මහල්ලා

 ඡායාරූපය:

මහල්ලා

නොවෙමි මම ඒ පෙම්වතා, ලාලසාවෙන් පිරුණු

ලොව මවිත කළ ගති සොබා පළ කළ තුරුණු

අහෝ, මගෙ වසත් සහ ගිමන් කල ගෙවී ඇත දැන්

එකම එක සලකුණක් හෝ ඉතිරි නොකරම.

අනංගය, තාරුණ්‍යයේ, ප්‍රේමයේ සහ යහපතෙහි දෙවියනි!

සිටියේ මා ඔබේ යටහත්පහත් සේවකයකු විලසිනි

යළි ඉපදිය හැකි වුවහොත් මට, කරමි මම ඔබට මෙහෙවර

පෙරටත් වඩා පෙම්බරව සහ බැතිබරව!

(රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් විසින් රචිත

කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

ඇලෙක්සැන්ඩර් පුෂ්කින්

රුසියානු කවියකු, නාට්‍ය රචකයකු සහ නවකතාකරුවකු වූ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් රුසියාවේ බිහි වූ විශිෂ්ටතම කවියා මෙන්ම නූතන රුසියානු සාහිත්‍යයේ පුරෝගාමියා ලෙසද සැලකෙයි. වර්ෂ 1799 මැයි 26 වැනිදා මොස්කව් නුවරදී උපත ලැබූ ඔහු සිය ප්‍රථම කාව්‍ය නිර්මාණය පළ කළේ වයස අවුරුදු 15දීය. ශාන්ත පීටර්ස්බර්ග් නුවරට යාබද සාර්ස්කෝයේ සෙලෝ ප්‍රදේශයේ පිහිටි ඉම්පීරියල් ලයිසියම් නමැති අධ්‍යාපන ආයතනයේ ප්‍රථම උපාධි අදියර සම්පූර්ණ කරන කාලය වන විට රුසියානු සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඔහුට ඉහළ පිළිගැනීමක් හිමිව තිබිණි. වර්ෂ 1820දී පළවූ ඔහුගේ ප්‍රථම දීර්ඝ කාව්‍ය නිර්මාණයට පාදක වූ අනුභූතිය සහ ශෛලිය රුසියානු සාහිත්‍ය සමාජය තුළ දැඩි ආන්දෝලනයට පාත්‍ර විය. ඔහුගේ කාව්‍ය නිර්මාණ ඉංග්‍රීසි බසට පරිවර්තනය වීමත් සමඟ රුසියානු සාහිත්‍ය සමාජයෙන් පරිබාහිර විශ්ව සාහිත්‍යය ඇසුරු කරන විශාල පිරිසකගේ අවධානයද ඔහු වෙත යොමු විය. කෙටි කලක් තුළ විශිෂ්ට නිර්මාණ රැසක් රචනා කළ ඔහු වර්ෂ 1837 ජනවාරි 29 වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී මිය ගියේය.

 

[අජිත් නිශාන්ත]

මාතෘකා