සඳුන් දැවමය "සමන් දෙවි" පිළිරුව සමඟ දෙවි පෙරහැරේ සිරිපාදයට…

 ඡායාරූපය:

සඳුන් දැවමය "සමන් දෙවි" පිළිරුව සමඟ දෙවි පෙරහැරේ සිරිපාදයට…

අතීත කතාව

අටවගත්තු පැල්කොටෙන් හේනට, කුඹුරට ආගිය අතීත ගැමියට සංචාරයක් කියන්නේ “වන්දනාවක්” විතරයි. කෘත්‍රිම ගොඩනැඟිලිවලින් අපවිත්ර නොවුණු ගම්මැද්දේ ගලාගිය ඇලි දොල වලින් හැදුණු පොකුණු, දිය ඇළි, නොඉඳුල් වනගොමු අඩු නැතිව තිබුණු නිසා විවේකයක් ලැබුණු ගමන් සොඳුරු ඉසව් සොයාගෙන යන වුවමනාවක් ඔවුනට තිබුණේ නෑ…

ගම්මැද්දේ තිබුණු පන්සලට නිතර යන එන ගැමියට, හාමුදුරුවො බණට කියන අනුරාජපුරේ වරුණ, සමනොළ ගිරේ වරුණ දෑහින් බලාගන්න ඕන වුණත් හරි හමන් පාරක්-තොටක් නැති නිසා හිතුන හිතුන වෙලාවට වන්දනාවේ යන්න ඉස්පාසුවක් ලැබුණේ නෑ…

ඒ නිසාම හේන්කුඹුරු වැඩ එහෙමෙහෙ කරගෙන අවුරුද්දකට වතාවක් වන්දනාවෙ යන්න පෙරුම්පුරාගෙන ඉන්න ගම්වැසියෝ "නඩේගුරා" මුල් කරගෙන අඩි පාරවල් දිගේ වන්දනාවේ ගියේ "නිවන් දැක්කා" වගේ ආඩම්බරෙන්…

කන්ද උඩරට මිනිස්සු දළදාව ගැන ආඩම්බර වෙනවා වගේම, රජරට මිනිස්සු අටමස්ථානෙ, සොළොස්මස්ථානෙ ගැන ආඩම්බර වෙනවා වගේම රුහුණු රටේ සබරගමුවෙ මිනිස්සු සමනොළගිර නිසා ආඩම්බර වුණේ බුදුන් දවසෙ ඉඳන්….

රුහුණු රටේ මිනිස්සුන්ට, සබරගමුවේ මිනිස්සුන්ට සමනොළ ගිර උරුමයක් වුණේ කොහොමද කියල දැනගන්න ඉතිහාස කතා දිගේ ඉහළට ඉහළට යන්න වෙනවා…

බුදුන් වහන්සේ වැඩහිටියේ ක්‍රිස්තු පූර්ව 623-542 කාලයේ… ඒ කාලෙදි ලංකාවෙ රජකළේ "පනිත" රජ්ජුරුවො… පනිත රජ්ජුරුවන්ගේ මහා භාණ්ඩාගාරික වුණේ "සුමන-සමන්". පනිතගේ ඥාති සොයුරෙක් හෝ ඒ මට්ටමේ රජ පවුලේ කෙනෙක්…. මොකද, පනිතගෙන් පස්සේ රජ වෙන්නේ සමන්ගේ පුත් "දමරජ". රජකම පරම්පරාවෙන් ලැබෙන දෙයක් නිසා, සමන්ගේ පුතුට රජකම ලැබෙන්න නම් සමන් සහ පනිත සම මට්ටමේ ඥාතියෙක් විය යුතුමයි.

තමන් වෙනුවෙන් ගිරිහඩු සෑය ඉදිකළ තපස්සු භල්ලුකගෙන් අසා දැනගත් සිරිලකට බුදුහාමුදුරුවෝ වඩින්නේ බුදුවී වසරකින්. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 587දී. නාවික යාත්‍රාවකින් පැමිණ, ගෝතම ඇළ දිගේ දක්ඛිණ දේශයේ මහාමේඝ වනයට වඩින උන්වහන්සේ යක්ෂයින්ටත්, සබරුන්ටත් ධර්මය දේශනා කරනවා… පනිත රජුගේ යුව රජෙකු ලෙස, සමන්තකූඨය මුල් කරගෙන සබරගමුව පාලනය කරන සුමන-සමන් එදින බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වෙනවා… ඒ විතරක් නොවෙයි, උන්වහන්සේ වෙනුවෙන් මහියංගණ සෑයද ඉදිකරනවා… ලක්දිවදී බුදුන් සරණ යන ප්රථම ලාංකිකයා වන්නේ සුමන-සමන්… බුදුවූ විගසම ලක්දිව වැසි සාතාගිරි නම් යක්ෂ සේනාධිපතියාත්, දින පනහකින් ලක්දිව වැසි තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයොත් බුදුන් සරණ යන නිසා, සුමන් සමන් බුදුන් සරණ ගිය ප්‍රථම ලාංකිකයා වන්නේ නෑ.. නමුත් මෙරට ස්වදේශිකයන් අතරින් බුදුන් සරණ ගිය ප්‍රබලම පුද්ගලයා වන්නේ සුමන-සමන්.

ඉන් වසර හතකට පසු කැලණියට වඩින බුදුරදුන්, සුමන-සමන්ගේ ආරාධනයෙන් සමන්තකූඨයට පැමිණ සිය වම් පා සටහන තබා සුමන-සමන්ගේ අඩවිය පූජනීයත්වයට පත්කරනවා… පසුකාලීනව සුමන-සමන් දෙවියෙකු ලෙස වැඳුම් පිදුම් ලබනවා...

දක්ඛිණ දේශයේත්, සබරගමුවේත් පදිංචිකරුවන්ට සමන්තකූඨය උරුමයක් වෙන්නේ ඔය විදිහට.

වර්තමාන කථාව

සිරිපා වාරය ඇරඹෙන්නේ උඳුවප් පෝයෙන්. උඳුවප් පෝයට ඔන්න මෙන්න කියලා, සබරගමුව දීග යන්න ලැහැස්ති වෙන මනමාලියක් වගේ සුන්දර වෙනවා… මාස හතක් පුරාවට පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල පන්සලේ තැන්පත් වෙලා තියෙන සඳුන් දැවයෙන් කළ ප්‍රධාන සමන්දේව ප්‍රතිමාවත්, අවශේෂ දේව ප්‍රතිමා දෙකත්, දේවාභරණත් සිරිපා මලුවට වැඩමවන්නේ අලංකාර පෙරහැර ත්‍රිත්වයකින්… ඒ මාස පහක සිරිපා වාරයේදී සමන්තකූඨ මස්තකයෙහි තැන්පත්ව, දස දෙසින් එන බැතිමතුනගේ වන්දනීයත්වයට පත්වෙන්න බලාපොරොත්තුවෙන්.

උඳුවප් පෝයට සති දෙක තුනකට කලින් ශ්‍රීපාදාස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායකහිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් තනතුර දරන උපාලි මහත්මයා අපූරු ඔත්තුවක් දුන්නේ මේ පෙරහැරත් එක්ක බැඳුණු සංස්කෘතික කාරණා ගැන…

"සබරගමුවෙ මිනිස්සු මේ පෙරහැරට එකතු වෙන එක සලකන්නේ භාග්‍යයක් විදියට… යන්න කැමැති නම් අවස්ථාව හදල දෙන්නම්.."

වෙනස් ආරක සංචාරක අත්දැකීමක් ලබන්න තියෙන අගනා අවස්ථාව මඟහරින්න අකැමැති වුණු MඑගාHඉකෙ කණ්ඩායමේ අපි උඳුවප් පෝයට දෙදොහකට කලින් මැණික් පිරුණු පැල්මඩුල්ලට පිවිසුණේ සමන් දෙවි පෙරහැරට එකතු වෙන්න…

"සුමන-සමන්" කියන්නේ පූර්ණව බෞද්ධ සංකල්ප මත දේවත්වයට පත්වූ දෙවියෙක්. සෝවාන් වුණු අයෙක්. අනෙක් හැම දෙවියෙක්ම අවි ආයුධ දෑත දරා හිඳිද්දි "සුමන-සමන්" දෙවියෝ අරන් ඉන්නේ නෙලුම් මල් දෙකක්…

අපි ගල්පොත්තාවල පන්සලට යද්දි, ඉස්සරහින්ම හිටියෙ මහබඹා… සබරගමුවට ආවේණික මහබඹා, පැල්මඩුල්ලේ සමන් දෙවි පෙරහැරේ අනිවාර්යම අංගයක්. මහබඹා ගැන මත ගණනාවක් තියෙනවා… එකක් තමයි මහා බ්‍රහ්මයා කියන සංකල්පය නිරූපණය කරන්න මහබඹා රූපය නිර්මාණය වුණා කියන එක. අනෙක් කාරණය, රවිශෛලාශවංශයේ රාවණාගේ බාල සොහොයුරු කුම්භකරණ මේ රූපයෙන් නිරූපණය වෙනවා කියන එක. අනෙක් මතය සීතාවක රාජසිංහ රජු මහබඹාගෙන් නිරූපණය වෙනවා කියන මතය. මේ කුමන මතය වුණත්, මහ බඹාගේ දෙපැත්තේ මුහුණු දෙක එකිනෙකට වෙනස්… එක මුහුණක් රෞද්‍රයි. අනෙක ශාන්තයි. එක් අතෙක කඩුවක්. අනෙක් අතේ මල් මිටක්.

මහබඹාට විතරක් නොවෙයි පොදුවේ ගත්තහම අපි කාට කාටත් මුහුණු දෙකක් තියෙනවා…ඒක තමයි ඇත්ත.

සමන්දෙවි පෙරහැර එකපාරටම පිටත් වෙන්නේ නෑ… ඒකට කළින් චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් කෙරෙනවා… රාජ රාජ මහමාත්‍යාදීන් පිරිවර සෙනග සමඟ ඇවිත්, ලොකු ලොකු පූජාවට්ටි පුදපඬුරු අරගෙන දේවාලේ ඉස්සරහ පෙළ ගැහිල හිටියත් සමන් දෙවි හාමුදුරුවන්ගේ සුදුහඳුන් ප්‍රතිමාව අසළටම යන්න ඉඩ ලැබෙන්නේ විලඳ මී පැණි විතරක් අරන් මඩකළපු සරමක් ඇඳගෙන එන රැවුල් කාරයෙකුට විතරයි. ඒ තමයි බින්තැන්නේ ඌරුවරිගේ වැදිනායකයා…

රත්නපුර දිසා කොඩිය, සබරගමු දිසා කොඩිය, මාතර දිසා කොඩිය, පූජා කොඩිය සහ සේසත් පෙරටු කොටගෙන නර්තනාංග සහිත පෙරහැරකින් විහාරය වටා ගොස් දේවාලයට ගොඩවන පෙරහැරට පසු ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් සමඟ ඇතුල් කුටියට ගොඩවදින වැදි නායකයා හිතේ හැටියට වැඳපුදාගත්තට පස්සේ තමයි, රාජ රාජ මහාමාත්‍යාදීන් දේවාලයට ගොඩ වෙන්නේ….

ඊට පස්සේ රෑ එළිවෙනතුරාවට සජ්ජායනා කෙරෙන පිරිත් හඬ මධ්‍යයේ සපරගමුවේ හැම අස්සකින් මුල්ලකින්මත්, මාතර, ගාල්ලේ සිටත් පැමිණෙන බැතිමතුන්ගේ පුදපූජාවට ලක්වෙන සමන් දෙවි ප්‍රතිමාව පසුදා අලුයම වෙත්දි උදාවෙන නැකතින් ශ්‍රීපාදය කරා වැඩමවන්නට කටයුතු කරනවා… එක පෙරහැරකින් නොවෙයි, පෙරහැර තුනකින්.

“පළමුවෙනි පෙරහැර යන්නේ හැටන් පාරෙන්. දෙවැන්න පලාබද්දල පාරෙන්. අනෙක බලන්ගොඩ බගවන්තලාව පාරෙන්… හැටන් පාරෙන් යන පෙරහැරත්, බලන්ගොඩ පාරෙන් යන පෙරහැරත් නල්ලතන්නියේ සිට අනුපිළිවෙළින් උඩමලුවට යද්දි, පලාබද්දලින් යන පෙරහැර රජමාවත දිගේ මලුවට යනවා…” උපාලි මහත්මයා ගැටපදයක් වගේ දැනෙන සමහර දේවල් ලිහල දාන්න උත්සහ කරනවා…

හැම පෙරහැරක්ම අඛණ්ඩ විසි හතර පැයක ගමනකින් පස්සේ උඩමලුවට ළඟාවෙන්නේ උඳුවප් පොහෝදා පාන්දර…. අපේ කණ්ඩායම වෙනුවෙන් මමත්, චතුරත්, ළහිරුත් පාරවල් ටික බෙදාගත්තේ හැම පෙරහැරකම මතක සටහන් ගොනුකරගන්න අවශ්‍යැ වෙන නිසා…

මට අවස්ථාව ලැබුණේ හැටන් පාරේ යන පෙරහැරට සම්බන්ධ වෙන්න. පෙරහැරේ සමන්දෙවි ප්‍රතිමාව භාරව වැඩමකරන පැල්මඩුල්ල රජමහා විහාරය අනුබද්ධ ෂ්‍රීරූප අරුණ පිරිවෙන් විද්‍යායතනයේ සමරකන්දේ කෝලිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ පෙරහැරේ කටයුතු හොඳින් දිස්වෙන තැනක යන්නට ලැබීම මට ලැබුණු භාග්‍යයමත් අවස්ථාවක්…

අපිට යන්නට ලැබුණේ බස් රථයක්.. මේ බස් රථය පෙරහැරට එක්වීම ගැන තියෙන්නෙත් අපූරු පසුබිම් කතාවක්. ඒ කතාව ගැන මට කීවේ අසේල.

"බස් එක අයිති රත්නපුරේ නීතිඥ මහත්තයෙකුට… නම ජයන්ත හිත්තැටියගේ… රත්නපුරේ ව්‍යාපාරිකයෙක් සමන් දෙවි පෙරහැරට දෙන දායකත්වයක් හැටියට මේ බස් එක පැල්මඩුල්ලේ ඉඳන් නල්ලතන්නියට පෙරහැරේ ගිහින්, පහුවදාට ආපහු එනවා… තෙල් වියදම් දරන්නේ මහත්මයා… අපිත් පඩි ගන්නේ නැතිව මේ දවස් තුන වැඩකරනවා..."

මේ බස් රථයේ පැල්මඩුල්ලේ සිට අවිස්සාවේල්ල හරහා නල්ලතන්නියෙන් ශ්‍රීපාදය දක්වා යන ඕනෑම අයෙකුට ගමන් පහසුව සැලසේ… එදින ඒ මොහොතේ පැල්මඩුලු විහාරයේ ස්වාමීන් වහන්සේලා සය නමක්ද ඇතුළුව හතළිස් දෙනෙකුට ආසන්න පිරිසක් මේ බස් එකේ හිටියා….ඒ වාරයේ පළමු නඩය ලෙස සිරිපා වැඳගන්නට බලාපොරොත්තුවෙන්.

"මම මේ බස් එකේ වැඩකරන නව වැනි අවුරුද්ද…. දන්න තරමට අවුරුදු පහළොවක විතර කාලයක් මේ විදිහට සිරිපා පෙරහැරට මේ බස් එක ගිහින් තියෙනවා…" එච්. ඩබ්. අසේල චානක එහි කොන්දොස්තරවරයා ලෙස පැවැසූ තොරතුරුද සමඟ උදෑසන 5.20ට යෙදුණු සුබ මොහොතින් සමන් දෙවි පෙරහැරේ යන්නට මමද සාමාජිකයෙක් වුණා….

පෙරහැරේ අතරමඟ අත්දැකීම් සමග ලබන සතියේ හමුවෙමු.

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව අනුරාධපුරයට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

 

ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17

දුලිප් 0777 043 804 / 0703 207 207

සටහන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

[email protected]

ඡායාරූප - Eternal Traveller වෙනුවෙන්

ළහිරු අබේගුණවර්ධන සමඟ චතුර හේමාල්

 

මාතෘකා