කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ඔන්න මං නිවුණා

අන්දකාරෙම නෝනා ලාච්චුව අතගෑවා
මගේ වාරය ඇවිදින් අතේ පැටලී ආවා
මං පත්තු කර කර කාටදෝ දොස් කීවා
පුංචි දැල්ලක් අරගෙන මං හිනාවක් පෑවා

ගස් කඩන් වැටිලා හරියට ආපදා ලු
ඉල්ලපු සල්ලි ටික මල්ලිට දෙන්න බෑ ලු
බැංකුවේ ලියුමත් ආවා කන කර වෙයි ද පාළු
වෙඩිම කියලත් නොගියම තරහ වේවි ද යාළු

ගේ අයිති අංකල් අදත් කුණු කුණු ගෑවා
ගෙවල් කුලි හැම මාසෙම පරක්කුයි කීවා
මහත්තයා සද්දෙට ලොකුම සුසුමක් ලෑවා
මගේ දැල්ලත් ගැස්සී පසුපසට විසි වූවා

දෝණිගෙ සපත්තු දෙකම හොඳටම කැඩිලා
යන්නෙ නෑ ඉස්කෝලෙ අන්න කීවා අඬලා
සිල්මෑණි කෙනෙකුත් දහවලේ වැඩලා
දන් දෙන්න කිව්වා ලෝබකම මැඩලා

ලෝන් එක හින්දයි මෙහෙම වේලෙන්නේ
කවදාද මේ නරා වළෙන් ගොඩ එන්නේ
ප්‍රමෝෂන් හීනෙත් කෑලි ගැලවෙන්නේ
අන්න ඉටිපන්දම නිවෙන්නයි එන්නේ

ඒ දවස් වල ඉටිපන්දම් හරියට පැයක් තියෙනවා
අපොයි දැන් ඒවත් හරි ඉක්මනට දැවෙනවා
අනිත් ජරමර අස්සෙන් මටත් බණිනවා ඇහෙනවා
ඉටි ටිකත් ඉවරයි ඔන්න... මං නිවෙනවා

දේවිකා මධුවන්ති ගෝවින්නගේ

---------------------

අල්තිනායි ඇහැරියන්

අල්තිනායි ඇහැරියන්
හතරට කාලයි වෙලාව
ඉක්මනින් ලෑස්ති වෙයන්
මග ඇරේවි නැත්තම්
පළවෙනිම බස් එක.....

මග හැරුණොත් බස් එක
අහිමි වෙවි පළවෙනි පේළිය
හිමිවේවි අන්තිම පේලිය
අල්තිනා ඉක්මන් කරපන්
ඉක්මනට ලෑස්ති වෙයන්.....

අයිලයේම දහඩිය කදුළු
මිටිකර එක මිටකට
පසුම්බියෙ ලා රැගෙන ගොස්
දාහක් දාහේ කොළ මිට වෙන
අත් උඩ තබාපන්.....

තබා ඒ කදුළු අත් උඩ
මාසික ගුරු ගීතය අර ගනින්
අරගෙන හොයාපන්
දිග ඡේද ,කඩඉරි අතර
කොහේ හෝ ඇත්දැයි ජීවිතය.....

අනුත්තරා කොඩිකාර

--------------

ඔබේ උපන් දිනය

මහමෙරක බර හිස මත
දවසේ වෙහෙස මහන්සිය
දැනේ හොඳටම ඇඟ පත
ගෙවල් කුළී කෑම බීම
ගමන් බිමන්
මඟුල් මළ ගෙවල්
ළමයින්ගේ ටියුෂන් සල්ලි
හැමෙ'කම ඕනෑවටත් වඩා
මතක තියාගෙන හිටියම හිත යට
ඉබේම මග හැරෙන දෙයකි
ඔබේ උපන් දිනය

නොරිස්සුම් ඇනුම් පද
දහසකුත් එකක් මැද
පිඟන් කෝප්ප හඬති සොඳ
අසන පැනයට
නිහඬ පිළිතුරු ලැබෙන සඳ
හිසේ රුදාව තදින් මට

දවසේ අවසන් එළැඹුමේදී
හීනෙන් මතෙකෙට නැගෙන විට
නිරපරාදේ මා වරදකරුවෙකු කර ඇත
ඔබේ උපන් දිනය

තෑග්ගක් දෙන පොරොන්දුව මත
සුබ පැතීමෙන් ඇරැඹුණු
හාදු වැස්සකට යටවුණු
හෙට දිනයට එතෙර වන්නට
රුකුල් දෙන රුවල් නැවකි
ඔබේ උපන් දිනය

රුවංක ජයතිලක

------

ඉතින් කැඩපත


කල් පිරී පත් ලිහන දින දසුන
මුඩුම බැල්මකි කුටියෙහි
දෑස් මා දෙසම

තෙත බරිත සුසුම්
කැඩපතෙහි ගැටෙන
අඳුරු කෙරුවාද තව
මා දසුන

වියළි චුම්බනයකින් සමුදී
ඉගිල යයි එඇස්
තටු ලැබී
මට පෙනී...
නොපෙනෙන්නට

ඉතින් පවසන්න කැඩපත
තැනින් තැන
රන් පාට එබෙන
වලා කෙහෙ රැළි
සුරත් වන් ලවන්
රඹ පෑ කොපුල්

නතර කරනවාද
ඒ නෙත්
තවම මග තොට

වින්යා ජයසේකර

 

---------------

සොඳුර

දැන් අවසන් වේ යැයි
බලාපොරොත්තු දී
නැවත දික්ගැස්සෙන
ඉන්දියානු ටෙලිනාට්‍යයක් වැනිය
අපේ ප්‍රේමය

දිනීප මධුෂාන්

--------------------

සැකකරුගේ පාපොච්චාරණය

අනියම් පෙම්වතාගේ පිහිපහරින් දෙදරු මවක් මියයයි - පුවතක්

නියම් අනියයම් වචන විතරයි
ප්‍රේමයේ නෑ කිසිම වෙනසක්
අපේ ආදර කතාවට දැන්
ගතවෙලා ඇති හුඟක් දවසක්

ලෝකයට මේ වනතුරා එය
උනත් දියයට ගිළුණු රහසක්
කිසිම දවසක පැතුවෙ නෑ මම
රාළහමි මේ වගේ හවසක්

බීලා දස වද දෙද්දි මිනිහා
කියද්දී ඒ ගැන දුක..
මමයි නිව්වේ පපුවෙ ගින්දර
නෙතේ කඳුළැලි දැක දැක..

කිසිම දවසක කිසිම මොහොතක
කෙරුවෙ නෑ ඇය ගැන සැක..
තවම පුදුමයි රාළහමි මට
දැන දැනත් වැරදුණු එක..

අවස්ථාවක් ආ වෙලාවට
ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන
මාත් එක්කල ඉන්නකොට ඇය
හිතුණේ නෑ මට එහෙම ඇය ගැන

පපුව මැද කන්දකට වැඩියෙන්
තියෙද්දී ප්‍රේමයක් උතුරන
කොහොමවත් ගලපන්න බැරිවයි
හිටියෙ මම ප්‍රේමයේ ධන ඍණ

නොලැබෙනා කොට වෙනදා වාගේ
නිහඬ බව බිඳ දමන උත්තර
හෙව්වා මම කවදටත් වැඩියෙන්
ප්‍රේමියගේ ජීවිතේ විස්තර

දුටුව දේවල් අදහගන්නට
බැරි උනා දෙවියනේ ඇස්හැර
කිසිම දවසක ඇගේ හදතුළ
තිබිලා නෑ ප්‍රේමයක් ඉස්තිර

උහුලගන්න බැරි උනා පපු
කැවුතු අවුලා ආව ගින්දර
මණ්න පිහියට බැරි වෙන්න ඇති
මගෙන් බේරී අරින්නට කර

පිහියෙ මුවහත සිප ගනිද්දී
එදා මගෙ තොල් සිම්බ ඇගෙ ගෙල
වැඳ වැටුණ මුත් මගේ පාමුල
ගිහින් ඉවරයි හිත ගොඩක් දුර

අනියමක් වුව ප්‍රේමයක් ලඟ
වංචාව වෙයි ලොකුම කරුමය
හිතක් බිඳුණොත් හදන්නට බෑ
ඒක කාටත් කිවිය යුතුමය

මේක වෙන්නැති රාළහමි මගෙ
දෛවයේ ලියවෙච්චි උරුමය
අදින් පසු ජීවිතේ අවසන්
මොහොත දක්වා උරුම හිරගෙය

සමීර මදුසංක

-----------------


මාතෘකා