කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

යකඩ වැට උඩ කුරුල්ලා

නොහික්මුණු හොටක තුඩ සීරුවෙන් අතුල්ලන
හරව හරවා මුහුණ හාත්පස පිරික්සන
තටු ලැබුණු ජීවිතේ කොටු නොවන අරුම ගැන
කියාදෙන කුරුල්ලෙකි යකඩ වැට උඩ ලගින

හොට අගින් ගයන්නේ ගීත නොව නිදහසයි
තටු යුගෙන් සලන්නේ හමා එන මඳහසයි
ඇතැම් තැන නිහඬ බව අහස ගැන උදහසයි
පැතුම් තව දුරක බව නොකියවෙන අදහසයි

තැඹිලි පැහැ දෙනෙත යට ගිලෙයි ඉටු වන සිහින
ඉටු නොවන බව දැනුණ විට සිහින වැහි වහින
එහෙව් මොහොතක කොහෙන් හොයන්නද මල් තුහින
තටු සඟල වීරියට ගෙන පිරිත් පැන් ඉහින

වැට උඩින් වැට යටින් ජීවිතය යයි ගලා
හොට පුරා සිනාසෙයි කුරුල්ලා බිම බලා
වට වලාකුළු මැදින් අහස ඇති නෙත් හෙළා
හෙට වුණත් මඳහසින් ඉඳියි පසෙකට වෙලා

තට්ටු කර හරි ම තැන නිල බලා යකඩ උඩ
කියන්නට උවමනා කතාවකි උඹේ හඬ
සද්ද නැතුව ම එහෙත් තියාගෙන තවත් ඉඩ
කුරුල්ලා නිසොල්මන සීරුවට ඉතින් වැඩ

[කසුන් සමරතුංග]


වසරක ඇවෑමෙන්

අදින් පසු, මා කෙසේ දොඩන්නද ඔබට?
දනිමි ඔබ වපුරන මේ දුර්භාග්‍යයන්
මගේද බව ඔබේ මෙන්ම,
සිතනවාද ඔබ,
අපක්ෂපාතී ගොනුන් විමසතැයි
කාගෙදැයි කියා සීසාන බිම?

හඳුනමි මමද, ඔබ තරමටම මෙනුවර
ගණිකා මඩම්වලට යන පාරවල් මෙන්ම පව්කාරකම්
ඒවායේ සිදු වන, අපේ ජීවිතවල මෙන්ම ඒවායේද සිදු වන.
ඉතින් මා සිරභාරයට ගන්න මේ දැන්ම,
නූගත්කම නමැති දොරගුළුවලින්
නිදහස ලියන්නේ නම් සොඳුරු නොවන හෝඩියක්

පරණ වධකාගාරය හරිත කෙම්බිමකි තවමත්
සුදු මුදු සොහොන් බිම උඬඟු උයනකි පිපි මලින් වැසුණු
සැරිසරති ඔබ රහස් කුටි අරා සැබෑ වවුල්ලු
නිතර දකින සොඳුරු සිහිනවලට සරදම් කරන,
ඒ අතරතුර සිදු කෙරෙයි පව්කාරකම්
දැනුදු තැන තැන

අකීකරු පුරවැසිය, හිතනවාද ඔබ මා දන්නේ නැතැයි
දයා කරුණාව පරයා, කෝපයම හඬ තලන බව
මෙලොව හැම මිනිස් පුරවරයකම?
මිනිස්සුම මරති තවත් මිනිසුන්,
මරා දැමිය යුතු බැවින්ම
ඔවුන්ගේ පව්කාර ආණ්ඩු ගොඩ නංවන්නට.
(ගුයානාවේ කවියකු වූ මාර්ටින් කාර්ටර් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)


මාර්ටින් කාර්ටර්
වර්ෂ 1927 ජූනි 07 වැනිදා ගුයානාවේ ජෝර්ජ්ටවුන් ප්‍රදේශයේ උපත ලද මාර්ටින් කාර්ටර් විවිධ සමාජ සහ දේශපාලන ක්‍රියාකාරකම්වල නියැලෙමින් බොහෝ අත්දැකීම් ලැබූ කවියෙකි. ලේඛකයකු, දේශපාලනඥයකු, විප්ලවවාදියකු මෙන්ම ඉතිහාසඥයකුද වූ ඔහු මෙතෙක් ගුයානාවේ බිහි වූ විශිෂ්ටතම කවියා මෙන්ම කැරිබියානු කලාපයේ වඩාත්ම කැපී පෙනුණු කවීන් කිහිපදෙනාගෙන් අයෙකුද විය. ප්‍රතිවිරෝධය, නැගී සිටීම සහ අරගලය වැනි තේමාවන් ඔස්සේ බොහෝ කාව්‍ය නිර්මාණ රචනා කළ ඔහු, 1966 වසරේ ගුයානාවේ නිදහස වෙනුවෙන් ගෙන ගිය දේශපාලන අරගලයට සක්‍රිය වශයෙන් දායක විය. බ්‍රිතාන්‍ය රජය විසින් 1953 වසරේ ඔක්තෝබර් මාසයේදී සහ 1954 වසරේ ජුනි මාසයේදී ඔහුව සිරභාරයට ගනු ලැබිණි. ප්‍රථම වරට සිර දඬුවම් විඳ නිදහස ලැබූ ඔහු රචනා කළ ‘පොයම්ස් ඔෆ් රෙසිස්ටන්ස් ෆ්‍රොම් බ්‍රිටිෂ් ගුයානා - 1954’ (Poems of Resistance from British Guiana -1954) නමැති කාව්‍ය සංග්‍රහය ලොව පුරා කාව්‍ය රසිකයින්ගේ විශේෂ අවධානයට ලක් විය. දීර්ඝ කාලයක් තිස්සේ කාව්‍යකරණයෙහි මෙන්ම දේශපාලන ක්‍රියාකාකරකම්වලද නියැලී සිටි ඔහු 1997 වසරේ දෙසැම්බර් 13 වැනිදා මෙලොවින් සමු ගත්තේය.

[අජිත් නිශාන්ත]



ඇය
මාගේ කමිසයක්
ඉල්ලා ගත්තේ
මා ළඟ නැති නිසා
මගේ
උණුහුම
සුවඳ
මා නිතර
ළඟ ඉන්නා බව
සිහිපත් කරගනු
පිණිසය...

දැන් ඈ
මගේ කමිසය
තුරුළු කරගෙන
නිදාගන්නවාය
සිඹිනවාය
මට නැති
උණුහුමක්
සිසිලසක්
මගේ කමිසයට දෙනවාය
මම ඒ කමිසය සමග
බරපතළ
ඊර්ෂ්‍යාවකින් පෙළෙමි
අනේ ඒ කමිසය
මා වූවා නම්.....

[දිනීප මධුෂාන්]


(අ)සමාන

මට මා හමු වන
ඔබට මා නොලැබෙන
ඇරඹුමත් නැවතුමත් එකමය
ගිනි කුරුල්ලෙක් පිපී මියයන

ඉර රැසින් දිදුලන සඳ
ඉර නැගීමෙන් වියැකෙන
දහවලත් රැය එකමය
වචන දෙකකින් බෙදා වෙන් කළ

කොළ හැළෙන ගිම්හානය
මල් පිපෙන වස්සානය
පොපියනා මල් වැටී පරවෙන
ගිම තමයි වස්සානය

සසල තුරු මල් වනලිය
නහවනා ගං කොමළිය
සිඳී යාමෙන් නැඟේ ගිනිදිය
ඉඩෝරෙට නම මරණය

තරුවකින් ඇරඹෙන රැය
තරුවකින්මය නැවතුම
වේදනාවත් පෙමට නමකිය
එකක් මැරුණම එකක් ඇවිළෙන

සිනා සලනා දසන් මත්
සිරකරන් ඉකියකින් තිත්
හසරැලිත් කඳුළැලිත් එකමය
මඳක් නැවතී විඩාපත්

මට මාව හමුවන ...
ඔබට මා නොලැබෙන
ඇරඹුමත් නැවතුමත් එකමය
ගිනි කුරුල්ලෙක් පිපී මියයන

[දිල්මිණී හසින්තා]


පැය අටේ සිපිරි ගෙය

අපොස සාපෙළට 'ඩී 'අකුරුම ලැබුණී
උසස් පෙළ දි නම් ඉලක්කම් පැටලුණී
වරද්දා ගත් තැනින් එක පෙළට
වැරදුණී
හදා ගන්නට හදපු හැම විටම පැරදුණී

හිතට රිසි ලෙස ඇමුණු කවි පදය මනරම්
අතට හුරු ලෙස ඇඳුණු මන බඳින සිතුවම්
අතැර කීකරු වුණෙමි සිත අණට සරදම්
ගලන ගඟටම පැනපි පිහිනීම නොදනිම්

ගිරා, සැලළිහිණි, හංසෙ වින්ද රස ඈත්කොට
එක්ස්, වයි, ඉසෙඩ් අතර සැරිසැරූවේ කුමට
මඟ දිගට වැට කඩොලුමය ජීවිතය හරස් කොට
අත හිස්ය; හිත නොඋස්ය; බැරි වුණා දුර යන්නට

පැමිණි දුක පැණි රසම වූ කාලයක
දිග පළල නොබැලුවෙමි ලැබුණු රැකියාවක
මහ ගස් සේම තුත්තිරි තිබෙන වත්තක
එල්ලුණෙමි ගසක පහළට නැමුණු අත්තක

ජීවිතය සිරගතව දැන් වසර තිහකි
උදුර ගත් සති අන්ත වාර අපමණකි
ජීවිතය අපිට අපෙ අහිමි වී ඇති බවකි
අතිකාල වවුචරය -හිලව්වට එපමණකි

මොනිටරය දෙස බලාගෙන සිතමි
යතුරු පුවරුවට හිතේ දුක කියමි
ප්‍රින්ටරය දෙස බලා පිළිතුරු පතමි
යාන්ත්‍රික හදවතේ හඬට කන් දෙමි

"චක්‍ර ලේඛ ලිපි ගොනු වලට යට වුණු
කවි පද ලියන්නට ගොසින් පැටලුණු
උරගා බලන්නට ජීවිතය තවත් පමා නොවනු
ඉතින් මේ සිරගෙයින් දැන් ම පිට වී යනු"

[සු.ප්‍රි. සමරසිංහ]


ඇළක ප්‍රේමය

කොයිතරම් ප්‍රේමයක් තිබුණත්
ගඟක් ගැන පොඩි ඇළක හදවත
ගඟේ ප්‍රේමය උරුම වන්නේ
සයුරටයි එය දනිමි හිතවත

ඉඩෝරයෙ සැර මැදින් අවසන්
දියබිඳත් ගං දියට මුහු කර
ඇළක් අවසන් ගමන් යන්නෙත්
ගඟේ සෙනෙහස ගැනම හිත හිත

[සමීර මදුසංක]

මාතෘකා