මුඛ පිළිකාව දැන් මධ්‍යම කඳුකරයත් ගිළගෙන අවසන්

 ඡායාරූපය:

මුඛ පිළිකාව දැන් මධ්‍යම කඳුකරයත් ගිළගෙන අවසන්

මත් උවදුර මඩින්න සති දෙකෙන් නව වැඩපිළිවෙළක් ගේනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ලංකාවේ මුඛ පිළිකා පිළිබඳව ප්‍රශ්නයේදී ප්‍රධාන වශයෙන්ම මධ්‍යම කඳුකරයෙන් රෝගීන් වැඩි පිරිසක් වාර්තා වන බවත් මධ්‍යම කඳුකරය මුඛ පිළිකා පිළිබඳව පමණක් නොව, නීති විරෝධී අනෙකුත් මත්ද්‍රව්‍යවලින් ජනතාව බේරා ගැනීමේ ඉතාමත් බරපතළ අභියෝගයකට ලක්වී ඇති බවත් ප්‍රධාන ව‍ශයෙන් වතුකරයේ වැඩ කරන ජනතාව, කම්කරු ජනතාව ඉතාමත් බරපතළ ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇබ්බැහිවී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් සිකුරාදා (01) මහරගම අපේක්ෂා රෝහලෙහි පැවැත්වුණු වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

"ලෝක මුඛ පිළිකා දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ මුඛ පිළිකා මුළුමහත් මානව සමාජයට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේදී ප්‍රමුඛ අභියෝගයක් වී තිබෙන නිසයි. ඒ නිසා අපි පාසල් දරුවන් ප්‍රමුඛ සියලුදෙනා දැනුවත් කරමින් මුඛ පිළිකා නැතිකර ගැනීමේ කාර්ය සඳහා ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ. අද මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයේදී ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා එය අපේ රටට මොනතරම් අභියෝගයක් වී තිබෙනවාද කියන කාරණය. අද පොලිසියේ නිලධාරී මහත්වරු මා සමඟ කියන්නේ පාසල් දරුවන් භාවිත කරන මත්ද්‍රව්‍ය ගෙදරදී හදාගෙන කලිසම් සාක්කුවේ දාගෙන එනවා කියලයි. ඒ වගේම පාසල් දරුවන් භාවිත කරන මේ මත්ද්‍රව්‍ය අල්ලලා නීතිය ඉදිරියට ගෙනයෑමේදී බොහෝ වේලාවට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබෙන විද්‍යාත්මක පදනම මත වෛද්‍ය වාර්තා, පර්යේෂණ වාර්තා මේ අලුත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නැහැයි කියන එකත් ඔවුන් සඳහන් කරනවා. අපි කතා කරන සිගරට්, අරක්කු අනෙකුත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අතර දරුවන්ම හදාගන්න මත්ද්‍රව්‍යවලටත් දරුවන් ඇබ්බැහි වෙලා තියෙන්නේ. අද විශ්වවිද්‍යාලවල ඉතාම බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොමිලේ විශ්වවිද්‍යාල දරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දෙනවා. මේ පිළිබඳ පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙනවා.

මේ මාර්තු මාසයේ 20 වෙනි දිනට යෙදිලා තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනය ‍මුල්කරගෙන මේ වැඩසටහන්වලට ප්‍රමුඛත්වයක් දෙනවා වගේම පසුගිය අවුරුදු ගණනාවක් අපේ සෞඛ්‍ය අමාතත්‍යාශය, රෝහල්වල වෛද්‍යවරු මේ සඳහා අපේ ජනතාවට ලබා දුන් මඟ පෙන්වීම්, උපදෙස් පිළිපදිමින් මේ ඉතාම භයානක තත්ත්වයෙන් පාසල් දරුවන් ඇතුළු සෑම කෙනෙක්ම බේරා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳව ජනාධිපති කාර්ය සාධන බළකායේ අප පේරාදණිය විශ්වවිද්‍යා‍ලයේ දන්ත වෛද්‍ය පීඨය‍ට සහ වෛද්‍ය සංගමය ඒකාබද්ධවයි මේ මුඛ පිළිකා වැළැක්වීමේ වැඩසටහන කරගෙන යන්නේ. මේකට සෞඛ්‍ය අමාතත්‍යාශය ඇතුළු ඒ සියලු ආයතන මෙහිදී දෙන සහයෝගය අපි ඉතාමත් අගය කරන්නට ඕනෑ.

ඒ වගේම ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් වෙලා ‍තිබෙන මේ කාර්යයේදී ඔවුන් සෑම කෙනෙක්ම දන්නවා මුඛ පිළිකා වර්ධනය වන්නේ කාන්තාවට වඩා පිරිමින් අතරේ කියන එක. දැන් අපි මේ වැඩසටහනට එන්න කලින් වාට්ටුවලට ගිහිල්ලා රෝගීන් කිහිපදෙනෙක් හමුවුණා බුලත් විටක් කෑම නිසා පිළිකා හැදිලා තියෙන. ඒ වගේම ඒ රෝගීන්ගෙන් සමහර අය කියපු දේ තමයි‍, බුලත් විටක් කනවා වගේම බුලත් විට එක්කම සිගරට් එකක් බොන එක ඒගොල්ලන් සම්ප්‍රදායක් විදියට, පුරුද්දක් විදියට, අත්හරින්න බැරි දෙයක් විදියට කරගෙන ගොස් තිබෙනවා කියන එක. කවුරුත් දන්නවා පිටිසර, ගම්බද ඉන්න අය කියනවා විටක් කාලා සිගරට් එකක් ගත්තහම තමයි ඒකේ නියම තෘප්තිය ඒගොල්ලන්ට එන්නේ කියලා. ඉතින් ඒ තෘප්තිය තුළ තිබෙන භයානකකම කොතෙක්ද කියන එක මම හිතන්නේ අපි ඉතාමත්ම පැහැදිලිව තේරුම්ගත යුතුව තිබෙනවා.

ඒ වගේම අපේ රටේ මුඛ පිළිකා පිළිබඳව ප්‍රශ්නයේ දී ප්‍රධාන වශයෙන්ම මධ්‍යම කඳුකරය තමයි ප්‍රධාන වශයෙන් රෝගීන් වැඩි පිරිසක් වාර්තා වෙන්නේ. අපේ කඳුකරය මුඛ පිළිකා පිළිබඳව විතරක් නෙවෙයි. නීති විරෝධී අනෙකුත් මත්ද්‍රව්‍යවලින් ඒ ජනතාව බේරා ගැනීම පිළිබදව ඉතාමත් බරපතළ අභියෝගයකට ලක්වෙලා තිබෙනවා. ප්‍රධාන ව‍ශයෙන්ම වතුකරයේ වැඩකරන ජනතාව, කම්කරු ජනතාව ඉතාමත්ම බරපතළ විදියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තිබෙනවා. ඒ වගේ ම බීඩි මේ ප්‍රශ්නයට බරපතළ ගැටලුවක්.

මේ නිසා මේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය නිවාරණය කිරීම ප්‍රධාන වශ‍යෙන්ම ප්‍රතිපත්තිමය කාර්යයක් ලෙසින් අපි අවධානය යොමු කරලා ඒ කටයුතුවලට ප්‍රමුඛත්වයක් දීමේ වැදගත්කම ඔබ සෑම කෙනෙක්ම දන්නවා.

අනෙකුත් මත්ද්‍රව්‍යත්, සිගරට්ද, අරක්කුද, නීති විරෝධී මත්ද්‍රව්‍යද මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමයි අපි රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ සෞඛ්‍ය අමාතත්‍යාශය, අධ්‍යාපන අමාතත්‍යාශය, ක්‍රීඩා අමාතත්‍යාශය, රාජ්‍ය පරිපාලන, පොලිස්, ත්‍රිවිධ හමුදා මේ සියල්ල එක්ව මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් මේ පුළුල් වැඩපිළිවෙළ ආරම්භ කළේ. මම ඊයේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් පැවති වැඩසටහනකදී ප්‍රකාශ කළා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අධ්‍යාපන අමාත්‍යංශය, ක්‍රීඩා අමාතත්‍යාශය ඒකාබද්ධවූ අලුත් වැඩසටහනක් අපි තව සති දෙකකින් ආරම්භ කරනවා කියා. මේ රටේ පාසල් දරුවන් හා විශේෂයෙන්ම නව තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සඳහා සුජාත දරුවෝ කියන වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ වැඩසටහන තුළ පාසල් දරුවන් ‍වගේම රටේ සෑම ප්‍රදේශයකදීම තරුණ පිරිස් මේ වැඩසටහන්වලට එකතු කරලා මත්ද්‍රව්‍ය, පරිසර සංරක්ෂණය ඒ වගේම වකුගඩු රෝග වැනි සමාජයට බලපාන ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් දැනුවත් කරලා ඔවුන් එය පිළිපදිනවා වගේම ඔවුන් පණිවිඩකරුවන් විදියට සමාජයට යැවීමට කටයුතු කරනවා."

මාතෘකා