නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි ජීවිතය පත එකට සින්දූ තැනකි

 ඡායාරූපය:

නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි ජීවිතය පත එකට සින්දූ තැනකි

ප්‍රකට චිලියානු කිවි පැබ්ලෝ නෙරුඩා ගේ කවියක මෙසේ සටහන් වී තිබුණි. "නිහඬතාව හරිත පැහැ විණි. ආලෝකය තෙතබරිත විණි. ජුනි මාසය සමනළයෙකු සේ සලිත වන්නට විණි". නෙරුඩාගේ කවිවල ඇති ත්‍රිමාණික ස්වරූපය ජීවිතයේ අඳුරු වේදනාභරිත කලාපයන් සෙමෙන් පිරිමදින මඳනළක් බඳුය. ඒ නිසාම යළි යළිත් ජිවිතය දෙස හා ඒ හා බැඳුණු සජීවී අජීවී සියලු වස්තූන් කෙරෙහි ප්‍රේමයෙන් හා මනුස්සකමින් බලන්නට අපව පොලඹාලයි.

මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ 'නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි' කාව්‍ය එකතුව සම්පූර්ණයෙන්ම පාහේ මිනිස්කමින් පිරුණු ප්‍රේමණීය දිවියක හරස් කැපුමක් බඳුය. ඇගේ සමස්ත ග්‍රන්ථය පුරාම දැකිය හැක්කේ ජීවිතයේ අත්පත් කරගැනිම්, අත්හැරීම්, ජයග්‍රහණයන්, බිඳවැටීම් පිළිබඳ ඇය තුළ උපදින උපේක්ෂාවයි. සමස්ත මානව වර්ගයා විෂයෙහි කවියෙකු, සාහිත්‍යකරුවෙකු පැවතිය යුතු යැයි අප සිතන මානවවාදී ගුණය ඇගේ කාව්‍ය නිර්මාණ තුළ මොනවට ගැබ් වී තිබේ.

පරිස්සම් වූ දෙපා සලකුණු

වැසී රඟ දෙන සිරි මැවිය යුතු

උරිස්සක වැකි කඳුළු වියැකී

හැරී මඳහස් බැලුම් පෑ යුතු

කිනිස්සක රැඳි මියෙන හදවත්

පියාපත් ලැබ ඉගිල යා යුතු

දහස් ඇස් මත හුදෙකලා සිත්

තබා මෘදු අඩි ඇවිද යා යුතු

(මාවතක් තැනිය යුතු - පිටුව 11)

කෘතිය ආරම්භයේදීම ඇය පවසන්නේ පවතින්නා වූ සහස් රිදවුම්වලින් වේදනා ජනිත ලෝකය සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ආරම්භයක් ගත යුතු බවයි. එය සම්පූර්ණයෙන්ම ආදරයෙන් මනුස්ස කමින් එය සුවපත් විය යුතු බවයි.

කාව්‍යකරණයේදී කල්පනා සතු ප්‍රබලම අවිය වන්නේ ඇය ලෝකය කෙරෙහි හෙළන නොබැඳි, කාරුණික බැල්මයි. එය ඕජෝ ගුණයෙන් යුතුව ප්‍රකාශ කරන්නට ඇය සතුව අපූර්ව කවි බසක්ද තිබේ. මේ සංයෝගය ඇගේ කවිය ශ්‍රී ලාංකික කාව්‍යක්ෂේත්‍රයේ ඉහළින් රඳවන්නට ජවය සපයා දෙයි. මේ ඇගේ සුවිශේෂ කවිබසට සාක්ෂිය.

අතුරු මං මාවත්හි ඇවිද ගිය හීනය

උතුරු සළු නොතැවරුණු උරිස් උප වීණය

පතුරු ගැලවුණු පසුත් මිය නො ගිය ප්‍රේමය

ඉතුරු වූ කෙටි සමය හිමි අහිමි දේ ම ය

(බෙදා ගත් ආදරය තරුවක් ව ගිනි ගනී - පිටුව 16)

පේරාදෙණිය සරසවිය තරම් ප්‍රේමය චිත්‍රණයට පාත්‍ර වූ කැන්වසයක් තවත් නැති තරම්ය. ප්‍රේමයම අලවන, එහි වියෝවම වැසි වසින පේරාදෙණිය බිම්කඩ පසුබිමෙහි තියා කල්පනා ගොතන මේ නිමැවුණ අපූරු හෘද සංවාදයකට මුලපිරීමකි.

සරත් කාලෙත් මල් උනපු රොබරෝසියා ගස

තොරක් නැති මතකෙක මුල විතරමයි දැන් වළ මැද

ඉඳහිට නැගෙනහිර වෙරළින් ලියුම් ආ දෙස

නො බලා නො සෙල්වී සිටියි කිස් බෙන්ඩ් එක

--

වරක් පමණක් සිටගත් තැන

දුරක් ගිය ගමන ඇරඹුණ, නිමා වුණ තැන

සක්වා ළිහිණි ඉගිල්ලුණු තැන

අක්බාර් පාලම!

ඔව්; ඒ තමයි තැන

(ඒ තමයි තැන - පිටුව 23)

ප්‍රේමය යනු අත්හැරීම ම ය. බදා හිමිකරගත් තැන ප්‍රේමයේ සුසානය ඉදි වේ. ඒ නිසාම ප්‍රේමයට ප්‍රේමයව පවතින්නට හැරීම තරම් සෞන්දර්ය ජනනීය කාරණයක් ලොව තවත් නැත.

අල්ලා නො ගත්තේ වැරෙන්

රිදවනු බැරිකමට මිස

දල්වා තබන්නට පහන් කොයි වෙද

ඔබත් නික්මුණු විට

අල්ලා දිනා ගන්න තරමට

මහරු දේ නැති ලොව

ඉන්නා තැනක ඔබ යෙහෙන් ඉඳුම ය

ප්‍රේමයේ අනුහස

(ඒ මගේ හිත - පිටුව 27)

පිපෙන පිපෙනා මල් මත

අතුර අතුරා සුවඳ මුවරද

ඉතිරි කර ගත් දෙයක් නැති එක

ඒ තමා ගසක සෙනෙහස

(ගසක හදවත එහෙම ය - පිටුව 29)

කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳිය ගේ 'නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි' කෘතිය සමස්තයක් ලෙස ගත් කල මානව ප්‍රේමය තරම් සොඳුරු පැවැත්මක් ජීවිතයට තිබේද යන්න යළි අප වෙතින්ම ප්‍රශ්න කිරීමට අපව පොලඹවාලන කෘතියකි. ඇය ජීවිතයේ ඉසියුම් කලාපයන් තුළ කාලාන්තරයක් පුරා රැඳී ඇති අඳුරු පින්සල් පහරවල් අතර ඇති ආත්මිය හැඩතල කවියෙන් අපට පෙන්වා දෙයි. උපභෝග පරිභෝග වස්තු සම්පාදනය එකම අරමුණ කරගත් වත්මන් දිවි පෙවෙත තුළ ඇති නිස්සාර බවත්, ජීවිතය යනු ඊට ප්‍රතිපක්ෂ වූ විඳීමක් බවත් සිය නිර්මාණාලෝකයෙක් අපට කියා දේ.

ඉතිං මේ සරත් ඍතුව

පුදුමයකි

පත් හෙළා උරහිස් ගස්සන

--

නමා හිස සෙමෙන් මුදු ලෙස

පමාවට කරුණු විමසන

'ඉතිං කම් නෑ' කියා හිස පිරිමැද

පුරුදු මදහස හෙමින් අතුරන

උද්‍යානයක් වෙන එක

කළ හැකි ඔබට විතරය.

(ඔබ නම් වන සරත් ඍතුව හෙවත් පුදුමය - පිටුව 62)

කෙසේ වෙතත් 'නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි' කාව්‍ය එකතුව අද්‍යතන කවියේ අපූරු එක් ස්වරූපයක් වදන් චිත්‍රයක් ලෙසින් අප ඇස් ඉදිරියේ එල්ලා තබන්නට කල්පනා සමත් වේ. සමස්ත කෘතියේ සමුදයාර්ථයම කැටි කොට ඉදිරිපත් කළ හැකි ඇගේ ම කවකින් මේ සටහන නිමා කරන්නට රිසි වේ.

එමග පසු කළ මල් ද ගොකටු විෂ රැන්දූ

ඒ ඔලොගු තුළ රැඳුණු සිහින හා සිංදූ

ඒ ස‍ඳෙහි සෙවණ යට වැටුණු පිනි බිංදූ

ඒ තමා ජීවිතය පත එකට සින්දූ

(ඒ තමා ජීවිතය පත එකට සින්දූ - පිටුව 13)

ඇත්තය. "නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි" කාව්‍ය එකතුව ජීවිතය, පත එකට සින්දූ තැනෙකි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා