මුහුණු පොතේ අකුරු කෙරුම

 ඡායාරූපය:

මුහුණු පොතේ අකුරු කෙරුම

ආදරය

 

ගලා යන දිය පාර

කිසිදාක නොසිතුවට

ඉවුර මයි හැමදාම

ගඟට කියුවේ පාර

පිට පනින්නට හදන

මොහොතකදි උනත් ගඟ

ඉවුර උස් වී ඉඳන්

සුරකිනව පණ සේම

සයුර සොය සොයා යන

ආදරෙන් මත්වූ ගඟ

නොදන්නා රහසක්ය

ඒ ඉවුරෙ ආදරය...

 

ගයාන් අබේසිංහ

 

 

 

 

 

 

වීදියේ මතක

 

බොහොමයක් වීදිවල

මතකයන් අපමණය

දහසකුත් මිනිසුන්ට

අමතකව මඟ හැළුණ

දැන නොදැන අත්හැරම

ගිය එදා මිහිරි මතක

අහඹු ලෙස යළි හමුව

කඳුළක් ගෙනෙයි ඇසට

කාලයක් ළඟ හිටිය

මතක වුව රිදුම් දෙයි

පාළු මංපෙත් අතර

මඟ වැටී ගිය පසුව

නොපෙනෙන්න කාටත්ම

කඳුළු පිස ලූ අත්ල ගෙන

වනවනා උඩට කර

සමුදීම සතුටක්ය විටෙක

යළිත් හමු වේවිද

ඇතැම් විට නැති වෙයිද

කැකෑරෙන පැන දහක්

හෘදයේ වැළලීය

හොඳම දේ නම් සබඳ

අත්හැරීමයි නිබඳ

තකවල සිටි මුහුණු

හදවතේ නිදන් කර

කාලයේ ඇවෑමෙන් වීදිවල

සැරිසරයි ඒ මතක ඔබමොබ

යනෙන හදවත්වල ඇළීගෙන

අයිතිකරුවන් හමුවන තුරුම

 

සෂි මධුශානි

 

 

ඒ හිදැස...

 

තාත්තා ලියා දී ගිය

ජීවිතේ බණ පොත ළඟ

මගෙ දුබල පන්හිඳෙහි

තුඩ කඩා දමමි

නෙළා දුන් රන් දහදිය

හිසටත් උඩින් පළඳිමි

දිළිඳු මුතු බෙල්ලන්ට

සැඟව ගන්නට කියමි

ඉතිරි කර ගිය එළිය

අමාවකටත් ඇතිය

තරු එකින් එක ගලවා

ඔහු නිදන සොහොන වට අතුරන්ට

අහසටත් අණ කරමි

 

ජිත්‍යා රූපසිංහ

 

 

මතක

 

වරින් වර හුඟ දෙනෙක් ආ ගිය

පා ලකුණු සැම තැන තබා ගිය

නිහඬ වෙරළක….

කැළැල් පිස සිඹ හැරී යන්නට

කොයිතරම් ලොකු හදවතක්

තිබෙන්නට ඕනෑද රළකට….

 

වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි

 

 

නොකියාම බැරි හේතු

 

උස්ම කඳු මුදුනක

කුඩා දිය බුබුලක

මහා ගංගාවක

උපත සැඟවී ඇත

නිම්න මිටියාවත්වල

සාර කෙත් වතුවල

සියක් උල්පත්වල

රහස් සැඟවී ඇත

නීල තුරු වදුලක

සීත නළ රැල්ලක

ජීවයක් සුරකින

හුස්ම සැඟවී ඇත

සිඳෙන තුරු වදුලක

හිඳෙන දිය බුබුලක

ආයු වියැකී යන

හේතු ලියවී ඇත

 

රුවනි අමරකෝන්

 

 

පොඩිමැණිකේ..

 

ඇහිදාර යහන මත

කණිසමට තෙත් වෙද්දි

රිංගුවා මතක පොත

නහර වැල් කඩාගෙන...

සෙනෙහසක මහිමයෙන්

හැඩවෙච්ච ටිකෙට්ටුව

කෝෂිකා සැනහුවා

හිනා මල් තොටිල්ලක...

කවුළුවෙන් එබිකම් කරන

සරාගී තොල් පෙත්තෙ

නොහිතුණා නොවේ මට

හාදු පෙති තවරන්න...

ෆයින් ගස් අතු පතර

රැඳුණාට නුඹේ නම

නුඹ හිදියෙ සීසර්ගෙ

චරපුරුෂ අසුන මත....

බදුලු යන පොඩි මැණිකෙ

ලඝු වෙච්ච හූ හඬම

ඉදල් ගස් නැවතුමේ

ගොළු වේවී හීතලට...

කඳු අස්සේ ඇවිටිල්ලේ

හිරි ඔතප් නැංවිච්ච

මතකයම රකින්නම්

පොඩි මැණික නුඹ ගැනම...

සිල්පරේ දෙඩවිල්ලේ

රන් අකුරු අලුත් වුණු

යළි දිනෙක හමු නොවෙන

මල් කුමාරියෙ නුඹට...

නිමේෂයෙ පෙම් දනව්

නොහිතුණිද පීරන්න

හිතින් ළඟ හිඳින්නම්

පුදසුනේ ඉඩ නැද්ද.... ?

 

ආසිරි දේවින්ද

 

මාතෘකා