කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

කවියක් හා සරණ ගියෙමි !

ප්‍රේමයේ ඉසියුම්ම තැනක්
හරි අපූරුවට
කවියකින් පිරිමදින
නුඹ
රහසේම ගෙනා ප්‍රේමාරධනා ගැන
සත්තමයි මහා හිරිවැටුමකිනි
මම

නුඹ
සිතින් නග්න කළ
ස්ත්‍රී රුවක වරුණාව
වදනින් වදන ගලපන සඳ
සත්තමයි
එ කවි කියවන හැමට වඩා
මහා නොඉවසිල්ලකිනි
මතු අනාවේ අපේ මධුසමය ගැන
මම

ඉතින්

මා කවිකාර හිමි සඳ
බොහෝ කල් පෙම් කර
බොහෝ පෙරුමන් මැද
අදයි අප අපේ වූ
ඒ සොඳුරු දින

නුරාවෙන් හිස් වෙච්ච බඳුනක
මත් වතුර පිරී ඇත කර වට
මා මෙතෙක් නොදුටු නව කවියක
පද මැවේ එළිසමය එළිවැටද පැටලුණ

මධු සඳත් නිවෙන්නට අහවර
කෝ කොහිද හොයනවා පොඩි වෙච්ච මල් පැස
රැල්ලක්වත් නොනැගි සුදු පිරුවට
අහනවා කෝ නුඹේ ශෘංගාර කවිකමේ සාක්ෂිය ....?

[ශානිකා ශෂීප්‍රියා ද සිල්වා]


මරණය අබියස

නෙතින් පීරා වනපෙත
හිතේ මිනුමට වට මැන
සරිලන තුරක් තෝරා
ලකුණු කෙරුවෙමි හිත යට

විහඟ වැලපුම් දිගටම
අතු දත් විලිස්සන විට
පරමල් එවා පොළොවට
තණ පත් හිසග පලඳන

දත් මැදපු දිලෙන දම් වැල් කියත
තුරු බඳට ළංවෙවී කට අරින
විලාපය වැතිර ගිරි ශිඛර මත
ඉර එක්ක හිනාවෙයි මහ පොළොව

[නුවන් ප්‍රසන්න විතානගේ]


බිරිඳක්

මහත්තයො ඉස්සර දවස්වල
හිත පිරුණා ආදරේ වින්දම
මොකද වෙනසක් දැනෙන්නේ මට
ආදරේ මැරෙනවද බැන්දම

දවසෙ වැඩිපුර වෙලාවක්
ඔයා මගෙ ළඟ නොමැති හින්දම
තරහා ගන්නේ මොකද ඔච්චර
නිහඬ බව ඩිංගකට බින්දම

පාන්දර නැගිටලා උයලා
බත් බැඳල ඔය අතට දුන්නම
දැනුණ සෙනෙහස මහ මෙරක් මට
ඒ වෙලාවේ නලළ ඉම්බම

කිව්වෙ නැතිවට මටත් තියෙනව
කරන්නට නම් ගෙදර දොර වැඩ
ඔයා ගැන ඩිංගක් බලන්නත්
ඒ අතර මට තියෙනවා ඉඩ

සුදු මැණික, මගෙ පැටියො කියලා
ඔයා ඒ කාලයේ කිව්වට
දැන් ටිකක් රිදෙනවා මගෙ හිත
"ඒයී" කියලා නිකම් කිව්වම

ඔව් ටිකක් මහතයි තමයි දැන්
කැතත් ඇති ඉස්සරට වැඩියෙන්
දරුවො ලැබුණම එහෙම වෙනවා
දුක ඇතත් හිත විඳිමි තනියෙන්

දරුවො වදලා උන් බලාගෙන
වේල් තුන උය උයා ඉන්නට
නෙමෙයි දෙයියෝ ගෑනු ඉන්නේ
හීන තියෙනව උන්ගෙ හිත්වල

පෙම්වතිය ලෙස වින්ද සෙනෙහස
බිරිඳ ලෙස නොලැබෙන්න තරමට
ඇතොත් වරදක් මගෙන් සිදුවුණ
කියනු හැක එය හදා ගන්නට

මහත්තයො ඉස්සර දවස්වල
හිත පිරුණ ආදරේ වින්දම
මොකද වෙනසක් දැනෙන්නේ මට
ආදරේ මැරෙනවද බැන්දම

[සමීර මදුසංක]


වින්නඹු අම්මට මොකද?

මිනිපිරීට දෙකයි
පොඩි එකාට හතරයි
හෙට ක්ලිනික් මම එන්නෙ නෑ
මයෙ අම්ම උඹට දුකද?

ලූප් කියයි ජඩෙල් කියයි
ඉහ මොළ කකියවනවා
නෑහුණා වගෙ ඉඳින්
අපිට මොන සංවිධානද?

ලොකු එකී නොකියම යනකොට
ඒකි ගෙට වුණා විතරයි
පපුව පතුලෙම දුකක් තියෙනවා
ඒකි ගැන අපි හෙව්ව මදිද?

එහෙමත් දවසකට
අගහිඟ එබුනත් ළිපට
හරි හම්බ කළේ මං
ඉර හඳේ වෙනස බල බලද?

රට්ටු මොනව කිව්වත්
මේ තමයි අපෙ සම්පත
දුසිමක් උනත් වැඩි නෑ
අටත් මහ ලොකුද?
ඉස්සර තරම් ඔප නැතත්
තාම උඹ මට මැණිකක්
නෑ බෑ නොකිය උඹ ඉන්නවනම්
වින්නඹු අම්මට මොකද?

[වින්යා ජයසේකර]


පුවතක්

ලෙඩා මියගියා යැයි කියා බාරකරු
දොස්තරට පහරදීලා

හීං පොදයක් එක්ක ඉර මූදෙ ගිලෙන්නැති
බස් එහෙක ලොරියක වදින්නැති වැටෙන්නැති
ඒ තරං ලේ යන්ට ඉහ පොළොවෙ වදින්නැති
සුවාමිනි උන්දැටත් අඹුදරුවො මැවෙන්නැති

කොයි කාට කාටත් ඇත රාජකාරී
මං වුණත් එද්දි ලෙඩ ඇඳේ මගෙ බාරී
උන්නු හැටි දැක දැක හත තදින් පෑරී
මං උන්දැ ගෙන ආවෙ ‘ගිහින්‘ බව තේරී

මියැදෙන්න පුළුවන්ද මිනිහෙකුට පාරෙ
මං ඔබට නොකියමි දොස්තරගෙ චාරෙ
බෙහෙත් කඳුළක් දෙන්න බැරිව හුන් වාරෙ
ලෙඩා ඇතුළත් කළා මං මගේ බාරෙ

පොලිසිය එනකල්ම බැරිලු යන්නට දෙන්ට
මම ආවෙ පන්ති ගිය පොඩි එකා අරගන්ට
ළය ලිහිල් කර බලන් සුවාමිනි බුදු වන්ට
දරුවකුට පුළුවන්ද ගොම්මනේ මග යන්ට?

කෙල්ල බය වෙලා ඇති වැහි වැටෙන හවහක
එතකොටත් පරක්කුයි ඇඹේනිගෙ පෙති දෙක
ඉවසන්න බැරිම තැන අවනඩුව දැක දැක
දොස්තරට පතබෑවෙ කකුලකින් පුටුවක
 

[චමින්ද ගමගේ]


අන්තරාවකි. නොයා යා යුතුව ඇත. කෙළවරක් නැති මඟකි. අතරමග ආපසු නොහැරී, කද බරත් දරාගෙන, නැවතුමක් පසු කරන මිනිසෙකි; දෙදෙනෙකි.

කැමරා ඇස [ධර්මවිජය සෙනෙවිරත්න] අකුරු [තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා