කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

දොරට තට්ටුවක්

දොරට තට්ටු කරනු ඇසෙයි

පිට පැත්තෙන්, ඇතුළු පැත්තෙන්

ඇරෙන දොර මේ පැත්තෙන්

තල්ලු වෙයි වැරෙන් ඒ පැත්තෙන්

 

එයි අඳුර ඇතුළට කඩා බිඳගෙන,

ඇදගෙන පහන් එළි වීදිවල තැන තැන

වියරුව, කලහව, මහා වියවුලක් සමඟින...

අඳුර පතුරන විට ඇතුළ පිටතටත

 

නිදා සිටින උන් සුවපහසුව

සැඟවුණු ඇතිරිලි තුළ ගුලිව

නොදකිති රත රුධිරයෙහි මුසුව

සිය අඳුරු පිළි යට ගලනා යුරුව

තට්ටු කිරීම්, නිතර නොඇසුණු පරිද්දෙන්

දැන් ඇසෙයි නිතර නිතර හැම පැත්තෙන්...

 

(කන්නඩ කිවිඳියක වන ආචාර්ය මම්තා ජී. සාගර් විසින් රචිත කාව්‍ය නිර්මාණයක KNOCK ON THE DOOR නමැති ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරිනි).

මේ කවිය රචනා වූයේ 2018 අගෝස්තු 28 වැනිදා ඉන්දියාවේ ක්‍රියාකාරිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසය. ඔවුන් නාගරික නැක්සලයිට්වරුන් යැයි රජය විසින් චෝදනා කර තිබිණි

 

ආචාර්ය මම්තා ජී. සාගර්

ස්ත්‍රීවාදී දැක්මක් සහිතව කාව්‍යකරණයේ යෙදී සිටින ආචාර්ය මම්තා කන්නඩ කවිය ලොව පුරා විවිධ රටවල කාව්‍ය රසික පිරිස් අතර ප්‍රචලිත කිරීමට දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන්නියකි. වසර කිහිපයකට පෙර මෙරට පැවැති සාහිත්‍ය උලෙළකට සහභාගි වීමට ඇය

ශ්‍රී ලංකාවට පැමිණියාය.

මේ වන විට කාව්‍ය සංග්‍රහයන් දෙකක් සහ නාට්‍ය පිටපත් හතරක් රචනා කර ඇති ඇගේ නිර්මාණ හින්දි, මලයාලම්, බෙංගාලි, තෙලිගු සහ ඉංග්‍රීසි ඇතුළු විවිධ භාෂා ගණනාවකට ද පරිවර්තනය වී තිබේ.

 

[අජිත් නිශාන්ත]

.-----------

මගේ රැය ඔබේ දහවල

 

මා සිරුර යන්ත්‍රයකි

උදෑසන අවදි වෙන, කන, බොන

බසයක එල්ලී වැඩට යන

 

මගේ ඇස් පිටුපස

වීදුරු කුටියක මම

සිරව වකුටුව

බලා ඉමි අහස දෙස

 

බටහිර අහසේ

කෙළවරක

එකම තරුවක්ව

ඔබ

සදාකාලිකය මගේ රැය

 

ආලෝකයේ වේගයෙන්

විසිකරමි මා සිත ඔබ වෙත

 

සදාකාලික දහවලක ඔබ

වෛවර්ණ නගරයක

ඉපිලෙමින් සක්මන් කරන

මිතුරන් හා සිනාසෙන

 

බලා හිඳ තනිව සිනාසෙමි

ඔබේ පෙරදිග අහසේ කෙළවර

කළු පැහැ තිතක්මි මම

ඔබට නොපෙනෙන

 

[තරින්ද්‍ර ගලහේන]

-------------------

සේනා

 

ගව් ගනන් දුර දේසයේ සිට

සැඩ පවන් මැද පාවෙලා

පැමිණි දා සමනලිය තුරුළුව

රැයක් ගෙවුණා මත්වෙලා

 

පුංචි මුතු දිව අවුළවන්නට

සිතුණෙ නෑ සිහිනෙන් පවා

දළඹු පැටවුන් බිහි කළේ මම

අපේ පරපුර ගැන සිතා

 

කුසට සා ගිනි අපට නුඹ මෙන්

දැනෙනවාම යි මිනිසුනේ

නුඹට බත සේ බඩ ඉරිඟු රස

අපේ කුසගිනි මත් කළේ

ලොවක සිරි හෙට දකින්නට උන්

වැඩිය යුතුමය යහමිනේ

මවන්නට හැඩ සමනළකු ලෙස

එක රැයෙන් බැහැ කිසිදිනේ

 

දැවෙන අටුකොටුවලදි නෑ සිය

හද දැවේ සත්තමයි බෝමා

කුසට කෘමි, පණු රස නොදේනම්

කොහොම ඉවසා ඉන්ද සේනා

 

හඬන වැළපෙන ගොවි රජුනෙ මට

සමා දෙනු මැන නොකර පීඩා

තෘණ පතක් වන තුරු හිසක් හෙට

කුස රකින්නට ගනිමි කෝමා

 

[අශෝක කුලතුංග]

----------------

වැලි මාළිගා

 

සුන්දරය

දකින විටදි කාටත්

වැලි මාළිගා

එහෙත්

මතු පිටට නොපෙනෙන

අන්ධකාරයක්

හිරු කිරණද වසා

ඒ තුළය

 

සුළං හඬ පවා

දෝංකාරේ දෙන තැන

අකීකරුව වැලි කැට

විසිරී යන

 

සුදු පෙණ වට කර ගත් තැන

දිලිසුණත්

ජල පහරටවත්

සවිමත් වන්නට නැති

 

තනන විට

රැකවල් ද මැද

අපූරුය

එත්

දෑස් මානයේම

බිඳී යන

 

[ශාමිනී නටාෂා]

-------------

කුරුලු වත

 

කවුළු දොර සිව්වනක් උදාගිරි අවුළුවත්

මිටින් හළ සී සී හිත් පොඩි බන්ධුමත්

රැහැනකට පටකට පෙම් බඳී ප්‍රීතිමත්

ඇසෙන නෑසෙන ගුම් මී වත අනාදිමත්

වටු වැදි සේනා විශ්‍රාමලත්

වතු වැඩ අතර විනෝදමත්

බට පතුරු හා කමත් හිඟ කමත්

ගේ කුරුළු බැදි වදී හිතාමත්

 

අලි වැට විදුලි වැට කිරා පත්

ඉළුක් පිලි අතර සොහොන් කොත්

බෙරලියා ඇමටියා නොදැක පියාපත්

කිරි කොක්කු දැන් හරිම ජරපත්

 

උකුසු ඇස් ණයට ගත් මාදිලිත්

කපුටු බෝ පතක අන් කෙලවරෙත්

බකුසු වෙස් බිය කරන දහවලෙත්

වකුටු මාලා ගිරව් සින්න වෙත්

 

[සජිත් පට්ටියකුඹුර]

---------------

ජීවිතය යනු ආලෝකය සහ අඳුර අතර සහන් එලිය සොයමින් අපේක්ෂා සහගත දෑසින් සැරිසැරීමය. එහිදී අඳුරට බියවී ආලෝකයට දෑස් ගිනි කණ වැටෙයි. ඒ මැදින් මඟ නොවැටෙන්නට සෙනෙහසේ අඳුන් සිසිල දවටනු මැන.

කැමරා ඇස

ධර්මවිජය සෙනෙවිරත්න

අකුරු

තිඹිරියාගම බණ්ඩාර

-------------

තුම්මංහන්දිය

 

ටකරමක් අඩවල් කරගෙන

ඉරත් ලැට්යන පාන්දර

බස් එකේ බ්‍රේක් පාරට

ගැස්සිලා ඇහැරුණිද තුම්මංහන්දිය

 

ඒ බසයටත් ගොඩ නොවී

තවත් බසයක් එනතුරු මඟබලයි

‘රණවිරුවෙකුට පිංපිණිස'

බස් හෝල්ට්එක

ලෙලදී වෙහෙස වූ පසු

කොඩිවැලක් එල්ලාවැටෙයි

 

ලයිට්කණුවක් බදාගෙන

හිටන් හිටියා මිසක

කරන්ට් එක යවපු වග

වගක් නැතුවාවද්ද

ලයිට්කණු හිසකට

වයරයක වගතුග

 

හැදිනගත් පසු හරිහැටිම

වවුල්ලුත් බල්ටිගසති

ටෙලිෆෝන් කණු උඩ

එන යන බොහෝ දෙනෙකුට

පාර පෙන්නා තිබුණේ

කැරකිල්ල වැලඳුණු

මන්දබුද්ධික මඟපුවරුය

 

[හරිත් කෝණාර]

-----------

කවියක් කියන්නේ බරක්

 

විළිබර මවක් සේ

විලිකුන් පලැ'ති ගහක් සේ

වැහිබර අහසක් සේ

විප්ලවයට පෙර රටක් සේ

ලියා නිම කළ කවියක් කියන්නේ

කවියෙකුට මහම මහ බරක්.....

 

නයනසේන වන්නිනායක]

-------------

මං කඳුළු පිහගත්තා

 

මුල් ඇදපු මහ ගහක්

කැති පාර දරාගෙන

පස් සිබින අත්වලින්

මහ පොළොව බදාගෙන

ඇදවැටෙන්නට කලින්

අපි දිහා බලාගෙන

හිනාවුණ එක තමයි

මට පුදුම කාරණය

 

ඔළුවටම දෙපාරක්

කැති තලය වැදුණා ද

නංගිගෙයි මගෙයි රුව

ඇස්මානෙ මැවුණා ද

අම්මගේ අත්වලත්

ලේ පාට තිබුණාට

තාත්තා නිවන් ගියෙ

මට මුකුත් නොකියාම

 

තාත්තගෙ තුන් මාසේ

හොර රහසෙ පහු වුණා

විජේ මාමත් ඇවිත්

අපෙ ගෙදර පැළවුණා

අම්මා කාමරෙ දොරට

ලෑලි පලු හයිකරා

තාත්තගෙ බැනියමින්

මං කදුළු පිහගත්තා....

 

[ශනීෂ් ශ්‍රීමාල්]

----------------

සුළඟෙහි ම කවියෙක් ව

[කපිල එම්. ගමගේ]

කවියෙකු සිය කවි මගෙ හි මුහුණපාන ප්‍රධානම අභියෝගය වන්නේ පියවරෙන් පියවර සිය කවිකම ඉහළට රැගෙන ඒමයි. ඒ සඳහා විවිධ කාරණා අත්හදාබැලීමට ඔහුට හෝ ඇයට සිදු වේ. විටෙක තෝරාගන්නා අත්දැකීම, එයට අපූර්වත්වයක් එකතු කිරීම, තවත් විටෙක ආකෘතිය නැතිනම් භාෂාව යන පැතිවලින් තම කවිය ඔසවා තැබීමට උත්සාහ ගත යුතුය. මේ අභියෝගයට ඔහු හෝ ඇය බරපතළ ලෙස මුහුණ දෙන්නේ කාව්‍ය කෘති මුද්‍රණය කර ඇති විටකදීය. පළමු කෘතියට වඩා දෙවන කෘතියත් ඊට වඩා තුන්වන කෘතියත් ඉදිරිගාමී ස්ථානයක රැඳවිය යුතු වේ. එසේම තවත් අභියෝගයක් වන්නේ තමන්ගේ කවියට අනන්‍යතාවක් ද ගොඩ නගා ගැනීමය. මේ කාරණා ජය ගැනීම ලෙහෙසි පහසු නොවන්නේ බොහෝ ප්‍රවීණ කවින් පවා මේ යුගය තුළ ආපසු ගමනක නිරත වන බව ඔවුන් මෑත කාලයේ පළ කළ කෘති තුළින් සනාථ වන බැවිනි.

නඳුන් යසිත දසනායකගේ සිව්වැනි කාව්‍ය සංග්‍රහය වන ‘සුළඟෙහි ම සුළඟක් ව’ කියවීමේදී නඳුන්, නූතන කවීන් අතර සිය අනන්‍යතාව කෙමෙන් ගොඩ නගා ගන්නා, කිසිදු කුලකයකට අයත් නොවන කවියෙකු බව අවබෝධ කරගැනීම පහසුය. වි‍ශේෂයෙන් සිය කවියේ විෂයපථය විවිධාංගීකරණය සඳහා නඳුන් ගන්නා විශේෂ උත්සාහය මෙම කෘතිය පුරාම කැපී පෙනේ. ජීවිතයේ සියුම් කලාපයන් ස්පර්ශ කරන අත්දැකීම් ගණනාවක් මෙයට සංගෘහිත වේ. ඒවා තුළ ප්‍රචාරකවාදී, ආවේගශීලී නිර්මාණ ඇතුළත්ව නොතිබීම සුවිශේෂ කරුණකි. නඳුන් ගේ කවිය ආත්මීය පිරිපුන් භාවයක් ප්‍රකට කරන කවියකි. එය ඔහුගේ මෙම කෘතියේ කැපී පෙනෙන සුවිශේෂ කරුණයි. කවිය පිළිබඳ ව ඔහු ගොඩ නගන මේ නව අදහස නිර්මාණයකින් නඳුන් ම පවසන්නේ මෙසේයි.

අලුත් ගසක්

වැඩෙයි මා තුළ

පැරණි තුරු අතරෙහි

ඇවිද ආ මට

අලුත් ගසක්

මා තුළ වැඩෙනු

දැනෙයි අද

(මා තුළ ගසකි - පිටුව 13)

නඳුන් ගේ කවියේ ගැඹුරු ජීවන කතිකාවන් රැසකි. ඔහු ගේ කවියේ මතුපිට අරුත ගැඹුරට විනිවිදින කල්හි වෙනත් තලයක් මතු වේ. එය අප කාගේත් ජීවිත තුළ ගැඹුරින් පෙළන වේදනාත්මක අත්දැකීම් තලයයි. ‘එයාට දැං වයසයිනෙ’ කාව්‍ය එවැනි ගැඹුරු ආත්මීය වේදනාවක ප්‍රක්ෂේපණයකි. ‘ඒ වයර් ස්නායු’, ‘පෙති කිහිපයක්’, ‘ගසකි එය දිරාගිය’, ‘දැන්වීම් තීරය’ වැනි නිර්මාණ තුළ මේ ලක්ෂණය මනාව ප්‍රකට කෙරේ.

හෘද සැත්කමකට බඳුන් වූ තරුණියක් විවාහ කර ගත්තායැයි දොස් නගන මව විවාහයට පෙර පපුවේ මැද ඇති තුවාල කැළල නොදැක්කා දැයි අසයි. පුතා මවට කරන පැහැදිළි කිරීම සහිත ‘කැළල’ කාව්‍ය නිර්මාණය අපූරු කවි නිමිත්තකි.

පපුවක් කියන්නෙත් අම්මේ තුවාලෙකී

කැළලක් දිනෙක ඇතිවන මහ තුවාලෙකී

පෙමක් කියන්නෙත් කැළලකි පපුවෙ ඇතී

කැළලක් තමයි රිදවන්නෙත් පපුවෙ ඇනී

(කැළල - පිටුව 41)

සිය පවුල, පියා විසින් අත්හැර දා ගිය පසුව ඒ අතීතාවර්ජනයන් ඔස්සේ ඒ වියෝව දියණියගේ ඇසින් ස්මරණය කරන ‘සුළි සුළඟක් ය මේ ඇමතුම’ ජීවිත ඛේදයක් හරහා මුදු පියවර තබමින් කෙරෙන ඇවිද යාමකි. කවිය ඔහු අවසන් කරන්නේ අපේ පපුව මත සියුම් කැපුමක් ඇති කරමිනි. ඒ කැපුමේ වේදනාව අපට දැනෙන්නේ මදක් පසුවීය.

අවසානයේ ඔයා ඇවිත් ගිය දා

ගෙනා බෝනික්කාත් අඬන් - නෑ දැන්

බැටරි බැහැලා ඇතැයි අම්මා කිව්වාට

එයත් හිත හදන් ඇත් දැයි හිතෙනවා මට

(සුළි සුළඟක් ය මේ ඇමතුම - 43)

නඳුන් ගේ විශේෂත්වය වන්නේ ඔහු අත්දැකීම කවි කරන්නට කිසිදු විටෙක ප්‍රෙහේළිකා ස්වරූපයේ භාෂා භාවිතයක් නොකිරීමයි. ඔහුගේ භාෂාව සරලය. එදිනෙදා භාවිත භාෂාවය. එමෙන්ම කාව්‍ය ආකෘතීන් හා රීතිවල වහලෙකු බවට පත් නොවී ඒවා තමන්ගේ වහලුන් බවට පත් කර ගැනීමට හේ සමත් වෙයි. අවශ්‍ය තැනකදී ඔහු අවශ්‍ය කාව්‍යාකෘතිය තෝරා බේරා ගනී. ‘බස්සෙකෙන් වැටුණ මං’, ‘වහලයක් නැති හීන’, ‘සිතුවමකි එය බැඳ තබා ඇති’, ‘මල් විලක කතාවක්’වැනි නිර්මාණ තුළ නඳුන් ආකෘතියෙන් වැඩ ගන්නා හැටි දැකිය හැකියි.

‘සාරි ගප්පියෙක් සොයමි’ නිර්මාණයද නඳුන් ගේ කවිකමේ සූක්ෂමතාව මොනවට පැහැදිලි කරයි. ප්‍රේමයේ විප්පයෝගය කවීන් අතට සුවහසක් කවිකම් සඳහා වස්තු බීජ සැපයුවද නඳුන් එම සුලබ අත්දැකීමම වෙනස් රූපක භාවිතයෙන් අපූරු කාව්‍යමය ප්‍රතිනිර්මාණයක් කරයි. යොවුන් යුවළක් අතර ඇති වන යෞවන ප්‍රේමය පසුව බිඳවැටී ඒ අතීත ආවර්ජනය ප්‍රකාශ කිරීම සඳහා කවියා එහිදී කුඩා කල ඔවුන් සුරතලයට ඇති දැඩි කළ සාරිගප්පීන් පිළිබඳ අත්දැකීම යොදා ගනී.

ඔබත් අද කොහේ හෝ

සාරි ඇඳ ඇඳ හිඳ

ජීවිතේ හිඳුණු හෝ

පිරුණු ඇළ මං දිගේ

පීනගෙන පීනගෙන යනවද?

--------

අදත් මං දන්නා නොදන්නා

බොහෝ ඇළ පතුල්වල

ඇතිදැයි සොයනවා

අහම්බෙන් හෝ හරි

නන් වන් වරල් සල සල

පීනන් සාරි ගප්පියෙක්

අපෙන් ගිලිහී එදා

කොහේ දෝ කොහේ දෝ

පීනලා ගිය.

(සාරි ගප්පියෙක් සොයමි - පිටුව 128)

කෙසේ වෙතත් නඳුන් යසිත දසනායකගේ ‘සුළඟෙහි ම සුළඟක් ව’ කාව්‍ය සංග්‍රහය තුළ වෙනත් කවීන් ජීවිතය අල්ලා ගන්නා තැන්වලින් නොව වෙනස්, ඉතා ඉසියුම් තැන්වලින් අල්ලා විවරණය කෙරෙන, පරිණත කවි මගකට පිවිසුණු, ආලෝකයක් රැගත් කවියෙකු අඳුරු මංසන්දියකදී අපට සම්මුඛ කරවයි.

මාතෘකා