇති
ඔපේ වඩවන්න රත්රන් නැති
හැලෙනකල් තියෙන දත් ටික ඇති

ඇඳුමෙ පාටටම සපත්තු නැති
හම ගියොත් වහ ගන්න පොලිෂ් ඇති
නම් කරපු වෙන් කරපු සීට් නැති
එල්ලිලා හරි යන්න අත් දෙක ඇති

හඬ දෙන්න සමරන්න දවස් නැති
තුන්සිය හැට පහේම වැඩ අපි
ලෙඩ වුණත් මැඩ වුණත් නිවනක් නැති
ලෝකෙන්ම කොන් වෙච්ච පිරිමි අපි
[වින්යා ජයසේකර]


සෑඳෑ සක්මන්

යළිත් දවසක
සුළඟටත්.....
හිතු මනාපෙන වෙළෙන්නට දෙමු..
අපේ කය මත
නුඹේ කෙස් මත
භාවනාවක් වඩන්නට දෙමු...
රතෙන් කහ වී...
දමට යන තුරු
හිරු ගිලෙන සැටි බලා නික්මෙමු..
වදුළු අතරින්
සොඳුරු සවසක
සැඳෑ සක්මනකට යළිත් එමු...

ඉර නිදාවිය ලොවක කෙළවර
තුති ගයාවිය රැහැයි තරුවන්..

ගඟ ගලාවිය ඉතින් රහසේ
බට පඳුරු අසලකින් කොඳුරන්..

තරු එබේවිය එක එකෙකු අර
ඇරෙන සේ ඇස් අහස් තලයෙන්

නුඹ පෙනේවිය එතරු මැද්දෙන්
ඉතින් කුමටද සඳට සඳ කැන්...
[අංජලී හේරත්]


දන්කඳ, ඇඹුල, බත්ගෙඩිය රස නුසුන් කොට ආරක්ෂා කිරීමට කුරුණිය සූදානම්ය. වියමන මනරම් වූයේ වේවැල බට දණ්ඩ හා කිරිවැලේ අනුසරින් හද වෙණ තත වැයුණු හෙයිනි. ඉතින් ගමන අරඹන්න.

කැමරා ඇස [ධර්මවිජය සෙනෙවිරත්න] අකුරු [තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා