මම සැතපුම් අටදාහක් ගෙවාගෙන ආවේ මංගල නිසයි

 ඡායාරූපය:

මම සැතපුම් අටදාහක් ගෙවාගෙන ආවේ මංගල නිසයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපති - සමැන්තා පවර්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට 30 වසරක් සපිරීම නිමිත්තෙන් ‘ඛේමාගේ කොලුවා’ නමින් විශේෂ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙහි විශේෂ දේශනය පැවැත්වූයේ ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පාලන සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිවරිය ලෙස කටයුතු කළ සමැන්තා පවර් මහත්මියයි. එහිදී ඇය කළ දේශනයේ සම්පිණ්ඩනයක් මෙසේ සටහන් කරමු.

පරිවර්තනය [බුද්ධි කරුණාරත්න]

අද දවසේ මේ අවස්ථාවට පැමිණීමට ලැබීම මට මහත් ගෞරවයක් පළමුවෙන්ම කිවයුතුයි. ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමයේ කැබිනට් මණ්ඩල සාමාජිකයකු ලෙස 2015 වසරේ මෙරටට පැමිණීමෙන් පසු මා මෙසේ නැවත පැමිණෙන්නේ ප්‍රථම වතාවටයි.

ශ්‍රී ලංකාව ඇමරිකාවේ සැබෑ මිත්‍ර පාර්ශ්වයක් වන අතර මා විසින් එදා අරඹනු ලැබූ බොහෝ සම්බන්ධතා මේ වනවිට වඩාත් ඵලදායී ලෙස සාර්ථක වී තිබීම සහ සැබෑ අර්ථවත් ඒවා වීම ගැන මට ඇත්තේ විශාල සතුටක්.

මේ අවස්ථාව වනවිට මා අලුත් පොතක් ලිවීමේ අවසාන අදියරේ පසු වනවා. මා නොකඩවා වැඩ කරන අතර වෙනත් එදිනෙදා ගෙදරදොරේ වැඩක්වත් කිරීමට මට වෙලාව සොයාගැනීම අපහසුයි. ඒත් මේ සියල්ල මධ්‍යයේ සැතපුම් 8,000ක් දුර ගෙවාගෙන මේ ගමන ඒමට එකම හේතුවක් තිබුණා නම් ඒ වෙන කිසිවෙක් නොවේ, මංගලයි.

වසර 8ක් ඇමරිකානු ආණ්ඩුවේ රාජකාරි සිදු කළ කාලය තුළ මා සම්බන්ධ වී කටයුතු කළ විශේෂතම පුද්ගලයන් අතළොස්සක් සිටී නම් මංගල එයින් එක් අයකු බව නිසැකවම කිව හැකියි. ඒ නිසා තමයි අද මා මේ උත්සව අවස්ථාවට පැමිණියේ.

මේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වන ඔහු ගැන කුමන ආකාරයෙන් කතා කළයුතු දැයි මා ඔහුගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වුණේ, “මං ගැන අඩුවෙන් කතා කරන තරමට හොඳයි.” කියලයි. මේ උත්සවය මංගල නිමිත්තෙන්ම පවත්වන එකක් වන විට ඇමරිකාවේ සිට පැමිණි මට ඒ කියූ දෙය අදහාගන්න බැරි වුණා.

මගේ රටේ හිටපු ජනාධිපතිවරයකු වූ තියඩෝර් රූස්ට්වෙල්ගේ දියණියක් තම දේශපාලනඥ පියා ගැන මෙවැන්නක් පවසා තිබෙනවා.

“දේශපාලනඥයන් සෑම මළගෙදරකදීම මිනිය බවට පත් වනවා. සෑම මඟුල් ගෙදරකදීම මනාලිය බවට පත් වනවා. සෑම ක්‍රිස්තියානිකරණයකදීම බිලිඳා බවට පත් වනවා.”

මා කැමතියි අපේ කාලයේ ප්‍රධාන අභියෝග මොනවාද? මංගලගේ වසර 30ක දේශපාලන ජීවිතය පදනම් කරගෙන ඉගෙනගන්න තියෙන්නෙ මොනවාද කියා කතා කරන්න. ඒවාට අප මුහුණ දෙන්නේ කෙසේදැයි වැඩිදුරටත් කතා කරන්න. මා විශ්වාස කරන අන්දමට මංගලගේ ජීවිතයේ කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ අභිමානය, නවීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණායි.

අප අසා තිබෙනවා මංගල වෘත්තීය ජීවිතය පටන්ගත්තේ මෝස්තර නිර්මාණ ශිල්පියකු වශයෙන් කියලා. හිටපු විශිෂ්ට මෝස්තර නිර්මාණ ඡායාරූප ශිල්පියකු පවසා තිබෙනවා විලාසිතාව අපේ එදිනෙදා ජීවිතයේ ආරක්ෂාවට ඇති ආවරණයයි කියලා. ඉතින් ඒ අර්ථයෙන් මංගල තම තරුණ වයසේ ඉඳලාම කෙනකුට තම ජීවිතය ආකර්ෂණීය ලෙස ගත කිරීමට උදවු කර ඇති බව පේනවා. මෙහිදී ඔහු කෙනකුට උදවු කිරීමෙන් නොනැවතී, අභිමානය වර්ධනය කිරීමටද උපකාරවත් වී තිබෙනවා. ඔහු දේශපාලන කටයුතුවලට උනන්දුවෙන් සහභාගි වන්නට පටන්ගත්තේ 1980 දශකයේ අගභාගයේදී. ඒ එවකට පැවැති ආණ්ඩුව විසින් දකුණේ නැඟී ආ මාක්ස්වාදි තරුණ කැරැල්ල පීඩාකාරී ලෙස මර්දනය කරන ලද අවස්ථාවේදී, ඔහුගේ උපන් නගරයේ පාරවල් දිගේ මළ සිරුරු දමා ගොස් තිබූ කාලයක, නැති නම් විදුලි කණුවල මළ සිරුරු එල්ලා තිබූ සමයකයි. විශිෂ්ට වූ ප්‍රබුද්ධ වූ පුරෝගාමීන් වූ මවක සහ මුල් පෙළේ මානව හිමිකම් නීතිඥයකු වූ පියකුගේ පුත්‍රයකු වූ මංගල මන්තරයක් මෙන් නිතර තමාටම කියූ දෙයක් වී නම් “මට වෙනසක් කළ හැකියි.” යන්න හැර වෙන යමක් නොවේ.

මංගල, ඔබ වෙනස්කම් රාශියක්ම සිදු කළ බව අනෙක් අය සහතිකවම පවසනවා. ඇතැම් කටයුතු ඔබ ආරම්භ කළේ තනිවමයි. මා ඔහුගේ මිතුරන්ගෙන් ඇසුවා මංගලගේ සේවා ඉතිහාසයේ කැපීපෙනෙනම කාරණය කුමක්ද කියලා. මට ඇසුණේ එකම වචනයයි. ඒ තමයි අභිමානය. හැමෝම කිව්වේ ඒ වචනය විතරයි. සැම පුද්ගලයකුම තමා කෙරෙහි ගෞරවය ලැබෙනවාට කැමැතියි. කෙනකුගේ පෞද්ගලික අභිමානය සුරැකීමට ක්‍රියා කිරීම මංගලගේ වෘත්තීය ජීවිතයේ ප්‍රධාන අරමුණක් වෙනවා.

ඔහු හා සම්බන්ධ දෙවැනි කාරණය ලෙස මා දකින්නේ නවීනත්වයයි. මංගල නවීනත්වය ගැන ඉහළින්ම විශ්වාසය තැබූ කෙනෙක්. ඇමරිකාව ඇතුළු ලෝකයේ අනෙකුත් රටවලට තම රට විවෘත කිරීමට ඔහු ප්‍රමුඛත්වය දී කටයුතු කළා. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ක්‍රමෝපායන් සාකච්ඡා සාර්ථක කර ගැනීමට කටයුතු සම්පාදනය කිරීමට ඔහු සමත් වුණා. ශ්‍රී ලංකාව විවෘත ආණ්ඩු ප්‍රතිපත්තියට යන බව ඔහු 2015දී ප්‍රකාශ කළා. එසේම සහශ්‍ර අභියෝගතා සහජීවනයට ඔහු ශ්‍රී ලංකාවේ අයදුම්පත යොමු කිරීමට කටයුතු යෙදුවා. මෙහි ප්‍රතිඵල දැන් ළඟා වෙමින් පවතිනවා. යටිතල පහසුකම් ව්‍යාපෘති, ප්‍රවාහන සහ කෘෂිකාර්මික අංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 480ක ස්ථිර ප්‍රතිලාභ දැන් ළඟා වෙමින් පවතිනවා. මේ කටයුත්තට නායකත්වය දෙන්නට පෙර ඔහුගේ රාජකාරි ජීවිතයේ කලින් අවධියේදී එනම්, තැපැල් සහ විදුලි සන්දේශ ඇමැතිව සිටි කාලයේ,

ශ්‍රී ලංකාවේ විදුලි සන්නිවේදන කර්මාන්තය පෞද්ගලීකරණය කිරීමට නායකත්වය දුන් මංගල මේ රටේ එම ක්ෂේත්‍රයට පළමු වතාවට තරගකාරීත්වය හඳුන්වා දෙමින්, සමස්ත ශ්‍රී ලාංකිකයන්ට විදුලි සන්දේශ පහසුකම් ලබාගැනීමට තිබූ බාධා සහ ප්‍රමාදයන් ඉවත් කර දුන්නා.

මිලියන 21ක් වන ශ්‍රී ලංකාවේ අද දවසේ ජනගහනය සතුව ජංගම දුරකථන මිලියන 34ක් තරම් ප්‍රමාණයක් තිබීමේ වැදගත්කම රටේ ආයෝජන සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් පදනමක් වෙනවා. මෙවැනි දියුණු සන්නිවේදන ජාලයක් තිබීමෙන් නවීන තාක්ෂණයේ බලපෑම තුළින් සමාජ ජාලා වෙබ් අඩවිවල සිට කෘත්‍රිම බුද්ධිය දක්වා අංශවල නව පිබිදීමක් ඇති වීමට මාර්ගය සලසනවා. මෙහි අඳුරු භාවිතාවන් නතර කිරීමට ආණ්ඩුවක් පියවර ගත යුතුයි. මා සිතනවා නවීන තාක්ෂණයේ බලපෑම සම්බන්ධයෙන් අප ඉතා විචක්ෂණ ලෙස බැලිය යුතුයි කියලා. මේ මඟින් නැවුම් චින්තනය, විචාරාත්මක දැක්මක් ඇතිවන අතර ප්‍රතිපත්ති සම්පාදකයන්ට මේ කටයුතුවලදී විශිෂ්ට තීරණ ගැනීමට මඟ සලසනවා. මෙය තාක්ෂණික සංවර්ධනය සඳහා දේශපාලන ප්‍රතිපත්තිවල බලපෑමක් තිබෙන බවට හොඳ උදාහරණයක්.

තුන්වන කරුණ වන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමේදී මංගල ප්‍රජාතන්ත්‍රවාදය අපේ පාලන තන්ත්‍රයේ මුල් ගල් ලෙස දකිනවා පමණක් නොව, ඒවා ශක්තිමත් කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කළා. ඔහු පුරෝගාමී පුරුෂයකු ලෙස ඒවා ශක්තිමත් කිරීමට කටයුතු කළා. මේ රටේ කෙසේදැයි මා දන්නේ නෑ. 1984 වැනි කාලයේ ඇමරිකාවේ මිනිසුන් මිලදී ගන්නා, වඩාත් වේගයෙන් අලෙවි වන දේශපාලන පොත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මිය යන්නේ කෙසේද, ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ කෙසේද, මහජනතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය. ඔන්න ඔය වගේ මාතෘකා තිබෙන පොත් බව මට කියන්න පුළුවනි. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ බව පෙන්වන මේ පොත් නිකන්ම පැමිණෙන්නේ නැහැ. ඒවා විනාශකාරී බලවේග විසින් කරළියට ගෙනඑනු ලබන ඒවායි. එදා, 1992 තරම් අතීතයේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන මා පිටවූ කාලයේ අතිශයින් ජනප්‍රිය වූ පොතක තිබූ කරුණක් මගේ මතකයට එනවා. ලිබරල්වාදයේ ප්‍රධාන චින්තකයකු වූ ෆ්රැන්සිස් ෆුකුමායාගේ “ද එන්ඩ් ඔෆ් හිස්ට්‍රි ඇන්ඩ් ද ලාස්ට් මෑන්” ග්‍රන්ථයේදී ඔහු පැවැසුවේ “සෑම ප්‍රජාතන්ත්‍රවාදී මනුෂ්‍ය සමාජයකම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නිරන්තරයෙන් විප්ලවයන් ඇතිවන බවයි” එහෙත් එය එසේ නොවන බව පසුකාලයේ අත්දැකීම්වලින් අපට පෙනෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන තරමටම එය ගිලිහෙන බවද අපට පෙනෙනවා. ඇමරිකානු සමාජයේ මෙන් පරිපූර්ණ නිදහසක් ලබාගැනීම කෙනකුට ඉලක්ක කරගත හැකි හොඳ ආදර්ශයක් විය හැකියි. ඒත් අපට එය පිටතින් ලබාදිය නොහැකියි. ඒත් අප බොහෝ ඒකාධිපතියන් දෙස බැලුවොත් ඔවුන්ට තම ජනතාව වෙත පෙරළා දියහැකි දේ කුමක්දැයි බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදය නඟාසිටුවීමට සහ අලුත් කිරීමට අප සැම දෙනාටම කළ හැකි කාර්යභාරයක් ඇති බව පෙනී යනු ඇති. මෙහි සිටින අප කිසිවකු බියකරු ලෝක යුද්ධයකට මුහුණ දුන් අය නොවෙයි. එහෙත් ලංකාවේ සිටින ඔබ දශක තුනක් තිස්සේ කුරිරු සිවිල් යුද්ධයකට මුහුණ දුන්නා. එය අවසන් වී තවම ගතවී ඇත්තේ දශකයකට ආසන්න කාලයක් පමණයි. අප සැම දෙනාම ජීවත් වන්නේ අප එකිනෙකා දේශපාලනය ගැන දක්වන විශ්වාසය පරීක්ෂාවට ලක්කළ හැකි සමයකයි.

මේ නිසා මතුවන යම් යම් ප්‍රශ්න පසෙක තිබියදී අපේ ශක්තිය යෙදවිය යුතු වන්නේ ඒ පුද්ගලයන් ආරක්ෂාවක් ඇතිව සිටීමට කැමැති කොහේද, දේශපාලනයට මානුෂික අර්ථයන් ඇතුළු කරන්නේ කෙසේද යන්න ගැන කටයුතු කිරීමයි. ලෝකයේ ඇති වැරැදි සහගතභාවයන් ඇතැම් පුද්ගලයන් විසින් නිවැරදිවම හඳුනා ගන්නවා. ඒත් වඩා යහපත් ලොවක් ගොඩනැඟීමට ඔවුන් කැපවනවා. මංගල අයත් වන්නේ අන්න එවැනි මිනිසුන් ගොඩටයි. එසේම මම අද ඔබ සමඟ එකතු වන්නේත් සැමදාමත් ඔබ සමඟ සිටින්නේත් වසර තිහක් ඔහු කළ සේවය අගය කිරීමටයි. වඩාත් හොඳම දේ ඉදිරියේදී පැමිණෙන බව අප සැම දන්නා කරුණක්.

මාතෘකා