කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර


ගුල්සාර්


විශිෂ්ටතම උර්දු කවියකු මෙන්ම ගීත රචකයකු, කෙටිකතා රචකයකු සහ සිනමාකරුවකු ලෙසද ප්‍රකට ඔහු 1934 වසරේ අගෝස්තු 14 වැනිදා බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉන්දියාවේ (දැන් පාකිස්තානයේ) ජෙලුම් දිස්ත්‍රික්කයේදී සම්පූරන් සිංකාල්රා නමින් උපත ලැබීය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ නිර්මාණ කටයුතු සඳහා යොදාගන්නා ලද ගුල්සාර් නමැති ආරූඪ නාමයෙනි. කාලයක් ගැමි පරිසරයක ජීවත් වූ ඔහු පසු කලෙක ඉන්දියාවේ මුම්බායි නුවරට සංක්‍රමණය විය. ඉන්දියානු සිනමාවේ දැවැන්තයින් වූ බිමල්රෝයි, රිෂිකේෂ් මුකර්ජි සහ හේමන්ත් කුමාර් වැනි ප්‍රවීණයින් සමඟ සිය සිනමා නිර්මාණ දිවි යඇරඹූ ඔහු ඉතා මිහිරි සහ අර්ථවත් චිත්‍රපට ගීත විශාල ප්‍රමාණයක් රචනා කළේය. නව මුහුණුවරක් ගත් සිනමා තිර පිටපත් ගණනාවක් රචනා කළ ඔහු පසුව සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළේය.
[අජිත් නිශාන්ත]

සඳ එළිය

සඳ එළිය ගලන විට
වනගැබෙහි ගන අඳුරට
පුන්සඳ දිලෙන දවසට
තුරුපත් සැලෙයි, සුසුම්ලයි හෙමිහිට

හිඳ සිටින්නට සිදුවිණි නම් ඔබට
විසල් තුරුවක් යට
අඳුරු වන මැද
පුන්සඳ පෑයූ රැයක
ඇසෙනු ඇත ඔබට
සිහින්, දුක්බර හඬවල්
සඳකිරණ අතරින්
හඬ ගසනු ඔබේ නම

සඳ එළියේ සුසුම් හඬ
ඔබ සොයා එයි තවම
කප් සුවහස් කලක සිටම
(ප්‍රකට උර්දු කවියකු වන ගුල්සාර් විසින් රචිත කාව්‍ය නිර්මාණයකි)

--------------

ඇයට පර්යාය
නැති පදය

ඇය සිකුරු තරුවට
පර්යාය පදයකි

ඇතැම් ඍතුවල
පහන් එළිය කඩා වදින තුරු ම
පායා ඇති හෙයින්
ඇතැමෙක් එයට පහන් තරුව යැයි කීහ

එවිට මම ඇයට
පහන් තරුවැයි කීමි

තවත් ඍතුවල
ඉර බැස ගිය වහා ම
අහසට නැඟ එන බැවින්
තවෙකෙක් එයට ඉරබටු තරුව යැයි කීහ

එබඳු දිනවල මම
ඇයට ඉරබටු තරුවැයි කීමි

රස ඇස ගැටුණු
හින්දා ම හිස නැඟුණු
අයෙක් මත් වෙලාවක
එය ඕෂදී තරුව යැයි කීහ

මත් නොවී කිසි විටෙක
මම ඇයට ඕෂදී තරුවැයි කීමි

කවියට ම ඇලුණු
එනයින් පද මිදුණු
වෙනකෙක් සෙමින් මුමුණා
දවහත් තරුව එය යැයි කීහ

වදනක් දෙකක් අමුණා
මම ඇයට දවහත් තරුවැයි කීමි
ග්‍රීසියට යාබද සිතැති මා මිතුරෝ
කාංසියෙ දෑස් දල්වා
බොහෝ සන්ධ්‍යා දිනවල
හෙස්පෙරස් යැයි එයට කීහ

අරුණලු නැඟෙන උදැහැන
ප්‍රබෝධයෙන් දීප්තිමත් ඇස් ඇති
ඔවුහු ම යළිත් ඒ වෙත
පොස්පොරස් යැයි කීහ

වචන පැටලී වුව
වරදින්න ඉඩ නොදී
මම ඇයට හෙස්පෙරස් සහ පොස්පොරස් යැයි
මාරුවෙන් මාරුවට කීමි

සමුගන්න ආසන්න
බොහෝ තැන් අග්ගිස්සෙ
බොහෝ දෙන එය අමතා
සැඳෑ තරුව යැයි කීහ

නමුත් මම කිසි දිනෙක
ඇය අමතා සැඳෑතරුවැයි නොකීමි

(සිකුරු තරුව, පහන් තරුව, ඉරබටු තරුව, ඕෂදී තරුව, දවහත් තරුව, සැඳෑ තරුව යනු සිකුරු ග්‍රහයා අමතන පර්යාය පදයෝ වෙති. ග්‍රීකයෝ හෙස්පෙරස් සහ පොස්පොරස් ලෙස එය අමතති.)
[කසුන් සමරතුංග]

------------------

දනිමි සොඳුරිය

මතක මල් වඩම් අහුරක්
තුරුලු කරගෙන පපුව මැද්දට
ප්‍රේමයේ අමු සොහොන් කොත් මැද
ඇවිද යමි මළ කඳක් විලසට
තනිකමේ හෙවණැල්ල ඇවිදින්
රිංගනා විට පපුව අස්සට
ඇහෙන් පැන ගිය කඳුළු බිඳුවක්
හොරෙන් හංගා ගනිමි විගහට

ඇහි පියන් මත හාදු තැවරූ
වසන්තය සිහියක් පමණද
ආදරය යැයි මම කියන්නේ
පිපී පරවන රෝස මලකට
කඳුළු බිඳුනම් ඕන තරමට
තියෙනවා මගෙ දෑස් අද්දර
සිනහවක් වී යළිත් කිසි දින
නුඹ නොඑන බව දනිමි සොඳුරිය

දරන් ඉවසන් සිනහ වෙන්නට
හිතට හුරු කළ කාරණය නුඹ
බලන් හිඳ ඈතකින් ඉඳගෙන
සතුටු වෙන එක ප්‍රේමයක් තව
ඔයා නැති අපි උන්නු තැන්වල
තනිව යන එක හුරුයි පපුවට
රිදෙන්නෙම උබ බිම බලාගෙන
ඔහුගෙ අත අල්ලගෙන යනකොට
[ශනීෂ් ශ්‍රීමාල්]

-------------

වැටහීම

මෙච්චරම නිවටයිද දෙවියන් දේවාල බිම දණ නමා
ඉල්ලුවා මම වැඳ වැටී ගෙන රැක දෙන්න දරුවා කියා
කාලයක් තිබු ගැටලු ගොඩකට පිළිතුරක් හමුවෙයි සිතා
ආවේ දෙවොලට පසුව වැටුණා හිස උඩට දෙවොලම එදා

ගස්සලා ඇඟ විස අරින්නට පුහුණුවක් තියනවා කියා
පද්දලා නුබ කියූ කතාවට ඇත්තමයි අපි අහු වුණා
එක්කරන් මම ආවේ දරුවා රත්තරං වටිනා නිසා
දෙවියෝ මිනිසුන් එකට නැති වග ඇත්තමයි දැන් වැටහුණා
[දර්ශන රුවන් ජයපත්ම]

--------------

සර්...

රජ වෙන්ට නෙමෙයි මේ වෑයම,
ණය නැතුව ඉන්න

කලාතුරකින්වත්
පවුලේ උන් එක්ක
ටිකක් හයියෙන් හිනාවෙන්න.

කොටින්ම කිවුවොත්
උඹේ දේව කරුණාව ලබන
අනික් උන් වගේ,
ජීවත් වෙනවා කියලා
ජීවත් වෙන්න.

මට උරුම කඩ සාප්පු නෑ සර්...
අවුරුද්දකට දෙතුන් වතාවක්
පවුලේ අය එක්ක එන්නැයි කියන්න...

පහුගිය අවුරුද්දේ හරි මැදක
එයා අරන් දීපු කමිසෙයි
නොඇඳ ම අරන් තිබ්බේ
මේ සැරේ අවුරුද්දෙන් පස්සෙ
වැඩට එනකොට අඳින්න

අවන්හල්වල දොර යතුරු නෑ මට
වුවමනාවක් නැතත්
නෑවිදින් නම් නොයන්නැයි කියන්න...

අවුරුද්දකට සැරයක්වත්
ගියොත් වන්දනාවක
විශ්‍රාම සාලාවකට වැඩිය
ඩිංගක් හොඳ තැනක්
හෙවුව බව ඇත්තයි,

ඒ මගේ පොඩි උන්ට
නිදහසේ නිදියන්න.

කිවුවාට මේ ගැන
එපා සර් මා එක්ක තරහ ගන්න...
දවස ගානෙම වුණත් බැරි නෑ
මටත් ඔය සාජ්ජවලට එන්න...

ලැබෙනවානං ටිකක්
උඹේ ඔය කරුණාවෙන්
බැරි වෙන එකක් නෑ මටත්,
ජීවත් වෙනවා කියලා
ජීවත් වෙන්න...

මං බලන්නං සර්,
බොන්නෙ නෑ කියලා
ලොකු එකීගෙ ඔළුවට අත තියලා
දිවුරපු දිවුරිල්ලවත්
දැන් ඉතිං කඩන්න
[රසිකා ප්‍රනාන්දු]

මාතෘකා