කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ශ්‍ර‍ද්ධාව හදවතට සුවදායකය. එහි වටිනාකම දැනෙන්නේ ප්‍රඥාවට කනවැල අල්ලන විටය. එවිට එය බුද්ධියට ද ප්‍රියමනාපය. ශ්‍රද්ධාවේ පහනේ එළියෙන් ප්‍රඥාව කරා යෑම තරමක් දුෂ්කරය. එහෙත් ජීවිතයට වැඩදායකය.
ශ්‍රද්ධා මාර්ගය පහසුය. හදට සුවබරය. පැසසුම්ද ලැබිය හැකිය. ගමනාන්තය දුක්බර වුවද මඟ විසිතුරු නිසා ඒ බැව් නොදැනේ... ඒ නිසා සිත් සතොසින් එමඟම යති.

සේයා | ධර්මවිජය සෙනෙවිරත්න අකුරු | තිඹිරි


හමු(නො)වීම

මේ තුරු දෙපළ
එකම මඟ දෙපස හිඳ,
වැදූවත් ළපටි දලු
තියුණු මුවහත් පිහිතල
උන්ට නොම ඉඩදේවි
එකිනෙකා හමුවන්න...

නමුදු... ඇතැම් විට...
කාටවත් නොපෙනෙන,
පොළොව ඇතුළේ
ගැඹුරු පතුලක
උන්ට දැන් උන්
හමුවෙලා ඇති....

[අනුත්තරා කොඩිකාර]


කොටුව පැනීම තහනම් !

වට කොට
කොටුවක් ඇන්ද
ඒ වටා වැට බැන්ද
කවි පිටුවට සිත් බැන්ද
කවියන්ම මිස අංකුර
අන් කවුරුන් ද !

කප්පාදු කතුර
දත් විලිස්සාගෙන
ඉතිං වැට නොපනිනු
කොටුවට සීමා වනු!

කවිය
පිටුවක මායිමට තල්ලු කළ
කර්තෘවරුනි
කවි පිටු සංස්කාරක වරුනි
සීමා නොපනවනු!

හිත තුළ වැඩෙයි
ළදරු කවිය
බලා හිඳිමි
මවක ලෙස
කොහොම
කපා කොටන්න ද
අත් පා

කොටු කළත්
මල් ගස වැඩෙයි
අතු පිටතට එබෙයි
අතු වලත්
මල් පිපෙයි

අත පය හකුළගත්
කෙට්ටු කවියකි
'කෙලෙස අත පය
දිග හරින්න ද
කොටුවෙහි මායිමේ
පසෙකින් වෙළෙඳ පොළය
පසෙකින් කුණුගොඩය
පසෙකින් මඩ වළය'

කවි පිටුවට අකැප
කවා පොවා
ඇති දැඩි කළ
උස මහත කවි
ගෙදර තියාගෙන
කුමක් කරන්න ද

නැතියෙන් බර පැන
හිතට බර
අත් පිටපත
අසරණයෙකි
නැතුව අතහිත

සැබෑය
කවියෙහි ආත්මය
සංක්ෂිප්ත බවය
කමා කළ මැන කිවිවරුනි
දූහුනන් හිතෙහි තෙරපෙන
ප්‍රස්තුත මහ විශාලය

[සු. ප්‍රි. සමරසිංහ]


ඇත්තමයි සාරදා...

හිස් මුදුන මත්තෙන් අලුත
මෝදු වී එන හඳට
සිටි සිටියෙ පිණි වැටෙයි
හැමදාම හිමිදිරියට

පඩියෙන් බාගයක් ඉවරයි
බැංකු ණය පොලියට
ඒ පාඩුවත් අපිටමයි
කෝච්චිය වැරදුණු දවසට

කොඳු ඇට පෙළින් ඇද ඇද
පිටත් වෙනකොට හෙමිහිට
තාම ඇහෙනව හූ කියන හඬ
ස්ටේසමෙන් බැස්ස අපිට

රත්නෙ ඔයා අහගෙනද..?

ගියේ නෑ අපි කොහෙවත්
මේ පාර ඉස්කෝලෙ නිවාඩුවට
ගෙදරටම කොටු වෙලා මං
ආසයි පුංචි වෙනසකට

ඇත්තමයි සාරදා....!

බාගෙට ඇහෙන ඔය කතා
යාන්තම් ඇස් පියවෙන කොට
කොයි තරම් නම් ඇතිද තව
මේ සොළොස් අවුරුද්දට

හිල් මේස් බැනියමේ වෙනස
මැදපු කමිසෙන් වහන අපිට
පාට මාරු වෙන අහසෙ
රෑ එළි වෙන එකම මදිද..?

[වින්යා ජයසේකර]


කොටුවේ දී

පාරක් තොටක් ගානෙම දහවල් අව්වේ
තාර රස්නයට බඩගිනි මුහු ගැහුණේ
ජීවිත සන්නියට කෙළි පිටියක් මැව්වේ
දෙවියොද අපිට මේ ජීවිත උරුම කළේ

ඉටිකොළ ගහපු සෙලවෙන රජ මාළිගය
හීතල වැහිකෝඩ දියකෙරූ ජීවිතය
අම්මා ගිය දවස මට මතකයි හොඳට
අඹ ගහ යට තමයි ගෙවුණේ දවසෙ පැය

ජීවිතේ ඇදන් යා යුතු බව දැනම
මට බෑ ගෙදර මල්ලට තව බර දෙන්න
තාත්තට ලෙඩයි බෑ වැඩ කරගන්න
විස්සයි කපුරු මල්ලක් අරගෙන යන්න

[ශනීෂ් ශ්‍රීමාල්]


මහ පොළොව උඹට

මනුස්සයෙක් මොන තරම් මහ පොළොවට බරක් ද?
ඒත් කිසිදා මහ පොළොව ඒ බර උහුලන් හිඳිනවා හැර...
මනුස්සයකුගේ හිත රිදෙන්න වචනයක් කියනවා ද?
මනුස්සයකුගේ හිස මත මහ පොළොව තැබුවා නම්...
මොන තරම්නම් වචන කියාවිද මහ පොළොව උඹට...

[කසුන් ලක්ප්‍රිය]


අඳුරු ලප

පුතේ හඳහන් ලියා තිබුණට
මහා වෙදැදුරු වෙන්න දවසක
වැල්ල මත ඇඳි උඹේ ඉරණම
රැල්ල අරගෙන ගිහින් ඈතට

අතේ කරගැට පඳුරු වහගෙන
මාළු ලෑල්ලට උදේ යනකොට
උඹේ වයසෙම කොක්කු එනකොට
හිතේ කරගැට මැවෙනවද පුත

එදා පන්තියෙ පළවෙනිය උඹ
මෙදා වෙරළේ කාඩයලු උඹ
උඹේ අප්පා කිව්ව මතකද
අපේ පන්තියෙ පළවෙනියො නැත

කහට පිරුවට රෑට බැබළෙන
හඳෙත් ලප ඇති අපට නොපෙනෙන
අහස් වියනට උඩින් බැලුවම
අපිත් ලපයක් හඳට නොපෙනෙන

[හරිත් කෝණාර]


නුඹ එක්ක

ගොඩ නැගූ
ඒ විසල්
ප්‍රේමය
දැන් ඉතින්
කුණු වෙලා
ගඳ ගසයි
හැමතැනම
ඉතින් දැන්
කරන්නට
ඇති එකම
විසඳුම
හොඳින් උතුරා
බුබුලු දමනා
වතුර හැළියකට
ප්‍රේමය දමා
හොඳින් තම්බා
ලොකුම ලොකු
වළක් හාරා
එතුළට දමා
ඊට උඩින්
ගල් දමා
ඊට පසු
පස් දමා
වැසීමයි

[දිනීප මධුෂාන්]

මාතෘකා