'පඬු පැහැ කවි' දිවි අරුත පාට කරනා සිතුවමකි

 ඡායාරූපය:

'පඬු පැහැ කවි' දිවි අරුත පාට කරනා සිතුවමකි

කවියක රස ජනනය හරහා රසිකයා තුළ කිසියම් කුතුහලයක් ගොඩ නගන්නේ ඒ ඔස්සේ කවියේ තුන්වන අරුත මතුකර ගැනීමට රසිකයා පොලඹවා ගැනීමටය. මෙසේ සැඟවුණු අරුතක් සහිතව කවියා විසින් රචනා කරන කවියෙහි සැබෑ අරුත සොයා ගන්නට ගනු ලබන උත්සාහය තුළ රසිකයා ජීවිතය පිළිබඳ වඩාත් ප්‍රඥාසම්පන්න වෙයි. බොහෝ විට මෙසේ අරුත සඟවා තැබීමේ කාව්‍ය උපක්‍රමය සඳහා කවියා යොමු වන්නේ ඔහුගේ සමාජ දේශපාලන දෘෂ්ටිවාදය අනුවය. එය වඩාත් යහපත් පුරවැසි ජීවිතයක්, වඩාත් යහපත් සමාජයක් වෙනුවෙන් දිශානති වී තිබේ.
සෝමසිරි ඒකනායක ගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන "පඬු පැහැ කවි" නිර්මාණ එකතුව තුළ මේ ලක්ෂණය මනාව උපයෝගි කරගන්නා ආකාරය දැකිය හැකිය. ඔහුගේ ඇතැම් නිර්මාණවල හමු වන චරිත එකම චරිතයක අභ්‍යන්තරය හා මතුපිට දැයි විටෙක සිතේ. ඔහු ගොඩනගන චරිතය කිනම් චරිතයක්ද? එය මනෝමය හැඟීමක්ද? නැතිනම් කිසියම් සිදුවීමක්, අදහසක් චරිතයක් ලෙස ගොඩනැගිමක්ද? යන්න රසිකයා විසින් සොයාගත යුතුය. තමන් හා තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට සම්මුඛ කිරීම වැනි අවස්ථා ගණනාවක් චරිත දෙකක ස්වරූපයෙන් ගෙන ඒම මෙම නිර්මාණ කෘතිය තුළ දකින්නට ලැබේ.

ස්මෘතිය අහිමි වූ ගැහැනියක
ඇඳි පුටුවක සුව සේ වාඩිගෙන
ගොතන්නිය
හදවතේ රුවක්
(ස්මෘතිය අහිමි වූ ගැහැනියකගේ ගෙතුමක් - පිටුව 15)
මේ ගෙතුම කරන ගැහැනිය කවුදැයි අපට නිශ්චිතව කිව නොහැක. ඇයට සිය මතකය අමතකය.
ඇගේ ගෙත්තම තුළින්
ඉඳ හිටක සිනාවක් දකින්නිය
සෝමසිරි මේ කියන්නේ ශ්‍රී ලාංකික ගැහැනිය ගැනද? ඇය දීර්ඝ කාලයක් පුරා හදවතක ගෙත්තමක් කළද එය නිමවා ගත නොහේ. ඇය එය ලිහ ලිහා ගොතයි. සෝමසිරි අවසන පවසන්නේ මෙසේය.

ලිහන්නිය ගොතන්නිය
ඇය
උතුරේ ද
දකුණේ ද
කොයි දෙස ද නොදන්නිය.
ඔහු මේ පවසන්නේ හදවතක ගෙත්තම ලිහී ගොස් මතකය අමතකව ගිය ශ්‍රී ලාංකික සමාජය ගැන නොවේද?

හැමදාම හැන්දෑවට
මදුරුතලා ගස්පිටින් උගුල්ලා ගෙනවිත්
අඬු කැඩුණු යකඩ තාච්චියකට දමා
ගේ පුරා ඇවිදිමින්
ඇඳ පුටු මේස යට
වැඩිමනත් දුම් අල්ලා
මදුරුවන් පැරද වූ වීරයා නුඹය
(සුරුට්ටු දුමක නිදන් ගත සුවඳ - පිටුව 23)
මෙහිදී අපට හමුවන පිරිමියා කවුදැයි කවියා නොකියයි. ඔහු කවුරුන් හෝ විය හැකිය. ජීවිතය තුළ විවිධාකාර වූ මතකයන් ඉතිරි කර ගිය කෙනෙකි.

කළු සුරුට්ටුවක දුම් රසය විඳ
අතට අහුවුණු දවසක
පපුවට තෙරපගෙන
අයියලාට නොකියන්නැයි
ඇස් දෙකෙන් ආයාචනා කළ අහිංසකයා නුඹයි
සෝමසිරි ගේ කාව්‍ය නිර්මාණවල දැකිය හැකි පොදු ලක්ෂණය වන්නේ ජීවිතයේ සියුම් සිදුවීම් ගැඹුරට නිරීක්ෂණය කර ඒ තුළින් සියුම් ජීවිත අරුත් මතු කර ගැනීමයි.

දුටුවාද අර අතන
කැහැටු ඉපලක වෙළුණු
සිලි සිලි බෑගයක්
කිසි දා හැර නොයමි´යි
සපථ කරමින්
රැ‍ඳෙන්නට වෙහෙසෙන තරම
(බැඳුම් - පිටුව 28)
'පණිවුඩකරුවෙක් කොහේ හෝ ඇති', 'අපේක්ෂා දැල්වෙන්නේ ආලෝකයකින් තොරවය', 'අසිරිමත් කුසුම', 'මුරුංගා ගසක ශෝකය', 'ගිම්හානයක සීතල', 'සන්තාන ගැඹුරක හඬ නගන නිහඬ බව', 'නික්ම යන සිත්තර පෙම්වතෙකුගේ…'', '(නො) සමුගැනීම්' වැනි නිර්මාණ තුළ මේ සියුම් නිරීක්ෂණාලෝලී බව දැක ගත හැකිය. නමුත් ඔහු එහිදී පවසන්නේ ගැඹුරු ජීවන දහමකි.
සෝමසිරි ගේ 'පඬු පැහැ කවි' නිර්මාණ එකතුවේ ඔහු ගේ දේශපාලන දෘෂ්ටිවාදය ප්‍රබලව මතු කෙරෙන නිර්මාණ කිහිපයක් දැකිය හැකිය. 'හිම වැනි ලුණු', 'මැයි දිනය කල් ගියා', 'ඩැහැගත් ප්‍රේමවන්තයාට', 'වසුරු චන්ද්‍රා ගේ සිහිනය' වැනි නිර්මාණ තුළ මෙය දැකිය හැකිය.

හැමදා ම නැතත්
ඉඳහිට දිනකවත් සිහිනෙන්
කවියක් ව එන්න
එහි පේළි අස්සේ
වැතිරී නිදන්න ඇති තරම්
(ඩැහැගත් ප්‍රේමවන්තයාට - පිටුව 40)
තමන්ගෙන් උදුරාගෙන ගිය ප්‍රේමවන්තයා ගැන ප්‍රේමවන්තිය පවසන්නේ සිය පෙම්වතා පිළිබඳ සාඩම්බර කතාවකි. ඔහු පැහැරගෙන ඇත්තේ ඔහු දැරූ දේශපාලන මතවාදය නොඉවසූ පාලකයින් විය හැකිය. නමුත් ඇයට ඔහු හමුවන්නේ මෙලෙසිනි.

දෙනෝ දාහක් දෙනා
හැඬූ කඳුළින් මුසපත් ව සිටියදී
පය පාමුල වැටී මා හඬද්දිත්
කිසිවක් නොවු විලසින්
හිස කඩා දා පහළට
ලයිට් කණු බඳක එල්ලුවේ
කිසිවෙකු විසින්දැයි
යළිත් නොඅසමි මම
උන්ගේ යුක්තිය එපා මට
ඇය දකින්නේ සිය දේශපාලන මතය වෙනුවෙන් අකුටිලව පෙනී සිටි ප්‍රේමවන්තයා මිස, බියගුළු විලස මියගිය මිනිසෙකු නොවේ. ඒ මරණයට යුක්තිය ඉටු නොවන බව ද ඈ දනී. ඒ අතර ඇගේ පෙමින් පිරි හැඟුම්ධාරාවන්ද මතුව ඒ.

ඒ වුවද
නැත ඔබට අයිතියක්
සැඟවෙන්න ඔය ලෙස
නොපැමිණ සිහිනයෙන්වත්
සෝමසිරි ඒකනායක ගේ 'පඬු පැහැ කවි' කාව්‍ය එකතුවේ ඔහුගේ නිර්මාණ දෙකක්, ඉංග්‍රිසි බසින් කාව්‍යකරණයේ නියැලෙන නිසංසලා ධර්මසේන බර්තොලමියුස් කිවිඳිය විසින් ඉංග්‍රීසියට පෙරළා ඇතුළත් කර තිබීමද අගය කළයුත්තකි. ඉංග්‍රීසි බසින් කියවන රසිකයාට සිංහල කවියේ හැඩරුව හඳුනා ගැනීමට ඉන් කවුළුවක් විවර වේ.
සමස්තයක් ලෙස ගත් කළ සෝමසිරි ඒකනායක කවියා සිය අනන්‍යතා කවිමග සෙමෙන් ගොඩනගා ගන්නා ආකාරය මේ කෘතියෙන් මනාව පැහැදිළි වේ. ඔහු ඉතා සියුම් නිරීක්ෂණයන් සහිතව ජීවිතයම පෙරළා විවරණය කරණ කවි මගක හිමිකාරයෙකි. එය අපට අපේ ජීවිතයම යළි කියවා ගන්නට ඉඩ සදන අපූරු කැඩපතකි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා