පරිණත කවියක සහෝදර මුහුණුවර

 ඡායාරූපය:

පරිණත කවියක සහෝදර මුහුණුවර

කවියේ මූලිකම පරමාර්ථය වන්නේ රස ජනනයයි. එම රස ජනනය වීම මගින් කවියා සිය රසිකයා තුළ නව ජීවන ආනන්දයක් ඇති කරයි. කවියේ සමාජ මෙහෙවර වන්නේ එම ආනන්දය මගින් රසිකයාට කිසියම් ආකාරයේ ජීවන අවබෝධයක් ඇති කිරීමයි. එම නිසා රසිකයාට වඩාත් ග්‍රහණය කරගත හැකි ආකාරයට කවිය නිර්මාණය විය යුතු වේ. සංකීර්ණ අර්ථාලංකාර හෝ ශබ්දාලංකාර හෝ සමාස බහුල වූ භාෂා වික්‍රමයන්ගෙන් යුතුව බඳනා ලද විචිත්‍ර රීතීන් නිසා කවිය පොදු ජනයා තුළින් තව තවත් දුරස් වේ. කවිය යනු කවියාගේ පාණ්‌ඩිත්‍ය විදහා දක්‌වන අභ්‍යාසයක්‌ද නොවේ. නමුත් කවියක ඇති කරන ව්‍යංගාර්ථ අපූරු රසයක් ජනනයක් කරවයි. කවිය නිරන්තරයෙන් අභ්‍යාස කිරීමෙන්ම සිය කවිමඟෙහි පරිණත ලක්ෂණ මනාව වඩවා ගත් කාව්‍ය එකතුවකි රංජිත් මල්ලයාවඩු ගේ 'සහෝදර මුහුණුවර' කාව්‍ය සංග්‍රහය. වසර 30 ක කාලයක් පුරා තම කවියේ අනන්‍යතා ලක්ෂණයන් සොයා ගිය රංජිත් මෙම කෘතියෙන් බොහෝ කවියන් අතර තමන් වෙන් කර හඳුනා ගත හැකි ආකාරයට සිය කවියේ හැඩ රුව පෝෂණය කර තිබේ.

මේ සන්ධ්‍යා වෙරළ

අම්ලකර දන්සල

හුස්ම ගන්නට වෙලාවක් නැති

බෝ දනන් ගැවසෙන

මුදු පුලින රන්වන

දෙපා අතගා සනසන

මුදා දිවි බර පා කර

විඳුම් ගැඹරට කැඳවන

(අම්ලකර දන්සල - පිටුව 17)

නිරන්තර අප වුවද ගැවසෙන්නට කැමති මුහුදු වෙරළ නව්‍ය අර්ථයකින් දකින්නට රංජිත් සමත් වන්නේම සිය පරිණත කවි ඇසුර නිසාමය. මුහුදු වෙරළට පර්යාය පදයක් ලෙස අම්ලකර දන්සල යැයි පැවසීමම කොයිතරම් අපූරුද?

රංජිත් ගේ කෘතියේ සුවිශේෂම මතුවන කාරණයක් වන්නේ ඔහු වඩවා ගත් පිරුණු කවි බසයි. ඔහු විදග්ධ භාෂාවද ජන භාෂාව මෙන්ම නූතන භාෂාවද සමෝසමේ ගෙන අපූරු කවි බසක් ගොඩනගා ගනී. එය සූක්ෂ්මතා ප්‍රගුණ කළ කවියකුට මිස අනෙකකුට කළ නොහැකි අසීරු කටයුත්තකි. 'කොන්ක්‍රීට් පඳුර', 'කොන්ත්‍රාත් බඹර වද', 'පමා නොවී ප්‍රතිපාදන සලසාන', 'රනින් චාට්වල සටහන් නොවිය යුතූ', 'ටැංකි බටා නැතිනම්' වැනි තැන්වල කඨෝර බසද ඔහු කවියට මෙල්ල කර ගන්නේ අපූරු අර්ථ රසයක්ද ජනනය කරමිනි. විශේෂයෙන් ඔහු නිරන්තරයෙන් ජන ගීයේ භාෂා සෙවණැල්ලද නූතන අත්දැකීම් කියන්නට භාවිත කරයි.

උදේ පටන් බර ඇද්දත් ලෙස ඇත්තු

අපේ ගෙවල්වල නැත නොදැකපු වස්තු

අපට වැරදුණොත් වෙසමුණි වෙස් ගත්තු

කාකි කෝට් නිල වස්තර වෙයි පත්තු

(මාතලී පුත්තු - පිටුව 37)

රංජිත් ගේ 'සහෝදර මුහුණුවර' කාව්‍ය සංග්‍රහයේ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඔහු සිව්පද විරිත භාවිත කරන හුරුබුහුටි බවයි. එහිදී එළිවැට රැකීමට කෘත්‍රිම උත්සාහයක් නොගෙන නිරායාසයෙන්ම එළිවැට ගොඩනැඟෙන්නට හරින්නේ සිය පරිණතකම නිසාමය. 'ශාක්‍යතා වාර්තාව', 'දක්ෂිණ පාය', 'සහන මුරකරුගේ අභියාචනය', 'ගස් පාටිය' වැනි නිර්මාණවල ඔහු සිව්පද රීතිය හසුරවන ආකාරය මනරම්ය.

අලුත් ඇමතිවරයකු පත් වූ මෙදිනේ

පන්ති භේද නැහැ කන්තෝරුවෙ තිබුණේ

ඉතින් ආයු බෝවන් ගරු මැති සඳුනේ

රටක් වටිනවා කියලා ම යි සිතුණේ

( සහන මුරකරුවාගේ අභියාචනය - පිටුව 19)

'නිකිණි සෙවීම' කාව්යේ නිර්මාණය නූතන සමාජ විපර්යාසයේ විකාරරූපී බව අපූරුවට ප්‍රතිනිර්මාණය කරවයි.

හන්දියේ තේ කඩය මරා

වළ දමනා ලද එතැනම

කොත්තු රොටී කම්හලකින්

ඇසුණි රොටී යකුළු පහර

පහන් දොර ද සමසේ ගෙන

දවුල් පලන කන් බෙර අස

යවුල් අනී කොරේ පිටට

මෙගා බ්ලාස්ට් සංගීතය

මාන්දම් බවත් අරගෙන

පැස්බර ගමනින් සපැමිණ

තෙසක රියක් ළඟ නැවතිණ

දානසලක කරුණාවෙන

(නිකිණි සෙවීම - පිටුව 63)

රංජිත්ගේ සිව්වන කාව්‍ය සංග්‍රහය වන මෙහි එන ඉතා අපූරු ව්‍යංගාර්ථයක් රැගත් කවියක් වන්නේ 'කූඹියාගේ හිතෝපදේශය' කවියයි. මී මැසි ජනපදයක ගති ලක්ෂණ වර්තමාන දේශපාලනය කතා කරන්නට ඔහු ඉතා සූක්ෂ්ම ලෙස යොදා ගනී.

'මීමැසි සකි සඳුන්නේ

තොපට රැජිනකි ඉන්නේ' ආදී වශයෙන් පටන් ගන්නා කවිය තුළ පන්ති දේශපාලනය ක්‍රියාත්මක වන අයුරු පෙන්වන්නේ මෙලෙසිනි.

'වැඩ කරන තොප කතට

නැතත් තුම් මව් වරම දෙන්නේ

මෛථුන සැරියේ දී

පිරිමිකම නම් සොයන්නේ'

රංජිත් කූටප්‍රාප්තියේ දී කවිය අවසන් කරන්නේ මෙලෙසිනි

'ව්‍යවස්ථාමය වෙනසක්

පතනා තරුණ උන්නේ

රැජින ඉගිලෙන දවසට

කියව් තොප කොතැනක ද ඉන්නේ'

රංජිත් මල්ලයාවඩු ගේ 'සහෝදර මුහුණුවර' කාව්‍ය සංග්‍රහය තුළ නිහඬවම පරිණත වූ කවියෙකු ගේ පොහොසත් කාව්‍යමය භාෂාවද, බුහුටි අත්දැකීම් විකසිත කිරීම්ද, නිවැරදි දේශපාලන දැක්මද අපට එකවර හමු වේ. එය සැබැවින්ම අනපේක්ෂිත සහෝදර මුහුණුවරකි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා