කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

මනු-වස්ත්‍ර

ඇඳ පැළඳ මනු-වස්ත්‍ර
බලන් වානරයන්
සිනාසෙන රඟ !

චාල්ස් ඩාවින්
ඒ ඔබේ නෑදෑයන් !

වානරයන් වූ මානවයන් ද
මානවයන් වූ වානරයන් ද
ඩෙස්මන් මොරිස්
කෝ ඔබ කියූ
නිරුවත් වානරයන් !

මන පිනවන
නෙක නෙක සළුපිළි මැදුරු
නෙත නෙත පිනවන
සළුපිළිය විසිතුරු
අත අත කාසි හිඟ වූ කලකි අඳුරු
එ'කල අහිමි දෑ දිවියට නුහුරු
ඉතිං මඟහැර යමි මහ වෙළඳ ඉවුරු

"සිසු සමයෙහි
ජීවිතයේ අවපස දවසක
සිනාසුනහ බාලිකාවෝ
සරදමින් මට
පරවුණු අවපැහැ
මගේ වස්ත්‍ර දැක
නුඹේ පෙනුම
කසල ශෝධකයකු මෙනැයි

හිරිමල් සමයෙහි
ජීවිතයේ පුරපස දවසක
සිනාසුනහ මානවිකාවෝ
පසසමින් මා
පිපුණු පැහැසර
මගේ වස්ත්‍ර දැක
නුඹේ පෙනුම
කඩවසම් නළුවකු මෙනැයි"

ගත දැවටුණ කල දළ සළු
පෙනුම එකල වීය විසුළු
හැඳ පළඳින අද දිව සළු
පුදුමෙකි සිත වන සැටි රළු

සු.ප්‍රි. සමරසිංහ


අනාවැකිය

ඉදිරි පැය
විසිහතර තුළ

මඳින් මඳ
ඉකිබිඳුම්
ගිගිරුම්
කඳුළු වැසි සහිත
සුලිසුළං තත්ත්වයක්
වර්ධනය විය හැක

පොතේ
ලියා ඇති නිසා
අප අතිනත් ගත් දිනය
හිතේ
තියා ගන්නට
බැරි විය

නයනසේන වන්නිනායක


තාත්තාගේ ආදරය නොලැබූ
දූවරු වෙනුවෙන්
පියවරුන්ගේ දිනයේදී

උණුහුම විඳින්නට නැති තුන් පත් රෑනේ
දිනිසුරු නැති ලොවක එළියෙන් එක පානේ
දකිමින් යළි හෙටත් එළිවෙන්නැති හීනේ
දූවරු අදත් නිදියයි පැල නැති හේනේ

දක්ෂිණා වික්‍රමසිංහ


අලුගෝසු තාත්තා

මහමෙර සදිසි දිවිබර උර මත දරන
රළු පපුවට යටින් මුදු හදවත දිලෙන
මගතොට දෙපස පිළිකෙව් නෙත් මඟ හරින
ගෙ පැලට වඩින සඳ සම්පත නුඹ පමණ පමණ .....!

වාන් දමන දරු සෙනෙහස නිමක් නැතී
පාන් පැළ අසල නිති පා ලකුණු ඇතී
හීන් ලණුව වෙව්ලන දෑතකට එතී
රූං හඬින් හදවත් ඉකි බිඳිනු ඇතී....!

පාසැල් දෙගුරු සමිතිය දොරගුළු ලාය
පෝදා සුදු උවැසි නෙතු ගැරහුම් බෝය
පිංකම් පොළේ දන දන කසුකුසු ගාය
හවසට ගෙට වදින නුඹ ගිජිදකු සේය..!

විෂ හීසර පමණි යන එන මඟ හසර
දිවිමං තලාවත් නිරුදක වැලි කතර
නිති කකියන දැවෙන නුඹේ සිත් මල විතර
රිදුමක් කොහිද නොහැඟේ රළු දිවි සසර...!!

නිශාන්ත මල්ලවආරච්චි


ප්‍රේමයේ විසල් බර

රාක්ෂ මන්තර දන්නාමුත්
දේවදූතයන් ගැන කෙටිකතා
ඔබ වෙතට ගෙන එමි

වැලි කතරක හුස්ම ගන්නාමුත්
මීදුමෙන් වෙළුණු සිහිල් වනරොදක
පාට ඔබ වටා තවරමි

රෝස කටුවක වේදනා දැනුණද
පිච්ච පෙතිවල ඉරි ඇදුණු විදිහ
ඔබට කවියකින් ලියමි

බොර පාට ඇස්වල තැවරුණද
සිහිනෙන් ඇසෙන ඒ වයලින් නද ගැන
ඔබව දැනුවත් කරමි

සොඳුර මේ ප්‍රේමයේ විසල් බර
කුඩා පිහාටුවකට කැටි කොට
ඔබේ හද වෙතට පා කරමි

අයු ප්‍රනාන්දු


හිමරටට ගිය දුවනී

සුදෝසුදු හිමරටට රැයක දි
පාව ගිය දූ කුමාරි
කඳුළු මල් තබමින් දෙඅත්ලට
මුදු සුරත පෑ ඉඳුවරී

අහස් වියනේ වලා පෙළ මැද
පැතුම් සිහිනෙක වෙළි වෙළී
අහස සිදුරු ව යන තරම් දුර
ගියා ගුවනින් ඉගිල්ලී
නොසිඳේය මේ කඳුළු උල්පත
දකින තුරු දූ කිරිල්ලී

දිවිය නිරතුරු ජය ලබන්නට
පාර සොයනා රුවැත්තී
ලොව උතුම් බැඳුමකි ය දරු පෙම
සුසුම් සුළඟේ ගිය වෙළී
සීතලට ගංගා ගලා ය යි
හදවතේ ඉවුරු ම බිඳී

උත්‍රා කුමාරි රණසිංහ


ඉතිහාසය

සැබැවින්ම මට සහතිකයි
ඉතිහාසයට මා අමතකයි,
කියනු හැකිදැයි මට සැකයි
එය මගේ යම් කිසි වරදකැයි

මතක සිටින්නේ කොහොමද මා ඉතිහාසයට?

ඉතිහාසයේ රැඳෙනුයේ හිනැහෙමින්
රුධිර ගංගා පසු කර යමින්
අසුන් පිට නැඟ ජය ගොස දෙමින්
පෙරට ගිය අය පමණි දද ලෙලවමින්

ගිනි ගෙන දැවෙන හිරු රැස
හිනැහෙන සඳේ මුදු සිසිලස
කගපත්වලින් සිඳ රුදු ලෙස
පෑ අය පමණි මහා උදහස

ඉතිහාසයට මතක ඉන්නේ
මිනිස් හිස් ගෙඩි කඳන් ගොන්නේ
ගැටුණු සිත්පිත් නැති එවුන්නේ
නම් පමණි රන් අකුරු වැන්නේ

මාතෘකා

ජනප්‍රිය ලිපි