කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

දැවී අළු වූ වලාකුළු අහසින් වැටී සිත ගත් වසා
ඒ සුසුම් බර නුසුළ ඉස බිම බලාගත් වන ඇස් වසා
හිඳී ගිය මුවගින් නොනික්මෙන විලාපය යැදුමන් අසා
පැරද සැඩ හිර වඩිනු මැන දෙව් සිසිරකර දන අස් වසා

[භාරත රන්කොත්ගේ]


ඔරලෝසු

හතරමන් හන්දිය මැද
ලොකු බට්ට ඔරලෝසුවේ
හතරේ කනිසම
ඩාං...ඩාං...

ඔරලෝසු මිනිස්සු පේළි පේළි
ටික් ටොක් ටික් ටොක්
තාලයට අඩි තියන
තාලයට බව නොදැනම
අදිසි අත් දෙකක අත්පුඩියට

අහසේ පවා ඔරලෝසු වලාකුළු
(ඩාලිගේ ඔරලෝසු වගේ)
ඇද වෙවී දික් වෙවී
හෙමි හෙමින් ඉදිරියට ඇදෙන

කාලය බෙදා ඉරි කෑලිවලට
එකින් එකට පනින තප්පර මිනිත්තු පැය කටු
ටික් ටොක් ටික් ටොක්
මොළේ අවුල් කරවන ඒ තාලය

ඉර වටේ යන ඒ යන්තරේ කෙඳිරිය...
ටික් ටොක් ටික් ටොක්
එකිනෙක වෙන් කළ නොහැකි
එකම මලකඩ හඬින්
එකට එක් වී වෙන වෙනම ගයන
ටික් ටොක් ටික් ටොක්

හදිසියේ කොහෙන්දෝ ආ
පුංචි නිල් කුරුල්ලෙක්
ලයිට් කම්බියක වසා
දේදුනු පාට ගීයක් ගයන
නතර වී මොහොතක් අසා සිටියෙමි
කුලෙන් කුලට පැන
ගලා යන ඒ සිහිලැල් පෙම්බර ගීය
කුඩාකල පටන් කාලය විසින් සොරාගත්
සියලු දේ තිබුණි එහි

නිසල විය හදවත දතිරෝද පටි ලීවර
ඒ වටා ලියලා මස් ලේ නහර වැල්
පිපුණි රත් පැහැ කුසුම්
අලුත් හඬක් බිහිවිය විය ඒ තුළ
ලබ් ඩබ් ලබ් ඩබ්

[තරින්ද්‍ර ගලහේන]


නින්ද
මඳකුදු නැතිව

හුදකලා නිශාන්තය..
පාළු සඳ කිරණ ගඟ ගිලුණ
වාරුවක් ගෙන අතීතයේ
මාරුතය හමා එන දොර වැසුව

මේ නිහඬ හඬ පිරි
තාරුකාවන්ටම උරුම
සාගරේ පවා රැළි ඇදීමෙන්
වන තරුණ
මේ තමයි රැයෙහි පැය
කළුවෙහිම ගැලෙන
ඉන් වෙළෙන

මාරුතේ හමා එන
අතීතයකින් උරුම
පාරුවක් හෙමින් එන
ඒදණ්ඩ යටින් තවම
බලා ඉන්නට කිවුවත්
බැරි වූ නිසාවෙනි තනිව...

[දිල්මිණී හසින්තා]


පතක් අග ජීවිතය
යළිත් මඟ නොහැරෙන්න!

පණුවෙක් වුණත් ඇහිඳියි රස උරා බොන අහු මුලු
කණුවකට පුළුවන්ද තනියම නිශ්චල ගමන් යුහුසුලු
අණුවක් කියන්නෙම අලුත් උපතක් වගෙයි බියසුලු
හණුවක හැපෙනු තෙරපෙනු බුලතක සියුම් දළු රළු

පේවෙන්න පුළුවන් ඉතින් අතීතය හැර දමා
වාවන්න දුක කොහෙන් නම් සොයන්නද රස අමා
සෑහෙන්න හිත් නිවන්නට නැවතුම් ද දැන් නැත නිමා
හා මෙන්න අරගන්න ඔය ජීවිතය ඇති කොමා

තිතක් පමණක හිතක් යන්තමින් ඔසවන්න
පතක් අග සීරුවට ජීවිතය දල්වන්න
අතක් බර මිටක් වුව යළිත් මඟ නොහැරෙන්න
විතක් ලෙළවා හෙටත් සාදයට පැමිණෙන්න

[කසුන් සමරතුංග]


ලස්සනම දවස

හෙට තමයි පේරාදෙණිය ලස්සනම
සමහර විට...

බාබන් ඩේසියා කැන්නස් රතු රෝස
පිපිලා තියෙන්නත් පුළුවන්
කැලේට පිපුණ බාලොලියා තාරුකා
පරවෙලා යන්නත් පුළුවන්
ඇඟ පුරා ආසාදනය වුණ පසු
නිමා වුණ ප්‍රේමයක අළුහන්
මම ලියා ගන්නවා මටම කවියක්
ඒකෙ රීතිය 'යවහන්'

මතකයි නේද අර සමනළයා
ආවෙ නෑ නේද තාමත්
සමහරක් විට එන්නෙ නැති වෙයි
ඌ දැන් හොඳටෝම හාමත්
දවස තිස්සේ මුමුන මුමුනා
අපි ගැන මොන මොනවා කීවත්
අයිති නැති තැන්වලින් හිමිහිට
යන්න වෙනවා කෝමත්

මල් කැකුළු කොච්චර තියනවද
පිපෙන්නට පෙර පරවෙන
අමාවක බව දැන දැන ම
හිස් අහසකට හිනැහෙන
ජීවිතේ පිණි බිඳක් වාගෙලු
මොහොතින් තණ අගින් ගිලිහෙන
ඒ වගේමයි මේ කතාවත්
සුසුමක් එක්ක හිනැහෙන

හිටි ගමන් හීනෙනුත් ගැස්සෙන
මතක තියනවා මට හොරා ලිස්සන
මේ කවියෙ තියනවා මම මගෙ අත්සන
හෙට තමයි පෙරාදෙණිය ලස්සන

[රුහුණුකෙත දම්මදේව හිමි]


කුරුටු ගෑ
රාජකාරි ලිපියක්

පිළිතුරු ලිපියක් මග නොබලන හෙයින්
මගේ ලිපිනය නොලියමි
කටපාඩම්ම මතකය හෙමින් හෝ
ගෙවී යා යුතු හෙයින්
ඔබේ ලිපිනය පමණක් ලියමි

අද නැතත්, පෙර බොහෝ හිතවත්
මහත්මයාණෙනි,

හඳුනාගත් සැණින් මේ අතකුරු
ලියමනට උරුම තැන දනිමි.
එහෙයින්,
සියල්ල එකට කැටි කොට
මාතෘකාවේ තවරමි

සමාවෙන්න!

උස්ව සාදා
මහත් වූ උත්සවශ්‍රීයෙන්
ඔබට පිරිනැමීමට තනන ලද
සුවිසල් දායාදයන් රහිතව
ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න...

මග තොට යන්නවුන් විසින්
දෙවරක් හැරී බලනු වෙනුවට
එක් වරක් වත්
නොසෙල්වෙන දෑසින්
බලා හිඳීමට තරම්වත්
නොතරම් රුවකින්
ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න...

සයුරු තලාවල දිව නොයන
වැහි අඳුරු ළඟ තුරුලු නොවෙන
අතොරක් නැතිව
තොඳොල් බස් නොදොඩන
යථාවාදී දැඩි හදකින්
ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න...

යන්නටම යන දවසේත් ඔබ,
'යළි හමුවෙමු' යි කී
මුසා බස් ඉවසා
ඔබ නවත්වාගනු වෙනුවට
ඔබව නවත්වාගන්නැයි
හිතට වද දුන් හිතුවිල්ල නවත්වා

අදටත් දුරට වී
ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න...

මෙයට,
ඔබව විශ්වාස කළ හිතක්...

[රසිකා ප්‍රනාන්දු]

මාතෘකා