කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ඔව්, මං තමයි

අංගුලිමාල

 

අහිංසක මමයි

ඉංග්‍රීසි ටීචගෙ කර උඩින්

පොත පෙරලළා දණ ගහපු

තටු ගසා ගිය කිරිල්ලියට පිං පිණිස

බෝක්කුව දිගටම කබරය යවපු

වාසගමෙත් දැලි ගාපු

තාත්තගෙනුත් ගුටි කාපු

ගෙදරිනුත් පන්නාපු - අහිංසක මමයි

 

ඔව්,

මං තමයි දැන් අංගුලිමාල,

 

කෙකර ගාන්නත් කලින්ම

කිකිළියන්ගෙ බිත්තර උදුරන

ඇඟිලි, බෙලි, අතපය වෙන්වෙන්න

බ්‍රොයිලර් කුකුල්ලු හමගහන

පීකුදු, කටු ටිකක් සුප් එකකට

ගැබිනි බැළලියකට දන් දෙන

 

අම්මා දැක්කම පිහිය හංගන

කුකුල් සායම් රටා හෝදන

මං තමයි අංගුලිමාල

තාත්තගෙ බෙහෙත් බර

තනියෙන්ම කරගහන

 

අශෝක කුමාර

කුලතුංග

----------------

කැමතිම ගීත පහ

 

කවුරු හෝ ඇහුවොත්

මොකක්ද කැමතිම ගීත පහ

මුලින්ම කපලා දෙන්නේ

මිල්ටන්ගේ මේ මැයි ගහ

 

ඉක්බිතිව නින්ද නැති රැයක

ඔබට දුන් එකම හාදුව

නැවත මම ඉල්ලා ගෙන

කියමි කපුගේට හේතුව

 

මැරුණු මතකයන් සියල්ලම

එකම ගොඩකට එකතු කර

තිළිණ දුන් ගිනිකූර දමා ඒ මැදට

පියවර තබමි සැනසුම මත

 

රම්‍ය වූ සඳ කිරණ යට

සෞම්‍ය තරු එළිය නොසොයා

ගණ අන්ධකාරයට පෙම් කර

පියාගමි තදින් බොර දෙනෙත

 

සියුමැලි නිල් කටරොළු පඳුර

අවසන උගුල්වා විසිකර

අහසේ තවරනයුරු නරඹමි

මහලු හිරු ප්‍රේමයේ පැහැය

 

ඔබ හිනාවෙන පද හැඩවුණු

ස්වර ගැන තියෙන අවදානම

නැතිවුණොත් මේ ජීවිතය

කුරුටු ගෑ බලියක්ම විතරය

 

අයු ප්‍රනාන්දු

---------------

ඉවසීම

 

මේ මහා වෘක්ෂයෙන්

ඇසිය යුතුය

මේ කරච්චල්

කාකයන්ගේ

කරව් නාදය

මේ හැටිම

ඉවසන්නේ

කෙලෙසද කියා?

 

දිනීප මධුෂාන්

--------------

මතකයෙ අහුමුලු

 

නිවනු මැනවි තරු ඇස ඉඳහිට ඉඟි කරන

මියගිය තරුවක ඇත්තේ එළියක් පමණ

එළියක් කුමට මතකයෙ අහුමුලු ඉව කරන

කළුවර ඇස් දහක් දල්වයි අඳුරෙහි දකින

 

විස කටු එකින් එක ගලවමි හදවත ඇනුණ

මතක මිටෙහි අතැඟිලි එකිනෙක දිගහරින

උණුහුම් කිසිත් නැත සීතල දුහුවිලි පමණ

උඩු සුළඟකට පිසලමි අරගෙන යන ලෙසින

 

ගඟුලක් සෙනෙහසින් සයුරට ජීවය පුදන

සයුරක් ගෙනෙන්නේ ගඟකට මරණය පමණ

බිඳුවක් නොම තබා අහසට දිය දුන් බැවින

කතරක් වෙලා නිල්වන් කෙම්බිම මිය ඇදිණ

 

රුවනි සිසිජා

--------------

සොහොන් කොත

 

නිහඬ බව දරාගන්නට බැරිය

නුඹේ හඩ දෙසවනේ

පුරා රැව් දෙන නිසා

 

කාලයේ වියරු වැසි

ඇද හැළුණු මොහොතකම

නුඹ ගසා ගෙන ගියා

කැලණි රුදු ගං රැජින

 

නුඹ එක්ක දිනෙක මා

සැඳෑවේ ගං ඉවුරේ

බලා සිටියා නොවෙද

සිනාවී ගඟ දෙසම

 

එදා නුඹෙ සිනා රැලි

ගඟ කදිම බව නොවෙද

එ’සිනා අද දවයි

මා වෙළාගෙන අඳුර

 

එච්. පී. ඉරේෂා දුලාංජලි කල්දෙරා

-------------

වසන්තයෙ උයන ලෙස

 

නිහඬ බව බියකරුව

සුසුම් දළු මෝදු වන කල

සුහද සල්ලාපයක

මතකයන් මාන ගමි

සෙනෙහසේ උයනක් මවා දෙපසට

 

නිවැරදිව දින ගැන

පිපාසා නැතිවද

වසින වැසි දිය සිඹිමි

මල් පිපෙනු රිසියෙන්

වසන්තයෙ උයන ලෙස

 

අට පැයක නිදහසට පසු

වැඩ බිමට ගොඩ වදිමි

කඳුළු පැස දොරකඩ තබා

ඇණුම් තුඩු මතින් මෑත් කොට

 

ඇසිල්ලෙන් විමන් මවමි

හාත්පස බිම යටිකුරුව

ඇදගැහුණු හෙවනැල්ල මැද

අලවා දසන් මදහස

 

දෑස් වැලි ලූ තැන්

දිවෙන් විනිවිද බලමි

ලහි ලහිව මේසයට ගෙන ආ

රස මසවුලක නොදුටු දොස

 

තර්ක විතර්ක පසෙකලා

නැඟිය යුතු තැනද හඬ නඟමි

බිතෙහි නන්නාඳුනන

බිළිඳු මදහස දැක

 

වින්යා ජයසේකර

------------

කාර්මික විප්ලවය

 

රෝමාන්තික යුගය

දිගු සුසුමකින් අවසන් විය

(පවුරෙන් එපිට තවත් මල් ඇත්නම්

නෙළාගෙන යා හැක ඔබට)

 

අහසට කළු වලා පිඹින කම්හල්වල

තැඹිලි වන් ලෝදිය ගොජ දමන

ලිලිපුට්ටෝ ඉස්තරම් ලෝහයෙන්

යකඩ හදවත් තනන

කාර්මික විප්ලවය

එළැඹිණි අඳුරු නගරයට

 

මමද ගලවා විසි කළෙමි හදවත

නගර පවුරෙන් ඔබ්බට - මල් මුක්ත කටු පඳුරු අතරට

යකඩ හදවතක් ලා ගනිමි

අවදිවෙමි වැඩට යමි කමි බොමි නිදමි

ජීවිතේ බොරදියේ ඔහේ පාවෙමි

මම දැන් සුවෙන් පසුවෙමි

 

තරින්ද්‍ර ගලහේන

------------

විසන්ධි පෙම

 

දොළේ වත්තට එහායින් ගලා එන

කෙටි පණිවුඩවල

තැවරුණේ විසන්ධි වුණු ප්‍රේමයක්

රැහැන් පට එකිනෙක

උඩ පහළ ගෙනියන රෝගයක්

 

නිරුත්තර වුණු හදකට

පහන් තිර එළියක් උනාවිද?

නිරන්තර රිදුම් දෙන නැවතුමක

ඉඩක් කවුරු නම් විමසාවිද?

 

දෙඇස් ඉඟි කරවන

ඉඟිනියාවල පාලම

කොහේ හරි මතුවී

රහස් මඟනවතන

ඉරටු සිනහවක්

දිය පහර අග මුසු කරාවිද

 

ගිනි කූරු මතකයක්

ඉතුරු කර ඈත දුව යාවිද?

පෙරළ පෙරළා මතක

කූරු අලු වී යාවිද?

 

පසන් සංජය සමරතුංග

------------

"උතුරා යන්න ගඟ" ඒ තමා ජීවිතය

[කපිල එම්. ගමගේ]

කවියකු සිය නිර්මාණකරණය සඳහා අත්දැකීම් ලබා ගන්නා සුලබ කෝෂ්ඨාගාරය වන්නේ සිය ජීවිතයයි. තමන්ගේ ජීවිතය තුළ ඇති වන හැලහැප්පීම් සියුම් දැනීම් ඇති කවියෙකු ගේ හද පාරවන්නේ එය කවියකට අනුභූතියක් සපයා දෙමිනි. මේ විඳීම් පරාසය පුළුල් වන්නේ එය ගැඹුරින් විමසා බලා එහි වෙනත් හැඩ තලයක් සිය කවියෙන් මතු කරගන්නා විටය. එය කළ හැක්කේ වෙනස් දැක්මක් ඇති කවියෙකුට පමණි.

වසර ගණනකට පසුව

අපට හමු විය හැකිද

දුරක ගොස් සිට නොව

එකම වහලක සෙවණේ වුව

(නැවත හමු වෙමුද? - පිටුව 14)

තුෂාරිකා ඇන්තනි කිවිඳිය ගේ "උතුරා යන්න ගඟ මම කැමති පොකුණට" නම් වූ කාව්‍ය එකතුවේ මුලින්ම හමුවන මේ කව ජීවිත පිළිබඳ අපූරු ප්‍රතිමානයකි. අතීතයේ හමු වූ පෙම්වතුන් දෙදෙනෙකුට විවාහයෙන් පසුව එකම වහලක් යටදී පෙර පැවති ආකාරයෙන් යළි හමු විය හැකිද? මෙය ජීවිතයේ අපට හමු වන පරම සත්‍යයකි. ඇයගේ නිරිමාණයන්හි දකින්නට ලැබෙන්නේ ජීවිතය පිළිබඳ නැවත විමසා බැලීමකි. එහි ඇති පරස්පරතා හඳුනා ගැනීමකි. තුෂාරිකා සිය කෘතියට නම් තැබීමේදීද මේ පරස්පරතාව මතු වන ආකාරයට එය සිදු කිරීම කෘතියේ අන්තර්ගතය හා මනාව පෑහේ.

සිය පැටි වියේ ලද අත්දැකීම් කෙතරම් වේදනාකාරී වුවද ඒවා නැවත සිහිපත් කිරීමේදී වර්තමාන ජීවිතය මොන තරම් අරුත්සුන් දැයි වටහාගත හැකිය. වර්තමාන ජීවිතයට වඩා දුක්ගැහැට පිරි වුවද අතීත ජීවිතය තුළ සැබෑ ජීවිතය මුණ ගැසේ.

කංකුන් දලු තෙලට කරවල හොදි සමඟ

කාපු බත ගැන අහේනිය දැනෙනු නැති

අම්මා ඔහු නැති වෙලාවක වෙලේ මාමගෙ

කීර කොටුවට ගිය ධෛර්යය දුටු විටෙක

( අතීතයක රසය - පිටුව 18)

ප්‍රේමය විවාහයක් බවට රූපාන්තරණය නොවී දෙමග ගිය දෙදෙනෙකු ට ඒ ප්‍රේමය යළි සිහිපත් නොවේ යැයි කීම මුසාවකි. කිසියම් සියුම් කාරණයක් හේතු කොට ගෙන එය යළි අතීතානුස්මරණයක්ව උපදී. මතකය අවදි කරවන හේතුව දුම්රියක් විය හැකිය.

ඒ අප නොමැත දැන් අප වෙනම ජීවිත

අයිතියට වෙන උන් දිවියට කාන්දුව ඇත

එල්ලී සිටින දරුවන්ව අතට බර නැත

බැස යන දවස මළ හිරු සමග අවනතව

එළවළු දෙක තුනක සිලි බෑගය

අත්බෑගයට ඔබාගත් විට විරාමය ඇත.

(ඉවකින් මෙන් දැනේ, සැප්තැම්බර් විසිපහද අද? - පිටුව 25)

තුෂාරිකා ගේ කවි බස සරලය. ඒ සරල කවි බස තුළින් ඇය ජීවිතය තියුණු ලෙසින් විනිවිදින ආකාරය අපූරුය. ඇගේ කවි සිතුවම් ය. ඇතැම් තැනෙක කාව්‍යාත්මක බව ගිලිහී ගියද උපයුක්ත බසින් ඈ ඇඳ පෙන්වන්නේ අපගේම ජීවිතයයි. ගැහැනියකගේ ජීවිතයේ අවධි කිහිපය මනාව චිත්‍රණය කරන ඇගේ කවකි "ඒ සඳවතිය කොතැනද?" යන්න.

ඉවුරු තළා ඇදෙන ලෙස ගඟ

පතුරවා නොනැවතී කිකිණි හඬ

සැහැල්ලුව කෙටි ගවුමකින් හැඩ කළ

සොඳුරු කෙල්ලක සොයමි ඈ දුටුවෙද

මේ සැහැල්ලුව කැටි කරගත් ඇගේ ජීවිතය සිය ජීවන අවධි පසු කර පැමිණෙන අතර විවිධ ජීවිත ගැටලුවලට මුහුණ දෙයි.

නිබ්බුත පද ගයා නිවුණා වෙද

තැළි තැළී යකඩ විලසම

කුරුලු කූඩුව රැකි වීර පැබැඳුම

තේ මංඩි සෝදනා'තර ගයන ඈ දුටුවෙද

අවසන තුෂාරිකා සිය කවිය පරිපාකයට රැගෙන යන්නේ මෙලෙසිනි.

මවක විඳි දහනය හා සහනය

ළිප මත දැවෙන වළඳකට කොඳුරන

දීගෙකට ඇමුණු පුතුගෙ සනහස

පපුව'ත සැඟව සිනාසෙන ඈ කොතැනද?

(ඒ සඳවතිය කොතැනද? - පිටුව 28)

තුෂාරිකා ගේ කෘතියේ සංගෘහිත කවි රැස අතර කෙටි කවි කිහිපයක්ද දකින්නට ලැබේ. ඒවාද ස්පර්ශ කරනුයේ ජීවිතයේ සියුම් තැන්ය. ජීවිතය පිළිබඳ ශූක්ෂ්මාවබෝධයන්ය.

කඩා වැටෙන විට අහසක හිස

නිති පරීක්ෂාවට

සිනහා වතකින්

පොළොව පිරිනමනවාදැයි උරහිස

(නිති පරීක්ෂාව - පිටුව 13)

මුහුදක වතුර ළඟ තියන්

රේල් පාරක් පිච්චෙන තරම්

(නිවීම - පිටුව 16)

අමාවක අද

සඳ සැඟව ඇත

තරුවලට ඒ

නිවාඩුව නැත

(කළුව - පිටුව 32)

ගම්මානයේ

රැයේ ඉකිහඬ

නෑසෙනු පිණිස

කන්දක කන් වසා

දියලුම

(දියලුම ඉකිබිඳී - පිටුව 43

තුෂාරිකා ගේ "උතුරා යන්න ගඟ මම කැමති පොකුණට" සමස්ත කෘතියම ජීවිතය හරහා ඇවිද යන ගමනකි. එහි සියුම් තැන් යළි මතකයට නංවන්නකි. මගහැරුණු තැන් පෙන්වා දෙන්නකි. උපේක්ෂා සහගතව ජීවිතය කියවීමකි.

නිස්සාර කාලයක

සියල්ල අහිමි වූ ශෝකයෙන්

ජීවිතය සමග සිනා අතැර

ජීවත් නොවූ හැටි සිහි කර

රහසේ කැඩපතට හිනැහෙමි.

(විචිත්‍රය 'ඔබ සිනා සලකුණු' - පිටුව 51)

ඇත්තෙන්ම එය ජීවිතය මය.

 

මාතෘකා