මොනා ලීසා

 ඡායාරූපය:

මොනා ලීසා

පිසලන්න ඔය නිවට මදහස ඔබ වතින්

බොරු ඉඟි සිතින් ඵල නැති බැවින්

ඉවත් වී යනු මැන ඉතින්

නොපෙනේය සිතුවම සොඳින්

ඔබ සිටින විට මඟ අවුරමින්

සැමවිටම ඔබ ඔය ලෙසින්

ඔබේ පසුබිම සඟවයි අපෙන්

 

ඇස්බැන්දුමකි ඔබ සැබැවින්ම අප නෙතු රවටන

එයින් සැඟවෙන ඔබෙන් සැඟවෙන

අප නෙතු දිලෙයි රත් පැහැයෙන

බොරුකාර සරුසාරබවක් අතරින

යාන්තම් ඔබ මවන ඉඟියෙන

නැතිය සතුට නැතිනම් කිසිවක්ම හෝ වෙන

නමුදු සිටිමු දැනගනු රිසියෙන

සැබෑවම ගැන වේදනාබර ලොවක පවතින

පාළු ආගාධ, අලුත් ඇට කැබෙලි පවසන

සියලු දේ ගැන ඔය පසුබිමේ ඔබ අපෙන් සඟවන

 

ඔබ පුළුල් වත රැඳි මදහස නොදකින්නේය අප වත රිසි ලෙස

fkdපෙනේය අපටද ඇඳුණු සිතුවම ඔබ පසුපස

(ජපන් ජාතික කිවි මුරානෝ ෂිරෝ විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

 

මුරානෝ ෂිරෝ

වර්ෂ 1901 ඔක්තෝබර් 07 වැනිදා ජපානයේ තෝකියෝ නුවරට නුදුරු ටාමා නමැති ගම්මානයේදී උපත ලැබූ මුරානෝ ෂිරෝ හයිකු කවියට දැඩි සේ ඇළුම් කළ සිය පියාගේ ආභාෂය ලබමින් කාව්‍යකරණයට යොමු වූයේය. කියෝ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හදාරමින් සිටියදී නූතන ජර්මානු කවිය සහ හගිවාරා සකුනාරෝ වැනි ජපන් ජාතික කවීන්ගේ කාව්‍ය නිර්මාණ ඇසුරු කරමින් ඔහු කාව්‍ය නිර්මාණකරණයෙහි නියැළුණේය. විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කළ ඔහු සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය වර්ෂ 1925දී පළ කළේය. එයින් වසරකට පසු ඔහු යුද හමුදා සේවයට එක් වූයේය. වර්ෂ 1930 සිට කවි සංවිධාන සහ සඟරා ආදියෙන් කැපී පෙනෙන කවියකු ලෙස ඉදිරියට ආ ඔහු වර්ෂ 1949දී ජපානයේ නව කවි සංගමය පිහිටුවීමටද කටයුතු කළේය. කාව්‍ය සංග්‍රහයන් සහ විචාර කෘතීන් රැසක් ලියා පළ කළ ඔහු වර්ෂ 1975 මාර්තු 02 වැනිදා මිය ගියේය.

[අජිත් නිශාන්ත]

මාතෘකා