කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

කුලුනු මුදුනත උඹේ මුහුණ

නගර කුලුනක මුදුනත
අඩි හැටක් උස උඹේ මුහුණ
මම කුරුමිණියෙක්මි පහළ
අප්‍රිය ජනක,
හිසකේ රැවුල් වවාගෙන
බෝඩිමට ගාටන

දෙවියන් දෙව්ලියන් වෙසෙන
වලාකුළු පිරිමදින ඔලිම්පස් බිල්ඩින් සිරස
ද්විමාන පුළුල් තිරමත
ත්‍රිමානව මැවෙන ඔබේ ළය තුළ
ඩිජිටල් නොවන හදවතක් ඇද්ද?

හයි හීල්ස් පැලඳ එන ඔබේ ප්‍රේමය
දෙතොල්වලටත් කලියෙන් අතැඟිලි සිප ගැනුමක
ළමැදින් හමන මත් කරවන සුවඳ
තරු ඉහුණු මහා වේදිකාවකි මේ නගරය
පහන් කණු ජෑස් ට්‍රම්පට් වයන
සිහිනයක්ව මැවෙන අපේ නර්තනය
ඔබේ රතු පැහැයත් මගේ නිල පැහැයත්
කැරකෙමින් කැරකෙමින් සුළි තනන
රෑ අහස මත

මගේ අත්ල මත මොහොතකට මැවුණු
ඔබේ හදවතින් එවිට
මගේම තනිකම දැනෙයි මට
බිඳෙන්නට ඉඩදී සිහිනයට
දමා යමි මේ නගරය
මේ නාඹර රාත්‍රී මායාව
තවම ඔබ කුලුනු මුදුනත තිරයෙහි
පිරුණු ළය ගස්සා
නොබලාම යනෙනවුන් හා සිනාසෙන

[තරින්ද්‍ර ගලහේන]


ගමන

උදලු අලවංගු ගල් ඉණි පහර කකා
ගොඩ ආ කලට ලෝකය දැක ගන්න වුණා
දහඩිය සමග කඳුළද සම සමව අනා
පෑගුණ තරම මෙලෙකිය මල් පෙති සේමා...

අච්චු වුණා කිසි වරදක් නැති වුවද
පේළි සැදී ඇහිරී එක උඩ එකට
අව් වැහි හුළං නෙක නෙක බාධා එමට
පොල්අතු ඉරුව විතරයි උන්නේ හිසට

පදමට හුළං වී සවි වී ඉරි නොතැළී
ඉන්නට දරපු දහිරිය කවුරුත් නොදනී
ගින්නෙන් දැවෙන බව දැන නොව පසුතැවිලි
මෝඩයො රැලක් උන්නා එක ලෙස නොසැලී...

එකපිට අඩුක් විය අඩ පිරමිඩ හැඩට
උස්මක් කටක් ගන්නට වත් ඉඩ නැතුව
පොල්අතු වහල බා එලලා පහළටම
හැන්දෑකරේ ගිනි දැම්මා නැකතටම...

විස්තර කරන්නේ කොහොමද විඳපු දුක
තිස්පැය මුලුල්ලෙත් තව වරුවක් විතර
කර වී ලේ පාට ගැල්වී සවිමත්ව
සිසිලක් ලැබෙන තෙක් මග බල බල තාම....

මහ ලොකු පැතුම් නෑ අවිහිංසක අපට
දහඩිය කඳුළු හෙළු උදවිය රැක ගන්ට
එක මග එකම රිය තුළ ගුලි වී යන්ට
එක මැදුරක සවි වී බැඳිලා ඉන්ට....

[නිහාල් වලවෙගේ]


කටුඉඹුල් මල

අග්නිදාහය
ළමැදින් බිමට බේරෙන
හිරු රැස් පහස ලැබ
තැළුණු තාර නලියන
සුවිසල් විසල්
සිතුවිලි එකට හිරවුණ
ආදර හිතක
නමස්කාරය අයදින
කඩදහි වගේ
ලිපිගොනු හුයක හිරවෙන
සිතුම් සෙන් වැද
හදවත තදට හිරවෙන
බුරුලක් සොයමි
නිවී සැනහී සැතපෙන
ඇනුණත් සැපයි කටු
අත'ගින් මලක් ඩැහැගෙන

රංග සමරවික්‍රම]


සුවඳ

එක් වරක උක් මලක්
දාස් පෙතියා මලක
පහස රස පැති වගක්
සුළඟ කේලාම් කියනා
තුරුම දැන නොගනිතත්
පැනි වඩිද පෙති දුම්ද
කීකරුව මුණ ගැසී
අපි හොඳින් හැඳින ඇත
ඔබලාගෙ විරාගය
සුවහසක් මල් පවා
අකාලයෙ පරව ඇත
ඒ මලට නමක් නම්
හරියටම දන්නැතත්
සුළඟවත් පාටවත්
තීරණය නොකර ඇති
සුවඳ අපෙ වගේමලු
අන්න ඒකයි අදත්
මල් දකින කොට නිතර
සුවඳ ගිල ගන්නටම
ඇස් දෙකක් තැනෙන්නේ
මන මත්ව ඇස් පියන්
බැලුවොතින් මොහොතකට
හුස්මකට ඉඩ තබා
මල් තවත් පිපෙන්නේ
සුවඳවත් කෙරෙන්නේ

[සජිත් පට්ටියකුඹුර]


උපසම්පදා

අධිශීල සංඛ්‍යාත
උපසම්පදා පත්
පංසලේ පොඩි සමිඳු
පිළිගත්තු පෙරහැරයි
අලි ඇත්තු සහිතවම
පංසලට ඇදෙන්නේ

නච්ච ගී වන්දනය
පෙරහැරට පමණි එය
කෝටියක් සංවරය
බිඳිනු බැරි මියැසියට

මරඟනන් රූ සදිසි
නළඟනන් රූ මවති
වියගසේ දුර බලන
හිමිසඳුට අකැප වන
නන්රුවන් විසිතුරුව
පෙරහැරේ සිරි දිලේ
වැයෙන පද රිද්මයට
පා සිඹී මිහිතලය
යළිදු සංවර කරයි
එලන ලද පාවාඩ

සතර පේරුවක සිත්
බැති සිතින් නැමි නැමී
තම පුතෙකු බුදු පුතෙකු
නොවූ දුක විඳදරා

පුද පඬුරු පුද පුදා
නිවන් මඟ යදිනවා
කෝටියක් සිල් අතර
අසංවර ලෝබ සිත
අපේ පොඩි සමිඳුන්ගෙ
හිතට බර සදනවා

[වික්‍රමසිංහ අතපත්තු]


මල්, සුළඟ, සඳ සහ තරු ගැන

සෞන්දර්යවාදියාගේ කවිය

අතු අග සරසා උපදින මල්
වසන්තයක සිරි දෙයි මනලොල්

පිනිකැන් පිස දිව එන නළ රැල්
ගිමන නිවන ඔසුවකි සිහිලැල්

අඹර දිලෙන පුරහඳ පැහැදුල්
යොවුන උවන වරුණය හැමකල්

අඳුර සිදුරු කරනා තරුවැල්
විසුල අහස ගෙත්තමකි ලකල්


යථාර්ථවාදියාගේ කවිය

අතු අගම පිබිදී පරව බිම වැටෙන
මැසි බමර සමනල් අතවරය විඳින
ඍතුවකට සෑහේද මලක සිරි පමණ
වසන්තය පසුපස ගමනේය ගිමන

ඈත මෑතක රැඳි කිසිවකුත් අත් නෑරුව
දූලි බිඳුවත් බිඳ මහ පොළොව හෑරුව
චණ්ඩමාරුතයකි නළ රැලක වෙස්මාරුව
බේරුණොත් නොසුන් වී ඒ මහා මේරුව

කඳු වැටිත් ආවාට ගහන
අමාවක අටවකත් ගෙනෙන
හිරුගෙ පානෙන් එළිය පාන
සඳ හොඳද වරුණකට යොවුන

ඈත සිට බැලූ විට පමණි ඒ අරුම
ළං වුණොත් අඟුරු වන තරමටම නරුම
නිවෙන තුරු දැවීමය තරුවකට උරුම
නැසී ඉපදීමය සසර සැරිසැරුම

[දේවිකා මධුවන්ති ගෝවින්නගේ]


 නිහඬ සාක්ෂි

ගේ මිදුල පිච් එක
විකට් එක ඉන්දන තැන
පිතිකරන ඉර ළඟ
ගෙයි මුල්ලකට කිට්ටුව
මුල හීනි පොල් ගස
මතකයකි ඉස්සර

ඉදිරියට පැන
වැරෙන් ගැහු පාර වැරදුණ
තරහ බැට් පාර කන
රොබින් හුඩ්
දුනු විදින
නසියර්ට
පිහි විදින
ඉලක්කය වුණ
නිහඬව

දැන් ගියත් ටිකක් මහලුව
තාම සුළඟත් එක්ක සෙලවුම

ගම්මානෙ බය සැක
කඩා පැන අපෙ ගෙට
මේ ළඟදි දවසක
කම්බියෙන් ගෙල සිර කර
බැඳ දමා ඇත අසල ගසකට

අරන් බය සැක ලෝකෙක
ගෙදර එන හවසක
ඇත් දළ පාට මල
ඔසවගෙන අඳුරු අහසට
හිනැහෙයි මගේ මූණට

තාම සුළඟත් එක්ක සෙලවී
කෙඳිරි ගාවයි කම්බිය

[ජනක ගොඩේවිතාන]

මාතෘකා