කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

නිදහස...

ටකරන් එළාපු ගෙයක් ගානෙම
අදත් ලෙළදෙනවා ඇති
ලොකු පොඩි සිංහ කොඩි
මහ තේජසින්

පොඩි පිට්ටනියෙ නුගේ යට
සිමෙන්ති වේදිකාවෙ
බඩ මහත උපාසක රැළ
නිදහසේ පියා ගැන
සමජාති අයිති ගැන
යකඩ කට දෙදරන්න
අදත් තඩි බානව ඇති

අලුත් පාරක් සොයා පීනන
දොලේ තිත්තයො රංචු ගැහිලා
නෙළුම් පතකට මුවා වී ගෙන
මොනව හරි දොඩනව ඇති

ක්‍රීරීස්ස්...
සරෝජා,
ඔය වතුර නටනව
විගහට ගෙනෙන් බේබි නාවන්න

මේ...
එඩ්වඩ් කුමාරයත් එනවද
ප්‍රසිඩන්ට් එක්ක බැරි වුණොත්
ආරියාව එක්ක සෙල්ෆියක් ගමු
බොරුවට පොෂ් වෙන එෆ්බී ගෑනුන්ට
පේන්නත් එක්ක දාමු

එක පෙළට නැව් සංදර්ශනලු
හෙලිකොප්ටර් බල්ටි ගහනවලු
පොලිස් සුනඛයන්ගෙ
සර්කස් එකකුත් තියෙනවලු

නෝනගෙ රෙදි ගොඩ
කුස්සියෙ වළං කද
හෝදන වෙලාවෙදි ඇත්තට ඇහුණා
ප්ලේන්වල සද්දෙ

ගෙදර පොඩි ටීවි එක
ඇස් උඩම තියාගෙන
'නිදහස' බලනවද
නංගි රොටියක් හපාගෙන
මම නම් අදත් වැඩ අම්මෙ!

[අශෝක කුලතුංග]


උකුණු පෙම

කෙස් අතර හිස් තැනෙක මහ ගොඩක් ඉඩ තිබේ
කළු පාට පිරුණු මැද සුදු ගසක් නැඟ එබේ
වෙසෙස් තැන අසන විට හිස් කබල උඩ සබේ
ගසින් ගස මාරුවෙමි නොනවතිමි සුළි නැබේ

නොයෙක් සුවඳට ඇලෙන ජෙල්-ක්‍රීම්-ඔයිල් මැද
අයෙක් කොයි ඉඳ හිටෙක සැපද දුක අහන්නට
පදම වැඩි විටෙක අර සාත්තුව ඉහළ එන
වධම දෙන ප්‍රේමයක් මටත් ඇත කියන්නට

පනාවක නිරන්තර තියුණු තුඩු ඇත අන්න
ඉනාවක දවටලා ෂැම්පු ඇස් ඉඟි ඔන්න
හිනා යන බොහෝ තැන් මගැර මෙතුවක් ඉන්න
පිනා ගිය එකම දේ මගෙ පෙමයි පිළිගන්න

කපන විට මැෂිමකින් බෝ රහස් මුල් ඉරා
අනින විට කතුරකින් දුක යළිත් ගෙන පෙරා
තලයෙ මුහුණත සමඟ ලේ සුවඳ මුදු උරා
නපුරු බාධක මැදින් රැකගත්තෙ පෙම දරා

කුණු වෙන්න හැකි නමුත් කිළිටි නැති සුදු හිමයි
දෙනු මිසෙක කිසිම තැන ගනු නොහෙන හිත බමයි
අකුණු වැදුණත් උඩින් ඉරි තලා නැති බිමයි
උකුණු ඇසකින් ගලන උකුම පෙම මම තමයි

[කසුන් සමරතුංග]


කවිය අපිමය ...

ඔයා හොඳ නෑ හරිම නරකයි
වෙනදවගෙ මට ආදරේ නෑ
ඇයිද ඇහුවා එහෙම කිව්වේ
ඇයට කවියක් මම ලියලා නෑ

කවි කෙසේ නම් මම ලියන්නද
වචන නැතුවම ලියාගන්නට
සිංහලේ මුළු ශබ්දකෝෂය
පෙරළුවත් නෑ හමුවුණේ

පුරාසඳකට එළිය කුමටද
පිච්ච මලකට සුවඳ කුමටද
මගේ එළි වැට නුඹම හින්දා
අනේ රන් කඳ කවිය අපිමය...

[ලක්මිණ ජයරත්න]


අවසන් හුස්ම

අවසන් හුස්ම පොද
හෙලන්නට පෙරාතුව
අපි අපේ වූ සැඳෑවන් තිබිණ
මල් සමය නිමවන කලට
නුඹට මට යන්නටම සිදුවේ

මතු දිනෙක අප එක්ව සෑදූ
මේ මහා මල් උයන් විජිතය
සුවඳවත් කරාවි
කවුරුන්ම හෝ පැමිණ

අපේ මතක කඳු පවා
මේ මහා විශ්වයට
අමතකව තිබේවී

දහර කල සිලිටි වී
තුරුණු කල සුවඳ දී
මහළු කල මිය යන එක
සතුටක්ය අපට

අපේ මතකය පවා
මේ මහා විශ්වයෙන්
ඈත් වී යන එක
ඉතාමත් හොඳය.

[ගුරුගොඩ සිරිවිමල]


ෆාතිමා
ඒක ලස්සනම නමක්

Thank you for your SMS
පෙරුම් පිරූ සිහිනයකි දෑස් අග
පේනවා හිතක සුද ඉස්පිලි පාපිලි අඩු අකුරු මැද
බොඳවන තෙක් දෑස් පටලැවී අකුරු එක තැනම
කී පාරක් කියෙව්වද එකම වචන පේළි ටික
එකම දේ මට නොතේරෙන
මොකක්ද ඔය කියන වෙනස

ෆාතිමා පුළුවන්ද යන්න කවුළුව ළඟට
බලන්න වෙසක් සඳ බැස ගිය තැනම
ඔය මෝදුවෙන්නේ රාමලාන් හඳ
වෙනදටත් වඩා ලස්සනයි තරු විසුළ අහස අද

වැහිවලාවක අඳුර එන්නට පෙර අහසට
කාටත් එක සේ දැනෙන ලොව සොඳුරු ම’දසුන
ගස්වැල් මිදුල මත කැටි ගැසුණු සඳ එළිය
එන්න දෝතට අරන් ඒ අපේ ආදරය

ෆාතිමා ඒක ලස්සනම
මලක නමක් වගේ ඇහෙනකොට
මල් සුවඳක් සේ දැනෙනවා
පිරෙන කොට නුහුරු හැඟුමෙන් සිත

ජාතියකි යන හිස්කොටුව
තියමු හිස් තැනක් එහෙමම
සිංහල කියලා ලියන්නම්
නොලියාම බැරි තැනක

ඉඩදෙයිද දෙන්නටම එන්න පල්ලියට
දෙවියන්ගේ ආදරය දැනෙන්න අපේ සිත්වලට
යමු පන්සලේ සල් ගහ යටට
මල් පිපෙන කාලෙට ලස්සනයි සල් ගහ යට

අනන්ත ගිරිමුදුන් සිප එන මඳනළ
මුමුණයි රහසින් සියවස් ගණන් ගී යැදුම් සවනට
වලාකුළු සේ පාත්වුණු බිමට
මීදුමක් වී කැටි ගැහැන්නේ මිටියාවත්වල
සිත්වලට පෙරා ගත් මිහි මවගේ ආදරය

ෆාතිමා වසා ගන්නා පර්දාවෙන් හිස
කමක් නැහැ මූණ නොපෙනුණත් බාගෙට
මූණට වඩා කොච්චර ලස්සනද
මායිම් නැති ඔය සිත

[රෝහණ දීපාල්]


කිරිපිටි පැකට්ටුවක් සොරාගත් කතක්
සයමසක් රිමාන්ඩ්
-පුවතක්-

කිරි කළ සතකි කළු මුහුදේ පා කෙරූ
කැලඹිණි දෙලොව විස විහිදා ඈ මැරූ
අඳුරේ එළිය සඟවා සව්දිය පිරූ
සයමස් පාප ගින්නට මුලනම් කරූ

පෝදා දිනක ගොම්මන පසු වූ වෙලේ
තිඹිරිගෙයින් විලිහඬ ඇසුණා ඔහේ
කිරිකැටි හැඬිල්ලේ ඇරඹුම සිදු වුණේ
මවුගේ හුස්ම නැවතුණු පසුවයි පුතේ

වියළී තිබුණු මා පියයුරු වෙත නැමී
තළුමර උරන්නට නුඹ ගන්නා වෙරී
ලේ කිරි නොවුණු මුත් දැක ඉවසා බැරී
දුකටයි කඩෙන් සොරකම් කළෙ මම කිරී

[කවිඳු N අමරතුංග]

මාතෘකා