කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

විරහවේ අවිය

 

විරහවේ කගපත් අගින්

සිදුරු කළ තෙත් හදවතින්

ගලන රුධිරය

එකට එක් වුණු

තැනක සිටුවමි

යසස් පැලයක්

එයින් දවසක ලොවට උපදින

විටක ලෝකුරුවකුගේ දෑතින්

පණ පෙවෙනු ඇත

පැරණි අසිපත්

අභිබවා යන

යුදවියක්

එයට මිතුරනි නමක් දෙනු හැකි

වෛරයේ දිගුවක් ලෙසින්

[දිල්මිණී හසින්තා]

------------------------

සිරිමතී

 

වළපයට යන ගමන

පිළිවෙළට අන්දන්න

යකඩයෙන් හැදූ ඔය

හිත තරම පෙන්නන්න

මුළු ගමට ගම් හතට

පිරිමියෙක් කැන්දන්න

සිරිමතී දැන් හොඳට

අත් දෙකම හෝදන්න..

 

සත් දිනක් කිලි වසා

ගම්මුන්ට පේවෙන්න

පෙට්ටියක් අස්සෙවත්

උඹ ගිහින් හැංගෙන්න

සාදු දී ධාතු ළඟ

උන් නිවන් දක්කන්න

සිරිමතී උඹෙ අතින්

කුණු පපුව ගලවන්න

 

පිපෙන්නෙත් වතුසුද්ද

උන්ගෙ ගෙයි මිදුලෙමයි

ලැබෙන්නෙත් හරි ඉහළ

වංසෙ මනමාලයොයි

උගන්නත් සිල්පෙ බර

ජීවිතේ බර වැඩියි

සිරිමතී උඹ හරිම

ලස්සනයි තනිකඩයි...

 

දෙනියායෙ ගුරු පාර

පෙර මගම කල් තියා

පොඩි එවුන් හංගගන

අම්මලා දුර ගියා

මැරුණු කල හිස් කරන්

උඹත් ගමනක් ගියා

බස් එකත් අද්දලා

නොනැවතී දුර ගියා...

[අංජලී හේරත්]

---------------------------

මම මා දකිමි

 

දකිමි මම, ඇවිද යනු මා

සදාකාලිකත්වයේ ලවණ වෙරළ මත

දැනෙයි මට සයුරු මීදුමේ තෙත් පහස

මා රිදවනු

ඇසෙයි මට රළ තරඟ

දොඩනයුරු වෙරළට

හැර යා නොහැක මට

 

දැවටෙන වැලි හැලෙයි මා සිරුරෙන්

මුහුදු ළිහිණියෝ

නොදොඩති මට යළි

රළ තරඟවල කෙඳිරිලි

වියැකී යමින් පවතී

 

හැර යා නොහැක තවම මට

පසුබසියි දැන් දියකඳ

සිතමි මම

එය යළි එනු ඇතැයි මා වෙත

හැර යා නොහැක තවමත් මට

සැඟව යයි හිරු

සයුරේ නිසල බව තුළ

වටහා ගනිමි මම

මා හැර යා යුතු බව

 

කාලයයි මේ

හැර යෑමට

 

(පාකිස්තානු කිවිඳියක සහ ලේඛිකාවක වන ෆාතිමා භූටෝ විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

ෆාතිමා භූටෝ

වර්ෂ 1982 මැයි 29 වැනිදා කාබුල් නුවරදී උපත ලද ඇය පාකිස්තානයේ අගමැතිවරියක වූ බෙනාසීර් භූටෝගේ ඥාති දියණියකි. සිරියාව සහ කරච්චිය ආශ්‍රිත ප්‍රදේශවල හැදී වැඩුණු ඇය ඇමෙරිකාවේ බාර්නාඩ් විද්‍යාලයෙන් කලා උපාධියක් සහ බ්‍රිතාන්‍යයේ SOAS විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගත්තාය. ඇය රචනා කළ කාව්‍ය නිර්මාණ ඇතුළත් ප්‍රථම කාව්‍ය සංග්‍රහය 1998 ‘විස්පර්ස් ඔෆ් ද ඩෙසර්ට්’ (Whispers of The Desert) නමින් පළ විය. එයින් පසුව ඇය රචනා කළ දෙවැනි කෘතිය ‘8.50 ඒ.එම්. ඔක්තෝබර් 2005’ නමින් 2006 වසරේදී පළ වූ අතර, සිය පවුලේ තොරතුරු ඇතුළත් කරමින් ඇය රචනා කළ‘සෝන්ග්ස් ඔෆ් බ්ලඩ් ඇන්ඩ් ස්වෝර්ඩ්’ (Songs of Blood and Sword) නමැති මතක සටහන් කෘතිය 2010 වසරේදී පළ විය. ඇය රචනා කළ ප්‍රථම ප්‍රබන්ධ කෘතිය 2013 වසරේ නොවැම්බර් මාසයේදී ‘ද ෂැඩෝ ඔෆ් ද ක්‍රෙසන්ට් මූන්’(The Shadow Of The Crescent Moon)-නමින් ප්‍රකාශයට පත් විය. ‘ඩිමොක්‍රසි’ (Democracy)නමින් ඇය රචනා කළ කෙටිකතාවක් සහ විද්‍යුත් කෘතියක් 2015 වසරේදී පළ වූ අතර, ඇගේ අලුත්ම නවකතාව ‘ද රනවේස්’ (The Runaways) නමින් පසුගියදා නිකුත් විය.

[අජිත් නිශාන්ත]

-----------

අපේ ජාත්‍යන්තර සබඳතා

 

ක්‍රීම් ක්‍රැකරුත් දෙකක් මුහු කොට

කිරි එකක් බොමි උදේ හීලට

බටර් ගා පිරිමැදි තාලෙට

පාන් පෙති අතරමැදි වේලට

 

ඇඩිඩාස් බෑග් එක එල්ලා

තාත්තගෙ රථයේ කොරොල්ලා

ඕ කේ අයි බලා යල්ලා

ඕ ලෙවල් ලන්ඩන් ඇවිල්ලා

 

චීස් සැන්ඩ්විච් දෙකක් කාලා

නෙස්කැෆේ කප් එකක් බීලා

එෆ්බී එකෙත් කරක් ගහලා

ටෙලි ෂොපිං පාරකුත් දාලා

 

ඩෙනිම් ටී ෂර් ට් ඇඟ ලන්නේ

මරුටියෙනි අම්මා එන්නේ

මං කොකාකෝලා ඉල්ලන්නේ

මයිලෝ එකකි අරන් දෙන්නේ

 

බාස්මතියෙන් පිසූ බතට

සොසේජස් කරල් රස බැදුමට

සුප් කැටේ දමා ඇති පදමට

පරිප්පුව නැතුව නම් බෑ මට

 

හිතුණාම අපි රෑට මැක්ඩොනල්ඩ්ස් යනවා

එහෙම නැත්නම් පිට්සා එකක් ගෙන්නනවා

හිතුණාම චයිනීස් එකට ගොඩවෙනවා

තවත් සමහර දාට කොත්තුවක් කනවා

[දේවිකා මධුවන්ති ගෝවින්නගේ]

එක කවියක් රුපියලයි කාව්‍ය සංග්‍රහයෙනි

------------------------

කතා කරපන් මහරගම අහස

 

පෙර ආත්මයක කර ඇති මහා පාපයකට...

කමක් නෑ අද දෙවියන් අහක බැලුවාට...

ඇයත් මමත් දෙතැනකට වී...

මේ තරම් දුක් වේදනාවන් විඳින බව...

දැනුණත් මහරගම අහසට...

නොදැනෙන සේ නොපෙනෙන සේ...

අහක බලන් හිඳින්නේ ඇයි ඕහොම...

කතා කරපන් මහරගම අහස...

ඔය ඇති දැන් ගොළු වේලා හිටියා උඹ...

[කසුන් ලක්ප්‍රිය]

-----------------------

ප්‍රේමයට කෝ උපමා

 

දම් පාට රාස්සිගෙ අව්ව

මුළු වැල්ලම වහගත්තා

එහෙම දවසක තමයි

පපුව ගිනිගත්තෙ ඇවිලිලා

උරහිසට බර දීලා

අතකිනුත් අල්ලන් ඉඳලා

නුඹ ගියේ කොහොමද

මට මෙහෙම පිටුපාලා

 

සඳ මිරිකලා කතා කරලා කන තියලා බලපන්

සත්තමයි මැණිකෙ මේ කරගැට පල්ලා බොරුනම්

ඇඟ දිගෙ ගලන් ගිය දාඩියෙනුත් අහපන්

මහ රෑත් ගල් කැඩුවෙ උඹ නිසා තමයි බන්

 

ගල් කඩන කොල්ලෙක්ට නෑ ටජ් මහල් ප්‍රතිමා

කවි සිංදු ගී වලත් නෑ තැනක් කිසි දා

හදවත පැලුවොතින් ගලන් එයි ආදරේ ලේ දහරා

පපු කුහර රිදුම් දෙන ප්‍රේමයට කෝ උපමා

[ශනීෂ් ශ්‍රීමාල්]

-------------

මම

 

ආරම්භයේදී ප්‍රේමයක් විය

නගර මැද රත් ඩේලියා මල් පීදුණි

ගිනියම් කාන්තාර සුළඟට පවා

ඒ මල් මැල නොවුණි

ඔවුන් නිතරෝම

වලාකුළින් තොර විසල් නිල් අහස සමගින් සිනාසුණි

 

ඉන්පසු නිහඬ බව විය

මගේ ලොව ඔබේ ගතින් වැසුණු කල

එය අමාවක නම් විය

නමුත් මම අදුරටද සීතලටද පෙම් කළෙමි

 

ඉන්පසු හිස් කමක් විය

උදැසන අවදි වන විට

ඇඳේ දකුණුපස

ඔබේ විසල් සිරුරේ හැඩය ඇති

අවාටයක් විය

යායුතු තැනක් නොදැන සිටියෙමි

අඳුර මෙන් නොව

ආලෝකය කැපෙන සුළු සතුරු ඇස් වලින් ගහන විය

 

ඉන්පසු මම කුමක් කරම්ද?

 

ඔබේ ඇස් නිතරම පැටලෙන්නට ප්‍රිය කළ

මගේ දිගු කෙස් කලඹ

දැඩි සිතින් කපා දැමුවෙමි

කබායකින් පලල් උරහිසක් තනා ගතිමි

ගැහැනුකම තෝඩු යුගලක සිරකර

සවන් තුඩගෙහි එල්ලුවෙමි

මගේ පුරුෂයාද මමම වීමි

[තරින්ද්‍ර ගලහේන]

-------------------------

සුළඟට අවනත නොවිය යුතු කවියෙක්

 

ප්‍රබන්ධ සාහිත්‍යකරුවකු සතු විය යුතු සුවිශේෂ කාරණයක් වන්නේ ඔහුට හෝ ඇයට ඉතා පැහැදිලි සමාජ දේශපාලන කියවීමක් සහිත නිවැරදි දෘෂ්ටිවාදයක් තිබීමයි. එය හුදෙක් සාහිත්‍යයටම පමණක් සීමා කිරීමටද නොහැක. සෑම සමාජ විද්‍යාත්මක විෂයක්ම අභ්‍යාස කරන කෙනෙකුට මේ දෘෂ්ටිවාදීමය කාරණය සිය ප්‍රකාශනයන්ට ඉතා විශාල බලපැමක් කරයි. දෘෂ්ටිවාදයක් යනු මූලධාර්මික කාරණයකි. බලය පිළිබඳ ප්‍රකාශනයකි. එය බොහෝ විට සමාජ දේශපාලන අර්ථයන් මත ගොඩ නැගෙයි. කෙසේ වෙතත් ඕනෑම දෘෂ්ටිවාදයක අවසාන ප්‍රතිඵලය මානවවාදී විය යුතු බව පොදු පිළිගැනීමයි. එය මානව හා සමාජ ප්‍රගමනයට හේතුවක් විය යුතුය. නූතන කවීන් අතර සිය මානව දේශපාලන දෘෂ්ටිවාදය වෙනුවෙන් නොපැකිලව සිය පෑන මෙහෙයවන කාව්‍යක්කාරයෙකු වෙයි නම් ඒ මංජුල වෙඩිවර්ධන හැර වෙනකෙක් නොවේ. 1997දී ෂේන් මැකෙල්වී සමග නිරුත්තර සමාධිය” කෘතිය රචනා කරමින් ඇරඹී “සුළඟට අවනතව” දක්වා පැමිණි කවිමග සියුමව නිරීක්ෂණය කරන්නෙකුට ඔහුගේ මානව දේශලපාලන දෘෂ්ටිවාදය පැහැදිලිව හඳුනාගත හැකි වේ.

“සුළඟට අවනතව”කෘතිය තුළ එන බොහෝ නිර්මාණ තුළ මේ කාරණය දකින්නට ලැබේ. විශේෂයෙන් විවිධ කාලවකවානුවල අපගේ සමාජයේ කතාබහට ලක් වූ හා ලක් නොවූ සිදුවීම් වෙඩ්ඩාගේ මේ කෘතිය තුළ කාව්‍ය නිමිති ලෙස ගෙන ඔහු අප සමග සංවාදයට මුල පුරයි. එවැනි බොහෝ කවිවලට ඔහු පාද සටහනක් යොදන්නේ කවිය ලියැවුණ අත්දැකීම් පසුතලය පිළිබඳ රසිකයාට අවබෝධ කර ගැනීමට විය යුතුය. එය විටෙක නොකළමනා දෙයක් යැයි සිතේ. කවියකට පසුතලය සැපයීමෙන් කිසියම් රාමුවක් තුළ සිට කවිය කියවන්නට රසිකයා කොටුවීම අනිවාර්යෙන් සිදු වේ.

 

ටොක්කා සමග යනවිට තුරඟකු දක්කා

සුක්කානමක් නැති රථයක එළි දැක්කා

රැක්කා කියන උන් ඇවිදින් කණු එක්කා

මක්කා කොළාදැයි කියපං මට ලොක්කා

(මාතලංට - පිටුව 36)

 

බ්ලූමැන්ඩල් කඳු මුදුනේ හිරු දිලුණා

කුණු කන්දල් මඳ පවනේ සුව දැනුණා

අලි සෙල්ලම් කෙළි වරුණේ හඬ ඇසුණා

සුදු අම්මේ ඔබෙ පපුවට වෙඩි වැදුණා

(සිවිලිම උඩ ගෙදර - පිටුව 59)

 

කන්දේ ලැගුම් නොගෙන පැමිණෙන්න

දුන්දේ සුවඳ බැරිය අරගන්න

නින්දේ නො ඉඳ දුවට අමතන්න

නන්දේ ඇගේ කඳුළ ඇහැරන්න

(නන්දේ, ඇගේ කඳුළ ඇහැරන්න - පිටුව 64)

ඉහත උපුටාගැනීම් එවැනි කවි කිහිපයකිනි. නමුත් මේ හැම කවියකම විශේෂත්වය වන්නේ වෙඩ්ඩා ගේ මානව දේශපාලන දෘෂ්ටිවාදය මේවායේ පැහැදිලිවම සටහන් වී තිබීමයි.

“සුළඟට අවනතව” කෘතියේ තවත් එක් ආකාරයක කවි රැසක්ද දක්නට ලැබේ. ඒවා කිසියම් ආකාරයකට වෙඩ්ඩාගේ විප්‍රවාසී ජීවිතය නිසා ඇතිවූ අහිමිවීම්වල වේදනාවෙන් නිපන් ඒවාය. “අඳුරගන්නම බැරි අඳුරක”, “කොන්ත තරුවට”, “වීදුරු කවුළුවක් බිඳ”, “හැන්දෑව නම් වූ අදහස”, “මේ කියන සිහිනය”, “ගස්මාරු පෙති තෝරු”, “සුළඟට අවනතව”ආදී නිර්මාණ තුළ බාහිරව අපට නොපෙනෙන එහෙත් වෙඩ්ඩා ගේ අභ්ය්න්තරයේ පැලැහෙන කිසියම් සියුම් වේදනාවක් යටි පෙළින් ගලා බසී.

මෙම කාව්‍ය එකතුවේ එන “ප්රේයමයේ නන් පැහැ හෙවත් ඒ කළු - සුදු වෙඩින් ෆොටෝ එක” අපූරූ සූක්ෂ්මතා නිරීක්ෂණයක ප්රමතිඵලයක් යැයි හැඟේ. සිය මවගේ හා පියාගේ මංගල ඡායාරූපය දකින කවියා ගේ සියුම් නිරීක්ෂණයන් ඔහු කවියට ගොනු කරන්නේ මෙලෙසිනි.

 

යවුවනය නිනද වන ඔය නිමල ඇස් අතර

සනාතන යවුවනය දකිමී

අකුරු බොඳ වී නොගිය ස්වර්ගීය ගිවිසුමෙක සොඳුරුතම දෙපොළ බව හඟිමී

සංසාර කැඳවුමෙක අවිහිංසක ම ඉමෙක

අසෙනිය කුසුම් පොකුරු ඉසිමී

ගැඹුරුතර ජීවිතය සරළ බව මෙ තරම්ම

කියාදුන් පෙමට හිස නමමී

(ප්‍රේමයේ නන් පැහැ හෙවත් ඒ කළු - සුදු වෙඩින් ෆොටෝ එක - පිටුව 58)

මේ කවි පෙළේ අක්ෂර වින්‍යාසය කවියා විසින් උවමනාවෙන්ම සරළ කර ඇත්තේ සිය දෙමව්පියන්ගේ ජීවිතයේ සරළ බව තියුණුව හැඟවීම සඳහාය. එය කවියෙකු සතුවිය යුතු සූක්ෂ්මතාව පිළිබඳ හොඳ උදාහරණයකි.

මංජුල වෙඩිවර්ධන යනු අපූරු රූපකාර්ථවත් බසකින් සිය වාග් කෝෂය පුරවාගත් කවියකි. විටෙක ඔහු සිය අත්දැකීම කියන්නට භාවිතා කරණ භාෂාව විශ්මය දනවනසුලුය. එසේම ඔහු කවියේ රිද්මය ගැනද සැළකිලිමත් වේ. විවිධ විරිත් හා රිද්ම රටා උපයෝගී කොට ගනී. නමුත් වෙඩ්ඩාගේ විශේෂත්වය වන්නේ ඒ කිසිවකට සිය අත්දැකීම යටපත් කරන්නට ඉඩ නොදීමයි. රිද්මයේ හෝ ආකෘතියේ වහලෙකු නොවීමයි. ඒ සියල්ලෙන් අත්දැකීම කපා කොටා ඔපවත් කිරීමයි. එසේම ඔහු නූතනම බස් වහරත් සිය කාව්‍ය නිර්මාණ සඳහා උපයෝගී කොට ගනී.

 

සුරේ මං බැන්දා

ඔයා කෝචොක් කරන පෙන්දා

සොරබොර මෙහෙම

අපි මෙහෙම

(ඊ ලියුං කරදහියක් - පිටුව 78)

මංජුල වෙඩිවර්ධන යනු අපට සිටින කවින් අතර සිය කවියට බරපතළ අවංක කමක් දක්වන කවියාය. සමාජ දේශපාලන කාරණා කෙරෙහි ඔහු ගේ නැඹුරුව අත්‍යනන්තයෙන්ම දේශපාලනිකය. ඔහුගේ කෘතීන් සියල්ලම එයට දෙස් දෙයි. නමුත් “සුළඟට අවනතව” කෘතියේ ඔහුගේ අත්දැකීම් තෝරා ගැනීමේ යම් පසුබෑමක් දකින්නට ලැබේ. එක්කෝ ඔහුට මෙතෙක් පැවති කවිය පිළිබඳ වෙහෙසකාරී අදහසක් ඇතිවී තිබේ. නැතිනම් කවියේ විෂය කාරණා වෙනස් කිරීමේ උවමනාවක් ඇති වී තිබේ. එසේ වුව අපට ඔහු ගේ ආව්‍ය අනන්‍යතාවේ සුවිශේෂ බව දැනෙන්නේ නිවැරදි දැක්මකින් සමාජ දේශපාලන කාරණා ඔස්සේ සිය කවිය හසුරවන විට බව වෙඩ්ඩා ට ආදරෙන් කිවයුතුය.

[කපිල එම්. ගමගේ]

මාතෘකා